ප්‍රභූ ඝාතන තැතක්‌ හෙළිවෙයි

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

ප්‍රභූවරුන් දෙදෙනකු ඝාතනය කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ගෑස්‌ සිලින්ඩර් සහිත බර වාහනයක්‌ එකී ප්‍රභූවරුන්ගේ වාහනවල ඝට්‌ටනය කිරීමට හිටපු කොටි ත්‍රස්‌තයන් පිරිසක්‌ ගැන ත්‍රස්‌ත මර්දන නිලධාරීහු විශේෂ විමර්ශනයක්‌ අරඹා ඇත.

මෙම ඝාතන සැලසුමේ දෙහිවල පිහිටි කේන්ද්‍රස්‌ථානය වැටලූ ත්‍රස්‌ත මර්දන නිලධාරින් එහි හිමිකරුවූ හිටපු කළු කොටියකු වන බවනන්දන් නමැත්තා ඇතුළු දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

බවනන්දන් යාපනයේ සිට පැමිණ කැනඩාවේ කොටි ඩයස්‌පෝරාවේ සගයකු වන දෙහිවල ව්‍යාපාරික ස්‌ථානයක්‌ ආරම්භ කර එහි සිට ප්‍රභූවරුන්ගේ ගමන් බිමින් ගැන නිරීක්‌ෂණය කර ඇතැයි විමර්ශනවලින් හෙළිවී ඇත.

මේ ප්‍රභූ ඝාතන සැලසුමේ ක්‍රියාකාරිකයකුවූ කිලිනොච්චියේ ඡායාරූප ශිල්පියකුවූ නිශාන්දන් නමැත්තාද අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ නගරයේ මාර්ග බාධක හා ආරක්‌ෂක මුරපළවල් නොමැති නිසා මෙම ඝාතන මෙහෙයුම සැලසුම් කිරීමට මොවුන් ක්‍රියාකර ඇතැයි වැඩිදුරටත් හෙළිවී ඇත.

කොළඹ කොටුවේ මහ බැංකුවට පුපුරණ ද්‍රව්‍ය පිරවූ ලොරියක්‌ හප්පා විනාශ කළ අයුරින්ම ප්‍රභූ වාහනවලට මෙම ලොරිය ඝට්‌ටනය කිරීම එකී කොටි ක්‍රියාකාරීන්ගේ සැලසුම වී තිබේ.

මෙම සැලසුමට සම්බන්ධ හිටපු කොටි ක්‍රියාකාරීන් කැනඩාවේ කොටි ඩයස්‌පෝරාව සමග සබඳකම් පැවැත්වීමට යොදාගත් ජංගම දුරකථනයද ත්‍රස්‌ත බලධාරීන්ට හසු වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.