දොස්‌තරවරුන් දොස හැම විපතට මුලද?

මෙරට ව්‍යවස්‌ථාදායකය ස්‌ථාපිත කිරීම හෙවත් ආණ්‌ඩු තැනීමේ යෙදෙන්නෝ රටේ පොදු ජනතාව වන්නාහ. අපේ දේශපාලක උතුමන් ඡන්දය ඉල්ලන්නේය. එහිදී ඉල්ලන ඡන්දය දෙන්නේ ජනතාවය. ආණ්‌ඩුවක්‌ හැදෙන්නේ ඒ අනුවය.

නමුත් එසේ මිනිසුන් ඡන්දයෙන් පත් කර ගන්නා ආණ්‌ඩුවක්‌ යම් තැනකදී Rජුව කටයුතු නොකාට දෙපැත්තටම නැති නපුංශක ලීලාවෙන් ක්‍රියා කරන්නේ නම් එහිදී බැට කන්නේද මැති සබයේ සිටින උතුමන් නොව ඔවුන් සබයට යෑවූ ජනතාවමය.

ඒ පිළිබඳ කිසිදු තර්කයක්‌ද නැත. ඉකුත් සතියේ ජනතාව අසරණ කරමින් රට පුරා රජයේ රෝහල්වල රාජකාරි කළ හෙද හෙදියන් තෙදිනක්‌ පුරා ක්‍රියාත්මක කළ ම්ලේච්ඡ වැඩ වර්ජනය ඊට ඕනෑ තරම් උදාහරණ ගෙන දුන්නේය.

දකින්නට ලැබුණු පරිදි හා රටටම දැනුණු පරිදි එකී අමානුෂික වර්ජනයේදී සිදු වූ දේ බොහෝය. වර්ජනයට එක්‌වූ හෙද හෙදියන් පමණක්‌ නොව ඔවුන්ට නායකත්වය දෙමින් නන් දෙඩවූවන් සියලු දෙනා එක්‌ව හෙදකම කෙසේ වෙතත් ප්‍රභාකරන්ගෙන් අවසන් පුහුණුව ලද්දවුන් මෙන් මේ රටේ නැති බැරි අහිංසකයන් හා රෝගී ජනතාව ප්‍රාණ ඇපයට ගත්තාහ.

එහිදී කුරුණෑගල රෝහලේ හෙද හෙදි ම්ලේච්ඡත්වය හමුවේ දරු ප්‍රසූතියක්‌ සඳහා පැමිණි මවකට සදාකාලිකවම දරුඵල අහිමි වෙද්දී නිරෝගීව මව් කුස තුළ හිඳ මොලොවට ආ කිරිකැටියකුට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිසත්තාර ඒකකයක මවගේ උණුසුමද අහිමිව තනි වෙන්නට සිදු විය. ඒ දරු පැටියා දැනුදු සිටිනුයේ දැඩි සත්කාර ඒකකය තුළය.

එසේම රටට බත සපයන්නට ගොස්‌ වකුගඩු රෝගීන් වී ජීවිතය විඳවමින් සිටි මිනිසුන් රුධිර කාන්දුකරණය සිදු කර ගැනීමට බැරි වීම හමුවේ දැනෙන්නට වූ ශාරීරික වේදනාව උසුලාගත නොහැකිව "අප මරා දමාපියව්" කියමින් වර්ජනයේ යෙදුණන්ට දෙස්‌ දෙවොල් තබන අතරේ අනුරාධපුර මහ රෝහල ඉදිරිපිට හිඳගෙන කඳුළින් දුක දියකරන්නට විය.

මෙකී අමානුෂික වර්ජනය හේතුවෙන් සිදුවූ රෝගී මරණ සංඛ්‍යාව දෙකකි. ඒ වාර්තා වූ ඒවා පමණි. නොවූ ඒවා කොතෙක්‌ දැයි අපි නොදනිමු. මහනුවර රෝහලින්ද වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සිදු නොකෙරුණු බවක්‌ ඇසිණි. පැහැදිලිවම කිවහොත් වර්ජනය පැවති එකී මූසල තෙදින පුරා රටේ සෑම රෝහලකින්ම ඇසුණේ අමිහිරි කතාම පමණි.

ඒ අතරේ තිරිසනුන් ලෙස ක්‍රියාත්මක වූ ඇතැම් රෝහල්හි හෙද හෙදියන් ඖෂධ බහාලනවල ලේබල් මාරු කර කිසිවකුටත් රෝගීන්ට පිහිට විය නොහැකි වන අයුරින් ඔෂධ හා වෛද්‍ය උපකරණ සහිත කාමරවල යතුරු රැගෙන යැමේ කතාද විය. මෙකී වර්ජනය රෝගීන් ප්‍රණ ඇපයට ගෙන සිදු කළ ම්ලේච්ඡ එකක්‌ යෑයි අප කියනුයේද එසේ අසන්නට ලැබුණු නොමිනිස්‌කම් හමුවේය.

හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දිය යුතුයෑයි රජය ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට රජයේ වෛද්‍යවරුන් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධය පෑම මෙම වර්ජනයට මූළ බීජය වී තිබිණි.

එහෙත් මෙකී වර්ජනය පමණක්‌ නොව අද දවසේ මෙරට සෞඛ්‍ය සේවය දෙස විමර්ශනාත්මකව බැලීමේදී අපට පැහැදිලිවම පෙනී යන එක්‌ කරුණක්‌ ඇත. ඒ කාට හෝ වේවා ඕනෑම පුහුණුවක්‌ දීමට පෙර මෙරට සෞඛ්‍ය සේවයේ වෛද්‍ය, හෙද හෙදි, සුළු සේවක ආදී ලෙසින් වූ සමස්‌තයට ඉතා ඉක්‌මනින් මිනිස්‌කම පිළිබඳ වන චර්යාත්මක පුහුණුවක්‌ ලබා දිය යුතුය යන්නය.

ප්‍රතිපත්තිමය තීරණ ගෙන වැඩේ ගැස්‌සුණ විට ජාතික වශයෙන් වැදගත් වුවද ඉදිරියට තැබූ පය ආපස්‌සට ගනිමින් නපුංශක න්‍යායෙන් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු "බීරි අලින්ට" ඇසෙන්නට අපි ඒ බව කියන්නෙමු.

කැස්‌සක්‌ ආවත් රෝගීන් ඇපයට ගෙන අකුරට වැඩ හෝ වර්ජන පොල්ල දමන අතරේ රෝහලට එන රෝගියා තමන්ගේ යටත් වැසියකු සේ සිතා තිරිසන් අන්දමින් කටයුතු කරන අවස්‌ථා තවමත් ඉඳ හිට අපේ සෞඛ්‍ය සේවය තුළින් ඇසෙමින් තිබීම එවන් වූ චර්යාත්මක පුහුණුවක අවශ්‍යතාව හොඳින් පැහැදිලි කරන්නකි.

හෙදියනට සූතිකා පුහුණුව ලබා දෙන්නට සෞඛ්‍ය බලධාරින් ගත් තීරණය හමුවේ අවසානනයේ මෙසේ ඔවුන් වර්ජනයක්‌ වෙත තල්ලු වීම යැම දක්‌වා වු සිද්ධි පෙළ තුළ මේ වන විට අපට පෙනෙමින් සහ දැනෙමින් තිබෙන දේ ද බොහෝය. මෙරට වෛද්‍ය අඥපනත හා සෞඛ්‍ය රෙගුලාසි අනුව දරු ප්‍රසූතියකදී සූතිකාගාර සේවයට එක්‌ විය හැකි අවසරය සහිත කණ්‌ඩායම් තුනක්‌ සිටිති.

ඒ අතරින් මූලිකම තැන හිමි වන්නේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ටය. දෙවන තැන නෛතික වශයෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට හිමිව තිබෙන අතර තුන්වන පාර්ශ්වය වන්නේ සූතිකාගාර පුහුණුව න්‍යායාත්මක හා ප්‍රයෝගික වශයෙන් වසරක කාලයක්‌ සම්පූර්ණ කර ඇති වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙදියන්ය.

හෙද සේවා ව්‍යවස්‌ථාවට අනුව මෙරට කාලයක සිට ක්‍රියාත්මක වූ ක්‍රමවේදය පරිදි රජයේ සෞඛ්‍ය සේවයේ සිටින හෙදියක්‌ පළමු ශ්‍රේණියේ හෙදියක ලෙස උසස්‌වීම් ලැබීමේදී සූතිකාගාර පුහුණුව අනිවාර්ය විය. මෙහිදී හෙදියන්ට සූතිකාගාර පුහුණුව අනිවාර්ය වන්නාක්‌ මෙන් හෙද නිලධාරින් මානසික සෞඛ්‍ය පිළිබඳ පුහුණුවක්‌ ලැබිය යුතු වූවේය.

මීට අමතරව මාතෘ රෝහල් වැනි විශේෂිත ඒකකවල රාජකාරි කරනු ලබන සියලු හෙදියන්ට ඒ ඒ අවස්‌ථා අනුව සූතිකාගාර පුහුණුව ලබා දීමද මෙරට සෞඛ්‍ය සේවයේ මෙතෙක්‌ කලක්‌ ක්‍රියාත්මක වූ පැහැදිලි වැඩපිළිවෙළකි. ඉහත කී පරිදි හෙදියනට සූතිකාගාර සේවයේ සඳහා නෛතික අවසරය ලැබී ඇත්තේ ද මේ අනුවය.

එසේ නම් මින් පැහැදිලිවම ගම්‍ය වන එක්‌ කරුණක්‌ ඇත. ඒ හෙදියනට සූතිකාගාර සේවය යන්න අදාළ වන කරුණක්‌ බවය. ලෝකය දෙස අවධානය යොමු කිරීමේදී එය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්‌ වූවක්‌ බවද තහවුරු වන්නේය.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙරට පුහුණුව ලබන නවක හෙදියනට හෙද අභ්‍යාස විද්‍යාල පාඨමාලාවෙන් පසු වසරක කාලයක්‌ සූතිකාගාර පුහුණුවක්‌ ලබා දිය යුතු බවට වූ ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන්නේ මේ අනුව යමිනි. දිගින් දිගටම හෙද සංගම් වෙතින් ඒ පිළිබඳ කළ කරුණු දැක්‌වීම් ද රජයේ එකී තීරණයට හේතු වූවා විය හැකිය.

ඉහත කරුණු දෙස බැලීමේදී රජය ගනු ලැබූ එකී ප්‍රතිපත්තිමය තීරණයේ දොසක්‌ද නොපෙනෙන්නේය. මෙම තීරණය හමුවේ තුන් වසරක පාඨමාලා කාලය සිව් වසරක්‌ දක්‌වා දීර්ඝ වෙමින් එය ජාත්‍යන්තරව පිළිගන්නා තත්ත්වයට පත් වීමද තවත් පැත්තකින් සිදුවන්නකි. එහිදී ශ්‍රී ලංකාවේ පුහුණුව ලද හෙදියක්‌ පුහුණුවේ අවසානයත් සමග ජාත්‍යන්තරව පිළිගැනෙන වෘත්තික මට්‌ටමකට ළඟා වන්නේ නිරායාශයෙනි. එය රටට ආඩම්බර විය හැකි කරුණක්‌ බව කිසිවකුටත් අමුතුවෙන් වටහා දිය යුතුද නොවේ.

තත්ත්වය මෙය නම් මෙරට හෙදියනට සූතිකාගාර පුහුණුව ලබා දීමට රජය ගන්නා තීරණය හමුවේ විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් හා සූතිකාගාර සේවය සඳහා නෛතික අවසර ඇති පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධය දක්‌වනුයේ කුමක්‌ අරබයාද?

කවුරුන් කෙසේ කුමක්‌ කීවද මේ තුළ පැහැදිලි ලෙසම ඇත්තේ "අපට වඩා කවුරුත් නැතැයි" ලෙසින් සිතමින් කලක සිට පොලොවේ පය නොතබා අධි මානසිකත්වයක්‌ සහිතව අඟල් දෙක තුනක්‌ උඩින් යන්නට හදන මෙරට ඇතැම් වෛද්‍ය වෘත්තිකයන්ගේ හිස්‌ මුදුණින් පිටතට එන කුහකත්වය බව කියන්නට අපි පසුබට නොවන්නෙමු.

එකී කුහකත්වය සමග සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය තුළ තමන් ගොඩනඟාගෙන තිබෙන ඒකාධිකාරයට පහරක්‌ එල්ල වෙයෑයි ලෙසින් වන මානසික ව්‍යාධියද මෙහිදී මුල් තැනක තිබෙන්නේය. මේ සියල්ලට මැදි වී සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිසිදු වග විභාගයකින් තොරව අපූරුවට "ඇඳගෙන" නටන්නට වීම මෙහිදී ඔවුන් දැක්‌වූ විරෝධයේ හරය බවට පත්ව තිබිණි. මෙකී කිසිදු වෘත්තියක්‌ හෑල්ලු කිරීමේ අදහසක්‌ අපට නැත. සෞඛ්‍ය සේවයේ සියලු වෘත්තීන්හි මහා වටිනාකමක්‌ ඇති බව මේ රටේ ජනතාව හොඳින් වටහාගෙන සිටින්නාහ.

"දොස්‌තර මහත්තයා දෙයියෙක්‌" යෑයි අපේ මිනිසුන් කිසිදු ලෝබකමක්‌ නොමැතිව කට ඇර පවසන්නේද එනිසාය. නමුත් රටේ මිනිසුන් එසේ දෙවියන් යෑයි කීවද දිගින් දිගටම සිදු වෙමින් තිබෙන්නේ දෙවියා යකාට රඟන්නට වීමය. මෙතෙක්‌ කලක්‌ වෘත්තීය ගරුත්වය හමුවේ අපි ඒ දෙස බලා සිටියෙමු. එහෙත් දිගින් දිගටම දෙයියා "යකා" වන්නට සිදු වන්නේ කුමක්‌ද?

මෙරට සෞඛ්‍ය සේවය සඳහා හෙදියක බඳවා ගැනීමේදී පිළිගත් අධ්‍යාපන මට්‌ටම ලෙස සලකනු ලැබුවේ ජීව විද්‍යා හා ගණිත අංශයේ හෝ ජීව විද්‍යාව, රසායන විද්‍යාව ඇතුළත් කෘෂි විද්‍යා අංශයෙන් අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්‌ පෙළ හදාරා එම කඩඉම් විභාගයෙන් ඕනෑම විශ්වවිද්‍යාලයකට ඇතුළු වීම සඳහා වූ පූර්ව සුදුසුකම් ලබා තිබීම විය.

වර්තමානයේ සෞඛ්‍ය සේවයේ විධායක ශ්‍රේණිය දක්‌වා ඉදිරියට එමේ අවස්‌ථාවද මෙසේ බඳවා ගනු ලබන හෙද සේවයට හිමිට තිබෙන්නකි. නමුත් පවුල් සෞඛ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේදී අධ්‍යාපන මට්‌ටම ලෙස සැලකිල්ලට ගනු ලැබුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ සමත් වීම පමණි.

මෙහිදී පවුල් සෞඛ්‍ය සේවිකාවක්‌ පුහුණු කිරීමේදීද ඔවුනට ලබා දෙනුයේ වසර එකහාමාරකට සීමා වූ මාතෘ හා ළමා සෞඛ්‍යය මත පදනම්ව ඇති ප්‍රජා පාදක පුහුණුවකි. නමුත් හෙදියක පුහුණු කිරීමේදී සිදු වන්නේ ඉන් එහාට ගිය පුළුල් වැඩපිළිවෙළකි. සංකූලතා හඳුනා ගැනීමේ සිට රෝගී පුද්ගලයකු හොඳින් රැකබලාගෙන සත්කාර කටයුතු කළ හැකි තෙවසරක විධිමත් පුහුණුවක්‌ හෙදියකට ලැබෙන්නේය.

මෙසේ පුහුණුව ලැබීමෙන් පසු පවුල් සෞඛ්‍ය සේවිකාවකට නෛතික වශයෙන් ලැබෙනුයේ මවක සාමාන්‍ය දරු ප්‍රසූතියක්‌ සිදු කිරීමේදී පළමු ශ්‍රේණියේ හෙදියකගේ හෝ වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය සමග එයට සහාය වීමේ අවස්‌ථාවය. නමුත් විශේෂිත ප්‍රසූතියකදී එයට දායක වීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට නොහැකිය. එවන් විශේෂිත අවස්‌ථාවකදී රෝගියාගේ වගකීම දරණුයේ සූතිකාගර පුහුණුව ලද හෙදියන් හා වෛද්‍යවරුන්ය.

එසේම මෙරට ඇතැම් රෝහල් තුළ පවතින මහාචාර්ය ඒකක තුළදී සිදු කෙරෙන දරු ප්‍රසූතියකට සහභාගි වීමටද පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට නොහැකිය. යම් අවස්‌ථාවල මීට පිටින් කටයුතු සිදු වනවා විය හැකිය. නමුත් පිළිගත් ක්‍රමවේදය ඇත්තේ එකී තැනය. අද දවසේ විධිමත් පුහුණුව ලද හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ භූමිකාව සූතිකාගාර සේවයේදී පිළිගැනීමට ලක්‌වන්නේ එලෙසිනි.

නමුත් මේ සියල්ල මෙසේ වෙද්දී අද ආන්දොaලනයක්‌ බවට පත්ව තිබෙන හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දීම හමුවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ රැකියාවට හෝ වෙන යම් වරප්‍රසාදයකට පහර වදින්නේ නම් ඒ දොස්‌ නිදොස්‌ කිරිමට රජය පියවර ගත යුතුය. එහි විවාදයක්‌ නැත.

හෙදියන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ යථාර්ථවාදී කතාව එසේ වෙද්දී මෙරට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ මේ වන විට දැඩි ලෙස කතා බහට ලක්‌ වන තවත් පිරිසක්‌ද වන්නාහ. ඒ භෞත චිකිත්සක, රසායනාගාර කාර්මික විද්‍යාඥ, විකිරණ ශිල්පීන් සහ වෘත්තීය චිකිත්සක ආදී ලෙසින් මෙරට සුවහසක්‌ රෝගීන් වෙනුවෙන් අපමණ සේවයක යෙදෙන පරිපූරක වෛද්‍ය සේවයට අයත් පිරිසය.

මෙසේ පරිපූරක වෛද්‍ය සේවයට බඳවා ගැනීමේදීත් කාලයක සිට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ පිළිගත් ක්‍රමය වූයේ උසස්‌ පෙළ විභාගයේ ඉහළ සුදුසුකම් තුළින් ඒ සඳහා පිරිස්‌ තෝරා ගැනීමය. එසේ තෝරා ගත් පිරිස්‌ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ වසර දෙකක ඩිප්ලෝමා පාඨමාලාකින් පසු පරිපූරක වෛද්‍ය සේවයට බඳවා ගැනීම සිදු විය.

නමුත් මෙහිදී ඔවුන් හදාරණු ලබන දෙවසරක ඩිප්ලෝමා පාඨමාලාව න්‍යායාත්මක දැනුම අඩු එකක්‌ බවට කාලයක සිටම සෞඛ්‍ය බලධාරින් අවබෝධ කරගෙන තිබුණකි. ඒ අනුව වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව රටේ ජනතාවට විධිමත් සෞඛ්‍ය සේවයක්‌ ලබා දීමේ සද් අරමුණින් යුතුව මහාචාර්ය කාලෝ ෙµdන්සේකා වැනි ලොව පිළිගත් විද්වතුන්ගේ සහාය ඇතිව පරිපූරක වෛද්‍ය සේවාවේ ඌන දැනුම වර්ධනය කිරීම සඳහා විසඳුමක්‌ සොයන්නට විය.

අපේ විද්වත්හු ලොව සංවර්ධිත රාජ්‍යයන් වෙත ගියහ. ඒ රටවල සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයන්හි පවතින ක්‍රමවේදය කුමක්‌දැයි සොයා බලන්නට වූහ. අවසානයේ විසඳුම සොයා ගනු ලැබිණි. ඉකුත් කාලයේ රජයේ තීන්දුවකට අනුව මෙරට පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් හතර සහ හෙද සේවය එක්‌ කරමින් සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව ලෙසින් විධිමත් සිව් අවුරුදු පාඨමාලාවක්‌ ඇරඹෙන්නේ ඒ අනුවය.

සාමාන්‍යයෙන් සිව් අවුරුදු උපාධි පාඨමාලාවක්‌ යනු ජාත්‍යන්තර වශයෙන් හොඳ පිළිගැනීමක්‌ ලැබෙන අධ්‍යාපන තත්ත්වයක්‌ බව උසස්‌ අධ්‍යාපනය පිළිබඳව මෙන්ම ලෝකය පිළිබඳ අවබෝධයක්‌ ඇති ඕනෑම අයකුට ඇඟිල්ලෙන් ඇන කියා දිය යුතු නොවන්නකි.

නමුත් රටේ ජනතාවගේ යහපත අරබයා වෛද්‍ය වෘත්තිය පරිදි සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තීන් සඳහාද දැනුමෙන් සන්නද්ධ ජාත්‍යන්තර මට්‌ටමේ පිරිසක්‌ බිහි කිරීම සඳහා රජය ගනු ලැබූ එකී උත්සාහයට අද අත් වී ඇති ඉරණම කෙසේ වී තිබේද?

සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවට ඇතුළත්ව අධ්‍යාපනය ලබමින් සිටි අපේ දරුවෝ දැන් දින සියයකටත් වැඩි කාලයක සිට වැස්‌සට තෙමෙමින් අව්වට වේලෙමින් සාධාරණය ඉල්ලා මහමගට වී ජීවිතය විඳවන්නාහ. ඒ සිව් අවුරුදු උපාධි පාඨමාලාව තුන් අවුරුදු එකක්‌ දක්‌වා කප්පාදු කිරීමට ගැනුණු තීරණයක්‌ හමුවේය.

එහිදී ද පොල්ල අතට ගෙන ඇත්තේa රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ය. මතුව ඇත්තේ මීට ඉහතදීද කී හිස්‌ මුදුණින් විහිදෙන කුහකකමය. ඒ අතරේ අධි මානසිකත්වයට යටින් විහිද යන හීනමානයක්‌ද මේ වන විට පෙනෙන්නට තිබෙන්නේය.

වර්තමානයේ මෙරට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ පරිපාලනයේ සිට සියල්ලේ ඒකාධිකාරය ඇත්තේ වෛද්‍යවරුන් අත ය. රටේ ව්‍යවස්‌ථාපිතව නැතත් වෛද්‍යවරුන් විසින් කියා ගන්නා වෛද්‍ය පරිපාලන සේවයක්‌ පිළිබඳ කතාවක්‌ ඇසෙමින් තිබෙන්නේ එනිසාය. රාජ්‍ය පරිපාලනයේ නිලධාරිහු කොටසක්‌ දැනුදු සෞඛ්‍ය පරිපාලන කටයුතුවල නියෑළී සිටිති. එහෙත් ඒ නිලධාරින්ද සෞඛ්‍ය පරිපාලනයෙන් පන්නා දමා සියල්ල තමන් සතු කර ගැනීම සඳහා මේ මොහොතේ ඊනියා වෛද්‍ය පරිපාලනයේ කණ්‌ඩායම් සිදු කරන කුමන්ත්‍රණ අපමණය.

ඒ අස්‌සේ ආණ්‌ඩුව සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවක්‌ අරඹා දැනුමෙන් පෝෂිත පිරිසක්‌ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට ගෙන ඒම සඳහා කටයුතු කරන්නට හැදුවේය. හෙදියනට සූතිකාගාර පුහුණුවක්‌ දෙන්නටද සැරසෙන්නේය. බුදු අම්මෝ, මේ දේවල් සිදු වුවහොත් මේ කුහක ඒකාධිකාරයට කුමක්‌ සිදු වනු ඇතිද? කාලයක සිට රටේ සෞඛ්‍ය සේවය "අන්තෝ ජටා බහි ජටා" බවට පත් වෙමින් තිබෙන්නේ මෙකී ගැටලුව හමුවේ නොවේද?

හෙදියනට සූතිකාගාර පුහුණුව දීමේ තීරණය පිළිබඳ ඉකුත් දෙවැනිදා (සිකුරාදා) සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී "රජය මොන තීන්දුවක්‌ ගත්තත් "එය කරන්නට ඉඩ තබන්නේ නැතැයි" කියමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සිංහනාද කරන්නට වූයේද මේ නිසාය.

එහෙත් මෙහිදී අපට ගැටලුවක්‌ මතු වන්නේ සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට පෙරමුණ ගන්නා අතරේ හෙදියනට සූතිකාගාර පුහුණුව දෙන්නට එපා යෑයි බල කරමින් රටේ දරුවන්ට ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය වලකන්නට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ඇති අයිතිය කුමක්‌දැයි විමසා බැලීමේදීය.

කිසිවකු විසින් හෝ එවන් අයිතියක්‌ තමන්ට ඇතැයි සිතමින් ක්‍රියා කරන්නේ නම් ඒ තුළ ඇත්තේ සදාචාරය පිළිබඳ ගැටලුවක්‌ බවද කිව යුතුය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන්ද ඇතුළුව මෙරට සියලු වෛද්‍යවරුන් අද තමන් සිටින තැනට පැමිණ සිටිනුයේ මේ රටේ ජනතාවගේ මුදලින් ලද නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙනි.

එසේම මේ වන විට ප්‍රශ්නගත සම සෞඛ්‍ය උපාධිය හදාරන්නන් මෙන්ම සූතිකාගාර පුහුණුව ලබන්නට සැරසෙන හෙදියන් ඇතුළු සියලු තරාතිරමේ අධ්‍යාපනය හදාරන්නන් සිටිනුයේද එකී නිදහස්‌ අධ්‍යාපනයේ හිමිකාරයන් ලෙසිනි. එසේ නම් "අපට දුන්නට කමක්‌ නැහැ උන්ට දෙන්න එපා" යෑයි ලෙසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙසේ "ඉණිමගට පයින් අනින" න්‍යායක සිටිනුයේ කුමක්‌ නිසාද?

ඒ පිළිබඳ සිතීමේදී "අබුද්දස්‌ස කාලේ.. ලබුත් තිත්තයි රාළේ.." කියනවා හැරෙන්නට වෙන කියන්නට දෙයක්‌ද නැත.

මේ සියල්ල හමුවේ අවසානයේ ආණ්‌qවෙන් අසන්නට ප්‍රශ්නයක්‌ ද දැන් අපට ඉතිරිව ඇත. අද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කරන්නට පෙරමුණ ගත් අන්දමින්ම හෙදියනට සූතිකාගාර පුහුණව නොදිය යුතුයි ලෙසින් හඬ නගන්නේය.

ඒ අයුරින් හෙට දවසේ සරම කැසපට ගසා ගන්නා එම සංගමය ආණ්‌ඩුවට ඇඟිල්ල දික්‌ කර කැබිනට්‌ මණ්‌ඩලයේ ගණන විසි පහට බස්‌සවා දහතුන්වන සංශෝධනයට අනුව බලයත් බෙදා දීපන් යෑයි කිවහොත් ඒකත් කරන්නට රජය සූදානම්ද?

සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.