මනම්පේරි ඝාතන කතාවේ සැඟවුනු රහස්‌ - 04
"කොණ්‌ඩෙ පීර පීර හිටිය දරුව
පොලිසියෙන් පැනල අරන් ගියා"



ප්‍රේමවතී මනම්පේරි අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේත්, වෙඩි තබා මරා දමනු ලැබුවේත් මෙහි දැක්‌වෙන ගුණසිරි හෝටලය ඉදිරිපිටදීය. (අද එම ගොඩනැඟිල්ල එතැන නැත)


ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය


 

 

 

 

 

 

 

 


අමරදාස රත්නායක

අප්‍රේල් කැරැල්ලේ නායිකාවක ලෙස හඳුන්වමින් පොලිසිය මගින් යුද හමුදාවේ භාරයට පත්කළ ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගම යුද හමුදා කඳවුරේ රඳවා තබා පසුව එහි අණදෙන නිලධාරියාව සිටි ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය විසින් ඇය නිරුවතින් මහමග ඇවිද්දවා පසුව කෲර හා තිරස්‌චීන අයුරින් වෙඩිතබා ඝාතනය කළ අන්දම පසුගිය සතියේ ලිපියෙන් විස්‌තර කෙළෙමු.

මැෂින් තුවක්‌කුවකින් සහ රයිපල් දෙකකින් තුන් වතාවකදී ඇයට වෙඩි තබා තිබුණි. වෙඩි පහරවලින් සිදුවූ තුවාලවලින් ලේ ගලා යද්දීත් තුවාල වල වේදනාවද නොතකා ඇය නිර්භීතව හා හොඳ සිහි කල්පනාවෙන් යුතුව මරණයට මුහුණ දුන් නමුත් ඒ වන විට ඇයගේ ශරීරයට සිදුවී තිබූ බරපතළ හානි ගැන පසුව ගාල්ල අපරාධ අධිකරණයේ පැවැති නඩු විභාගයේදී අනාවරණය විය.

ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ පිළිබඳව කතරගම යුද හමුදා කඳවුර භාරව සිටි ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය සහ යුද හමුදා සැරයන් අමරදාස රත්නායක යන දෙදෙනාට විරුද්ධව හම්බන්තොට මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු පවරනු ලැබීය. එම නඩු විභාගය අවසානයේ හම්බන්තොට මහෙස්‌ත්‍රාත් එච්. ඩබ්ලිව්. සේනානායක මහතා එම නඩුව ඉහළ උසාවියට යොමු කළේය.

ඒ අනුව ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට නඩු පවරනු ලැබුවේ ඇයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේය.

ගාල්ල අපරාධ අධිකරණයේ කොමසාරිස්‌ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී. කිව්. ඇම්. සිරිමාන්න මහතා ඉදිරියේ පුරා දින 13 ක්‌ මෙම නඩුව විභාග වූ අතර එහි පැමිණිල්ල මෙහෙය වූයේ රජයේ නීතිඥ කෙනත් සෙනෙවිරත්න මහතාය. රජයේ නීතිඥයන් වන උපවංශ යාපා සහ ඩී. එස්‌. විෙ-සිංහ යන මහත්වරු ඔහුට සහාය විය.

මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්ද්‍රd අමරසේකර මහතා සිය සාක්‍ෂිය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.

"ඝාතනයට ලක්‌වූ ප්‍රේමවතී මනම්පේරිගේ මළ සිරුර 1971 මැයි 24 වැනි දින කතරගමදී මා විසින් පරීක්‍ෂා කළා. මළ සිරුර පෙට්‌ටියක දමා වළලා නොතිබූ හෙයින් එය නරක්‌ වී තිබුණා. මළ සිරුර මත ගවුමක්‌ හා කලුපාට යට සායක්‌ දමා තිබුණා. මෙම මළ සිරුර තම දියණියගේ බවට ප්‍රේමවතීගේ මව වන ලීලාවතී ඔබේසිංහ මහත්මිය හඳුනා ගත්තා.

මළ සිරුරේ මුහුණේ වම් පැත්තේ රවුම් හැඩයට තුවාලයක්‌ තිබුණා. එය වෙඩි පහරකින් සිදුවූ තුවාලයක්‌. හිස්‌ කබලේ මොළයේ පහළ කොටසද වෙඩි පහරින් තුවාල වී තිබුණා. ඇහි බැමට උඩින් නළලටද වෙඩි පහරක්‌ වැදී තුවාල වී තිබූ අතර එය මියගිය තැනැත්තිය බිම වැටී සිටියදී තබන ලද වෙඩි පහරකින් සිදුවිය හැකියි.

සිරුරේ වම් පැත්තේ උරහිසට ආසන්නයෙන් පපුවට හා ඒ පැත්තේම පපුවේ මැද කොටසට තුවාල සිදුවී තිබුණා. මැෂින් තුවක්‌කුවකින් තැබූ වෙඩි පහරකින් එම තුවාල සිදුවිය හැකියි. පිටේ දකුණු පැත්තේ උරහිසට ආසන්නයෙන් තවත් තුවාලයක්‌ තිබුණා. පිටට වැදුණු වෙඩි පහරකින් පෙනහැල්ල පසාරුවීමෙන් සිදුවූ තුවාලයක්‌ද දකින්නට ලැබුණා. එයින් පැහැදිළි වූයේ ඇයට පිටුපස සිට වෙඩි තබා ඇති බවයි. එම තුවාලවලට කිසිම ප්‍රතිකාරයක්‌ කර තිබුණේ නැහැ.

දකුණු අතේ පිටුපස බාහුව වෙඩි පහරක්‌ වැදීමෙන් පැලීගොස්‌ තිබුණා. අත ඔසවා ගෙන සිටි අවස්‌ථාවක පිටුපසින් සිට කළ වෙඩි තැබීමකින් එම තුවාල සිදුවිය හැක. කොඳුඇට පෙළට කකුලේ උඩ කොටස සම්බන්ධ වන ස්‌ථානයට වැදුණු වෙඩි පහරකින් එම ස්‌ථානයේ කොඳුඇටයට තුවාල සිදුවී තිබුණා. වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල නිසා ඇතිවූ කම්පනයත් අධික ලේ ගැලීමත් ඇගේ මරණයට හේතුවයි. මේ වෙඩි පහරවල් වැදී ඇත්තේ මැෂින් තුවක්‌කුවකින් හා රයිපල් වලිනුයි.

මියගිය තැනැත්තියගේ ලිංගික පෙදෙසද පරීක්‍ෂා කළා. මියයැමට පෙර ඇයට ලිංගික ක්‍රියාවක්‌ සිදුකොට ඇති ලකුණු තිබුණා. එහෙත් මළ සිරුර නරක්‌ වී තිබූ බැවින් එය සිදුවී ඇති දිනය නිශ්චිතව කීම අපහසුයි.

ප්‍රේමවතී මනම්පේරිගේ මෑණියන් වන ලීලාවතී ඔබේසිංහ (42) මහත්මිය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් මෙසේ පැවසුවාය. "මගේ සැමියා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුරකරුවෙක්‌. මේ සිද්ධිය වූ කාලයේ ඔහු රාජකාරි කළේ පානම ප්‍රදේශයේ. කතරගම දෙටගමුව කොළණියේ මා දරුවන්ද සමග පදිංචිව සිටියා. මට දරුවන් 11 ක්‌ සිටිනවා. ඉන් 7 දෙනෙක්‌ පිරිමි දරුවෝ. හතර දෙනෙක්‌ ගැහැනු දරුවෝ. මියගිය ප්‍රේමවතී මගේ වැඩිමල් දරුවායි. මියයන විට ඇගේ වයස අවුරුදු 22 යි. ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වී සිටි අතර 1971 කාලයේ ඇය දහම් පාසලේ ඉගැන් වූවා. 1970 අවුරුදු උත්සවයේදී කතරගම අවුරුදු කුමරිය ලෙස තේරුණේ ඇයයි. ඇය මියගියේ 1971 අප්‍රේල් 17 දා. අප්‍රේල් 16 දා තෙක්‌ ඇය මා සමග ගෙදර ජීවත් වුණා.

අප්‍රේල් 16 දා ඇය පොලිසියට ගෙන යැමට කතරගම පොලිසියේ ඕපාත, සිරිපාල හා ඇලඩින් යන කොස්‌තාපල්වරු මගේ නිවසට ආවා. ඔවුන් නිල ඇඳුම් හැඳ සිටියා. ඔවුන් පැමිණි ජිප් රථයේ කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති, උප පොලිස්‌ පරීක්‍ෂක උඩවත්ත මහතාද සිටියා.

ගෙට ඇතුළු වූ සිරිපාල හා ඕපානායක රාළහාමිලා, කන්නාඩිය ඉදිරිපිට සිට හිස පීරමින් සිටි ප්‍රේමවතී ඇගේ කොන්ඩෙන් ඇදගෙන ජීප් රිය වෙත ගෙන ගියා. සිරිපාල රාළහාමි ඔහුගේ අතේ තිබූ දෙයකින් ප්‍රේමවතීගේ පිටට ගැසුවා. ප්‍රේමවතී ගෙන යන හේතුව කුමක්‌ දැයි මා ඇසූ විට හේතුව දැනගන්න තමයි ගෙන යන්නේ කියා ඔවුන්ගෙන් කෙනෙක්‌ පැවසුවා. මගේ දුව බේරා දෙන ලෙස මා උඩවත්ත මහතාට කී විට ඔහු ජීප් රියෙන් බැස අහසට වෙඩි කිහිපයක්‌ තැබුවා. පොලිසියෙන් ගෙන යන විට ප්‍රේමවතී ඇඳ සිටියේ මල් වැටුණු ගවුමක්‌, කලුපාට යට සායක්‌. ඇය තනපටයක්‌ද හැඳ සිටියා. ප්‍රේමවතී ජීප් රියට නංවා ගැනීමට පෙර පොලිස්‌ රාළහාමිලා ගෙයි තිබූ මගේ සැමියාගේ නිල ඇඳුම්ද රැගෙන ගියා. ප්‍රේමවතී රැගෙන ගිය ජීප් රිය පසුපස මා සැතපුම් කාලක්‌ පමණ පොලිසිය පැත්තට දුවගෙන ගියා.

ප්‍රේමවතී මියගිය පසු වළදැමූ ලියනආරච්චිගේ ඇලඩින් නැමැත්තා මෙහිදී සාක්‍ෂි දෙමින් පවසා සිටියේ "ලුතිනන් විඡේසූරියගේ නියෝගයෙන් ඇඳුම් ගලවා සිටි ප්‍රේමවතීගේ කලවා දෙකේ ලේ පැල්ලම් තිබෙනු තමා දුටු බවයි. කාදර්, පෙරුමාල් සහ සයිමන් යන තිදෙනාද සමග එක්‌වී කතරගම තරුණ බෞද්ධ සංගම් ශාලාව ඉදිකරමින් තිබූ භූමියේ වළක්‌ කපා ප්‍රේමවතීගේ සිරුර ඔසවාගෙන ගොස්‌ වළලා දැමූ බවත් ඊට පෙර ඇය හැඳ සිටි ගවුම, යට සාය හා තනපටියද සිරුර උඩින් තැබූ බවත්" ඔහු පවසා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස්‌ පරීක්‍ෂක දොන් එඩ්වින් පලිහේන මහතා සාක්‍ෂි දෙමින් ප්‍රේමවතී මනම්පේරි ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ අයුරු, සාක්‍ෂිකරුවන්ගෙන් කට උත්තර ලබාගත් අන්දම හා විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අයුරු අධිකරණය හමුවේ විස්‌තර කළේය.

මෙම නඩු විභාගයේදී පැමිණිල්ලේ දේශනය පැවැත් වූ රජයේ නීතිඥ කෙනෙක්‌ සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය. "ප්‍රේමවතීගේ මවගේ සාක්‍ෂිය අනුව ප්‍රේමවතී අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිසිය විසින් ඇය ගෙදර හිස පීරමින් සිටියදී බව ප්‍රකාශ වුණා. ඇය කැරලිකාර සංවිධානයට අයත්ව සිටියා නම් පොලිසිය අප්‍රේල් 05 දා හෝ ඊට පෙර ඇය අත්අඩංගුවට ගත යුතුව තිබුණා. ඇය කලින් අත්අඩංගුවට නොගත්තේ ඇය කැරලිකාර සංවිධානයට අයත් කෙනකු නොවූ නිසයි. කිසිදු හේතුවක්‌ නැතිව අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රේමවතී උප පොලිස්‌ පරීක්‍ෂක උඩවත්ත විසින් හමුදා කඳවුරට රැගෙන ගියා. ඇයගේ පියාගේ නිල ඇඳුම් පොලිසියට ගෙන ගොස්‌ තිබුණේ ඇය කැරලිකාර සංවිධානයට අයත් බව පෙන්වීමටයි. ඇය කැරලි නායිකාවක්‌ නම් කතරගමට හමුදාව පැමිණෙන විට ඇය නිවසේ රැඳී නොසිටිනු ඇත. ප්‍රේමවතී ඇත්තටම කැරලිකාර නායිකාවක්‌ නම් අනික්‌ කැරලිකරුවන් සමග වනාන්තරයට පළායැමට ඇයට තිබුණා. හමුදාව එන විට කතරගම සිටි කැරලිකරුවන් සියලු දෙනාම වනාන්තරයට පලාගොස්‌ තිබුණි. ප්‍රේමවතී සුපුරුදු පරිදි ගෙදර සිටියේ ඇය කැරැල්ලට සම්බන්ධ නැති නිසා බව පැහැදිළියි."

විත්තිය වෙනුවෙන් දේශනය පැවැත් වූ නීතිඥ අර්ඩ්ලි පෙරේරා මහතා කියා සිටියේ කැරැල්ලක්‌ සිදුවන අවස්‌ථාවක එය මර්දනය කිරීම සඳහා හමුදාව විසින් සිදුකරන ඝාතන පිළිබඳව හමුදා නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකි බවයි. ඒ සඳහා ඔහු දකුණු අප්‍රිකාවේ නඩු තීන්දුවක්‌ද ගෙන හැර දක්‌වමින් කරුණු ඉදිරිපත් කළේය.

එහෙත් රජයේ නීතිඥ කෙනෙක්‌ සෙනෙවිරත්න මහතා සිය දේශනයේදී පෙන්වා දුන්නේ විත්තිකරුවන් කතරගමට එන විට එහි කිසිදු කැරලිකරුවකු නොසිටි අතර ඔවුන් විසින් එකදු කැරලිකරුවකුවත් අත්අඩංගුවට ගෙන නැති බවයි. ඒ වෙනුවට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රේමවතී ඇතුළු තරුණියන් හය දෙනකු පමණි.

පළමුවැනි විත්තිකරු ඇතුළු පිරිස මොනර මස්‌, හා වල් ඌරු මස්‌ කමින් මත්පැන් පානය කරමින් හමුදාවේ බලය පාවිච්චි කරමින් සිටියා මිස කැරලිකරුවන් ඇල්ලීමට වනාන්තරයේ මෙහෙයුමක්‌ හෝ සිදුකොට නැති බවද සෙනෙවිරත්න මහතා කීය.

විත්තිකරුවන්ගේ ඉල්ලීම පරිදි මෙම නඩුව සඳහා ඉංග්‍රීසි කතා කරන අයගෙන් යුත් ජූරි සභාවක්‌ පත්කොට තිබුණි. නඩු විභාගය අවසානයේ පැමිණිල්ලේ සහ විත්තියේ දේශනද විනිසුරුවරයාගේ සාක්‍ෂි සම්පිණ්‌ඩනය ඇතුළත් දේශනයද පැවැති අතර ජූරි සභාව ඒ පිළිබඳ විනාඩි 45 ක කාලයක්‌ රැස්‌වී සාකච්ඡා කළේය. අන්තිමේදී ජූරි සභාවේ ඒකමතික නිගමනය වූයේ විත්තිකරුවන් දෙදෙනා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවන් බවයි. ඔවුන්ට විරුද්ධව පැවති චෝදනා සැකයෙන් තොරව ඔප්පු වී ඇති බවද ජූරියේ නිගමනය විය.

ඒ අනුව ගාල්ල අපරාධ අධිකරණ කොමසාරිස්‌ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී. කිව්. ඇම්. සිරිමාන්න මහතා පළමුවැනි විත්තිකාර ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය සහ දෙවැනි විත්තිකාර යුද හමුදා සැරයන් අමරදාස රත්නායකට බරපතළ වැඩ ඇතිව වසර 16 බැගින් සිර දඬුවම් නියම කළේය. රජයේ බලය අතට ගෙන මෙවැනි වැරදිකරන උදවියට දිය හැකි ඉහළම දඬුවම ලබාදිය යුතුය යන්න සමාජයේ අපේක්‍ෂාව බවද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසීය.

විත්තිකරුවෝ මෙම තීන්දුවට විරුද්ධව අභියාචනයක්‌ ඉදිරිපත් කළ අතර එය කොළඹ අභියාචනාධිකරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. සී. අලස්‌ මහතා ප්‍රධාන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ ඉදිරියේ විභාගයට ගැණිනි. එහෙත් එහිදීද කලින් තීන්දුවේ වෙනසක්‌ නොවීය. විත්තිකරුන්ගේ සිර දඬුවම තහවුරු විය.

සිරදඬුවම් විඳිමින් සිටියදී දෙවසරකට පසු පළමු විත්තිකාර ඇල්ෆ්‍රඩ් විජේසූරිය බන්ධනාගාරයේදීම හෘදයාබාධයකින් මියගියේය. දෙවැනි විත්තිකාර අමරදාස රත්නායක සිර දඬුවම් විඳ නිදහස්‌ වී පැමිණ සිටියදී 1989 භීෂණ කාලයේ ජවිපෙ ක්‍රියාකාරීන් විසින් දෙවිනුවරදී පිහියෙන් ඇන මරා දමන ලද බව වාර්තා විය.

දයා ලංකාපුර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.