කර්තෘට ලියුම්
ඩෙංගු පිළිබඳව සෞඛ්‍ය ඇමැතිට විවෘත ලිපියක්‌

කොල්ලුපිටියේ, ලිබර්ටි ප්ලාසා ගොඩනැඟිල්ලේ විවිධ කාර්යාල, කඩසාප්පු හා නිවාස පිහිටා ඇති බව සෞඛ්‍ය ඇමැතිතුමා හොඳින් දන්නා කාරණයකි. මෙම ගොඩනැඟිල්ලේ දැනට මාස 3 ක 4 ක පමණ කාලයක සිට ගොඩනැඟිල්ලේ සේවය කරන අයට හා නිවැසියන් කිහිප දෙනෙකුට මාරාන්තික ඩෙංගු රෝගය සෑදීම නිසා රෝහල් ගත කරනු ලැබීය. මේ අතුරින් කිහිප දෙනෙක්‌ නිසි ප්‍රතිකාර ලැබී සුවය ලබා ඇති අතර, සමහරෙක්‌ මෙම ගොඩනැඟිල්ලේ සේවයෙන් ඉවත්ව ගොස්‌ ඇත. නිවැසියන් කිහිප දෙනෙක්‌ තම නිවාස අතහැර ගොස්‌ ඇත. දැනට මදුරුවන්ගෙන් ඇති වී ඇති පීඩාකාරී තත්ත්වය හේතුවෙන් මෙම ගොඩනැඟිල්ලේ වාසය කිරීම ඉතා භයානක බව මෙයින් තේරුම් ගත හැක.

මේ දිනවල මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු කෙරෙමින් පවතී. ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් එහි නිවැසියන් වන අපගේ කිසිදු විරුද්ධත්වයක්‌ නොමැත. එහෙත් මෙහිදී කටයුතු සිදුවන්නේ ඉතා අපිරිසිදු වාතාවරණයක්‌ ගොඩනැඟිලි තුළ ඇති කරමිනි. මේ හේතුවෙන් ජලය බැස යන කාණු අවහිර වීම නිසා ජලය බැස යැමට මාර්ගයක්‌ නැත. තවද, මෙම ගොඩනැඟිල්ලේ කුණු කසළ ගොඩ ගැසී ඇති අතර මාස කිහිපයකින් ඒවා ඉවත් කර නැත. මේ පිළිබඳව අදාළ බලධාරීන්ට කිහිප වතාවක්‌ම දැනුම් දුන්න ද කිසිම පියවරක්‌ ගෙන නැත. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුට ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. එයින් එක්‌ දරුවකු වන මගේ දුවද දැනට කොළඹ ඩර්ඩන්ස්‌ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔබතුමන්ලා රූපවාහිනී මගින් හා පුවත්පත්වලින් කෙතරම් මේ සම්බන්ධයෙන් කථාබහ කළද, කිසිදු ප්‍රතිඵලක්‌ නැති බව මා පවසන්නේ ඉතා කනගාටුවෙනි. අපගේ සෞඛ්‍ය ඇමැතිතුමා වශයෙන් ලිබර්ටි ප්ලාසා ගොඩනැඟිල්ලේ පවතින මෙම තත්ත්වය තේරුම්ගෙන මෙම මාරාන්තික ඩෙංගු උවදුරෙන් අප සැම බේරා ගැනීමට කඩිනම් පියවරක්‌ ගෙන මෙම ප්‍රශ්නයට ඉක්‌මන් විසඳුමක්‌ ලබා දෙන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

එම්. මනිමුත්තු,
කොල්ලුපිටිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.