සකල කලාවන් එක්‌වී උපන් රූකඩ කලාවේ කතාව

මිනිසාගේ සම්භවයේ සිට පවතින බව විශ්වාස කළ හැකි කතන්දර ඇසීමේ නොනිමි ආශාව වර්තමානයේදී චිත්‍රපටය සහ ටෙලි නාට්‍යය විසින් සංසිඳවනු ලැබූවත් අතීතයේදී එම කාර්ය භාරය ප්‍රධාන වශයෙන් ම ඉටු කර ඇත්තේ රූකඩ නාට්‍යයන් විසිනි. මෙරට තුළදී රූකඩ නාට්‍ය කලාව අම්බලන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන පැවතියත්, එම කලාව බොහෝ රටවල්වල ව්‍යාප්තව පවතින කලාවක්‌ ලෙස හඳුනාගත හැක. අපගේ රූකඩ නාට්‍ය කලාවට සම්පූර්ණයෙන් ම සමාන නොවුණත් දෙමළෙන් බොම්මලාට්‌ටම් යනුවෙන් ද, ඕලන්ද බසින් පොපන් (poppen) යනුවෙන්ද, ඉංග්‍රීසි බසින් පපට්‌ (puppet) නමින්ද, ප්‍රංශ බසින් පුපි (pupee) නමින් ද ලතින් බසින් පුපා (pupa) නමින්ද, ඇමරිකාවේ මපට්‌ (muppet) නමින්ද කලාවක්‌ පවතින බවත් හඳුනාගෙන ඇත.

අපගේ රටේ දැනට පවතින කලාව පමණක්‌ නොව සෑම දෙයක්‌ම ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් හඳුන්වා දී ඇත යන මානසිකත්වයෙන් පෙළෙන පිරිසක්‌ සිටින බව කණගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුවී ඇත. එසේ වුවත් රූකඩ දෙමළ බසින් බොම්මලාට්‌ටම් ලෙසින් ඕලන්ද බසින් පොපන් ලෙසින්, ඉංග්‍රීsසි බසින් පපට්‌ ලෙස හඳුන්වන බැවින් මෙම නාට්‍ය කලාව තමිල්නාඩුවෙන් හෝ යුරෝපයෙන් හඳුන්වාදී නොමැති බව පැහැදිලි ලෙසම සඳහන් කළ හැක.

එසේ වුවත් මෙරට රූකඩ නාට්‍ය කලාවේ සම්භවය කවදා කෙසේ සිදු වී ඇත්ද යන්න පිළිබඳ අවසන් විග්‍රහයක්‌ ලබා දීමට තරම් පැහැදිලි සාධක නොමැති බව සඳහන් කිරීමට සිදුවී ඇත. මහාචාර්ය එදිරිවීර සරච්චJද්‍ර මහතා 1952 දී රචනා කරන ලද 'සිංහල ගැමි නාටකය' නම් කෘතියේ සඳහන් කර ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ රූකඩ නාට්‍ය කණ්‌ඩායම් 5 ක්‌ තිබූ බවයි. අම්බලන්ගොඩ රූකඩ කලාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අප එම ප්‍රදේශයේ කළ සංචාරයේදී අම්බලන්ගොඩ බෝගහවත්ත ප්‍රදේශයේ වාසය කරන වෘත්තීය රූකඩ ශිල්පියකු මෙන්ම ශ්‍රී අනුර රූකඩ කණ්‌ඩායමේ ප්‍රධානියා වන නලින් ගම්බාරි මහතා අප හා අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ යක්‌කල, බුත්තල, මිරිස්‌ස වැනි ප්‍රදේශවල රූකඩ කණ්‌ඩායම් සිටියත්, ඒ සියලු දෙනාගේ ආරම්භය අම්බලන්ගොඩ වන බවයි.

ඒ අනුව මෙරට රූකඩ කලාවේ සම්භවය අම්බලන්ගොඩ ප්‍රදේශයේදී සිදු වී ඇති බව තීරණය කිරීමේ වරදක්‌ තිබිය නොහැක. එසේ වුවත් අපගේ මුතුන් මිත්තන් විසින් විවිධ අවස්‌ථාවල සත්ත්ව රූප, දේව රූප. විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදා ගත් බව මහාවංශය ඇතුළු ඉතිහාස කෘතිවල සඳහන් වී තිබේ. රූකඩ කලාවේ ඉතිහාසය පිළිබඳව කළ විමසීමේදී නලින් ගම්බාරි මහතා අප හා ප්‍රකාශ කර සිටියේ ගජබා රජු සොලින් සමඟ කළ යුද්ධයේදී, සේනාව විශාල කර පෙන්වා සතුරා නොමඟ යෑවීම සඳහා රූකඩවලට සමාන සෙබළුවන්ගේ ප්‍රතිමා යොදා ගත් බව ඉතිහාසයේ සඳහන් වන බවයි. එමෙන්ම දඹදෙණිය සිය රාජධානිය කර ගෙන කාලිංග මාඝ පරාජයට පත් කළ II වැනි පැරකුම්බා රජු උපන් සිරිවර්ධන නම් නුවර විහාරයක්‌ කරවා එයට පුද පූජා පැවැත්වූ අවස්‌ථාවේදී යන්ත්‍රානුසාරයෙන් දේව රූප සහ සත්ත්ව රූප රඟ දැක්‌වූ බව මහාවංශය ඇතුළු ඉතිහාස කෘති වල සඳහන් වී තිබේ.

එසේ වුවත් මිනිසාගේ කතන්දර ඇසීමේ ආශාව සන්සිඳවීම සඳහා රූකඩ කලාව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ යොදා ගත් බවට පැහැදිලි සාධක නොමැත. මහාචාර්ය එදිරිවීර සරච්චJද්‍ර මහතා සිය සිංහල ගැමි නාටකය කෘතියේ සඳහන් කර ඇත්තේ නාඩගම් කලාවට වඩා පැරැණි ඉතිහාසයක්‌ රූකඩ කලාවට හිමි නොවන බවයි. මෙම නාට්‍ය කලාවේ සම්භවය පිළිබඳව අප කළ විමසීමට වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් නලින් ගම්බාරි මහතා ප්‍රකාශ කර සිටියේ,

"අපේ රූකඩ කලාවට අවුරුදු 300 ක පමණ පැහැදිලි ඉතිහාසයක්‌ තිබෙනවා. අම්බලන්ගොඩ ජනතාව කොහොමත් කලාවට දක්‍ෂයිනේ. කැටයම් කලාවට විශේෂයෙන් දක්‍ෂතාවක්‌ දක්‌වනවා. අපේ අත්තල, මුත්තල අපි තරම් කාර්ය බහුල වුණේ නෑ. ඔවුන් එදිනෙදා වැඩ කරල විවේකයෙන් ඉන්න කොට මිනිස්‌ රූප අඹන්න ඇති. පසුව ඒවායේ අත පය වැඩ කරන ලෙස සකස්‌ කරන්න ඇති.

මම රටවල් 20 ක පමණ සංචාරය කරල තිබෙනවා. සමහර රටවල නූල් වලින් ක්‍රියාත්මක කිරීමේ රූකඩ තිබුණත්, ඒවා තාත්වික ලෙස ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රමාණයෙන් සහ බරෙන් වැඩි ඒවා. එම නිසා පැහැදිලි ලෙසම සඳහන් කිරීමට පුළුවන් අපේ රූකඩ කලාව අපටම ආවේණික එකක්‌ බව."

පාරම්පරික රූකඩ නාට්‍ය ශිල්පියකු වන නලින් ගම්බාරි මහතා දක්‌වන අදහස්‌ අනුව රූකඩ නාට්‍ය කලාවට වසර 300 කට වැඩි ඉතිහාසයක්‌ මෙන්ම එය අපගේම කලාවක්‌ බව පිළිගත හැක. ඒ පිළිබඳව මතභේද තිබිය හැකි වුවත් අද දවසේදී ප්‍රධාන ප්‍රශ්නය වියයුත්තේ රූකඩ නාට්‍ය කලාවේ අතීතය නොව අනාගතය කෙසේ වේද යන ප්‍රශ්නයයි.

රූකඩ කලාවේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී ඇත්තේ කරුණු කාරණා කිහිපයක්‌ හේතුවෙනි. ප්‍රධාන කාරණය වී ඇත්තේ මේ වන විට ජනතාවට කතන්දර කීමේ ප්‍රමුඛයන් බවට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ය පත්වීම තුළ රූකඩ නාට්‍යවලට ඇති අවධානය සහ ඉල්ලුම අඩුවීමයි. කෙසේ වුවත් රූකඩ නාට්‍ය චිත්‍රපට මෙන් ජනතාවගේ මුදල් අය කර පෙන්වූ බවට සාධක නොමැත. මෙම නාට්‍ය කලාව මගින් බොහෝ දුරට නිරූපණය වන්නේ බෞද්ධ කතා සහ ඓතිහාසික කතාවන් ය. එමෙන්ම මෙම නාට්‍ය අතීතයේදී ද ප්‍රදර්ශනය කළ ප්‍රධාන ස්‌ථානය වූයේ පන්සලය. එහිදී පන්සලට එන බැතිමතුන්ගෙන් මුදලක්‌ අය නොකළ අතර, රූකඩ නාට්‍ය පෙන්වන ලද්දේ බොහෝ විට ප්‍රදේශයේ දානපතියකුගේ අනුග්‍රහය යටතේ ය. අදත් රූකඩ නාට්‍ය පෙන්වීමට සිදු වී තිබෙන්නේ ධනපතියකුගේ හෝ යම් සංවිධානයක අනුග්‍රාහකත්වය යටතේ ය. අද වන විට ජනතාවට කතන්දර කීමේ ප්‍රමුඛයා බවට පත් වී සිටින රූපවාහිනිය පවා කතන්දර ජනතාවගේ ආලින්දයටම ගෙන එන්නේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල අනුග්‍රාහකත්වය යටතේ ය. මෙම පසුබිම තුළ ප්‍රේක්‍ෂකයන්ගෙන් මිලක්‌ අය නොකර රූකඩ කලාවේ ගරුත්වය සහ ශිල්පීන්ට නඩත්තු විය හැකි මුදල් යටතේ මෙම නාට්‍යයක්‌ ප්‍රදර්ශනය කරන්නේ කෙසේද යන අර්බුදය නිර්මාණය වී ඇති බව රහසක්‌ නොවේ. රූකඩ නාට්‍ය කලාවෙන් ම යෑපෙන්න බැරි නිසා සමහර ශිල්පීන් මෙම කලාව අත්හැර ඇති බවත්, සමහරුන් අර්ධ කාලීන වශයෙන් මෙම කලාවේ යෙදෙන බවත් අප කළ සමීක්‍ෂණයෙන් අනාවරණය විය.

රූකඩ කලාව යනු බොහෝ කලාවන් එක්‌තැන් කළ කලාවක්‌ ලෙස සඳහන් කළ හැක. රූකඩ කැපීම, රූකඩ නැටවීම, රූකඩයේ තාලයට හඬ නළුවකු ලෙස කටයුතු කිරීමේ හැකියාව, ගීත ගායනය, සංගීත භාණ්‌ඩ වාදනය කිරීම යන ශිල්පයන් ඒකරාශී කිරීමකින් තොරව රූකඩ නාට්‍යයක්‌ පෙන්විය නොහැකි බව අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැත. එමෙන්ම ප්‍රේක්‍ෂකයන්ගේ සිත ඇද බැඳ ගන්නා ලෙස මෙම නාට්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා සතත අභ්‍යාසය අවශ්‍ය බව ද අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එබැවින් උසස්‌ රසාස්‌වාදයක්‌ ලබාදිය හැකි ලෙස රූකඩ නාට්‍යයක්‌ ඉදිරිපත් කිරීම සඳහා ඒ සඳහා කැපවුණු ශිල්පීන් අවශ්‍ය බව පැහැදිලියි. නමුත් රූකඩ නාට්‍ය කලාවෙන් යෑපිය නොහැකි තත්ත්වයක්‌ නිර්මාණය වීම තුළ එබඳු වූ ශිල්පීන් අපේක්‍ෂා කළ නොහැක.

නිර්මාණය වෙමින් පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය පරාජය කිරීම සඳහා රූකඩ නාට්‍ය ශිල්පීන්ගේ මෙන්ම බලධාරීන්ගේ ද අවධානය යොමු විය යුතුය. රූකඩ නාට්‍ය ශිල්පීන්ගේ පැත්තෙන් තවදුරටත් ප්‍රේක්‍ෂකයන් තමන් වෙත ඇද බැඳ ගැනීම තුළින් තම කලාවට ඉල්ලුමක්‌ ඇති වන ලෙස කටයුතු කිරීමට සමත් විය යුතුය. සෑමදාම අජාසත්ත පෙන්වා හරියන්නේ නැත. එක්‌ වරක්‌ අජාසත්ත බලපු ප්‍රේක්‍ෂකයා නැවත ගෙන්වා ගැනීම සඳහා මීළඟ දිනයේදී දේවදත්ත හෝ පෙන්විය යුතුය. රූකඩ නාට්‍ය ශිල්පීන් සතුව නාට්‍ය කිහිපයක්‌ ඇතත් නව නිර්මාණයන් ද බිහි විය යුතුය. එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා ඔවුන් දන්නා භාෂාවකින් මෙම නාට්‍ය ඉදිරිපත් කිරීම කෙරෙහි මෙම ශිල්පීන්ගේ අවධානය යොමු විය යුතුය.

රූකඩ නාට්‍ය පන්සලේ බණ මඩුවේ මෙන්ම එළිමහන් රංග පීඨවල ද ප්‍රදර්ශනය කළත්, අද වන විට එම ක්‍ෂේත්‍රය තුළ ප්‍රධාන ඉල්ලුම පවතින්නේ සංගීත සංදර්ශන සඳහාය. ධනපතියන්ගේ සහ සංවිධානවල ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ද සංගීත සංදර්ශනවලට අනුග්‍රාහකත්වය දැක්‌වීම පිළිබඳවය.

බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත්තේ එම කරුණු කාරණා පිළිබඳවය. එමෙන්ම මෙරට සිරි නැරඹීමට පැමිණෙන විදෙස්‌ සංචාරකයන් අපගේම කලාවන් වූ රූකඩ නාට්‍ය කලාව දැක බලා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කිරීමේ වගකීම ද ඇත්තේ බලධාරීන් වෙත ය. බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳව යොමු නොවුවහොත් අනාගතයේදී සිදුවන්නේ රූකඩ කලාව ආරම්භ වූයේ කවදාද කියා සොයා බැලීමට නොව, අවසන් වූයේ කවදාද කියා සොයා බැලීමටය.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය
චන්ද්‍රසිරි ජසෙන්තුලියන

ඡායාරූප - චන්ද්‍රසිරි ජසෙන්තුලියන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.