වෙළෙඳ සලක්‌ ගිනි තැබීමකින් අළුත්ගම උණුසුම් වෙයි

වෙළෙඳ සලේ සේවකයකු කළ අතවර සිද්ධියකට විරෝධතාවක්‌

ලසිත දුමින්ද, විජයසිරි විද්‍යාසේකර,
තරිඳු හා දර්ශන කරුණාතිලක

අළුත්ගම නගරයේ පිහිටි වෙළෙඳ සලක්‌ කිසියම් පිරිසක්‌ විසින් ඊයේ (09 වැනිදා) අලුයම ගිනිතබා විනාශ කිරීමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී ඇත.

මෙම ගිනි තැබීමත් සමග ඇති වූ නොසන්සුන්තාවය මත ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා කළුතර, පයාගල, බේරුවල ඇතුළු අවට ප්‍රදේශවල පොලිස්‌ ස්‌ථානවල පොලිස්‌ නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි.

ගිනි තැබීම ඊයේ අලුයම 3ට පමණ සිදුකර ඇති අතර, ඒ හේතුවෙන් එම වෙළෙඳ සල මුළුමණින්ම විනාශයට පත්ව තිබේ. වෙළෙඳ සල ගිනි තැබීමත් සමග කළුතර නගර සභා ගිනිනිවන ඒකකය ගින්න අවට වෙළෙඳ සල්වලට පැතිර යැම වැළැක්‌වීමට පියවර ගෙන තිබිණි.

මෙම වෙළෙඳ සලේ සේවකයකු විසින් වෙළෙඳ සල තුළදී කුඩා දරුවකුට සිදුකළ අතවර කිරීමක්‌ සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු බව පවසමින් මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ පෙරේදා (08 දා) අළුත්ගම නගරයේ විරෝධතාවක ද නිරත වූහ.

කළුතර අධිකරණය මගින් උද්ඝෝෂණ තහනම් කරමින් නියෝගයක්‌ නිකුත් කර තිබියදීත් මෙම උද්ඝෝෂණය පැවැත්වීම විශේෂ සිද්ධියක්‌ විය.

මෙම අතවර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ ද පවතී.

කළුතර කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.