ලේ දන්දීමේ වැඩසටහන්වලින්
මහරගම පිළිකා රෝහල වසරකට
ලේ පයින්ට්‌ 24000ක්‌ ලබා ගන්නවා

- වෛද්‍ය සුධීර බණ්‌ඩාර

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඡායාරූප - ඥනතිස්‌ස ජයවර්ධන

නුගේගොඩ සාන්ත ජෝන් මහා විදුහල ආරම්භ කර වසර 99 ක්‌ සපිරුණු පසුගිය 05 වැනිදා වැඩසටහන් රාශියක්‌ විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙය විදුහල්පති මේජර් ඩී. ඒ. ඩී. වානගුරු මහතාගේ උපදෙස්‌ මත නුගේගොඩ සාන්ත ජෝන් මහා විදුහලේ ආදි ශිෂය සංගමය විසින් සංවිධානය කර තිබිණි. මෙහිදී මහරගම පිළිකා රෝහලේ ලේ බැංකුවේ අනුග්‍රහයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්‌ ද සංවිධානය කර තිබිණි.

එම ලේ බැංකුව මසකට මෙවැනි වැඩසටහන් 20 ක්‌ පමණ සංවිධානය කර ලේ පැකට්‌ (පයින්ට්‌) 2000 ක ප්‍රමාණයක්‌ ලබාගන්නා බව මෙම වැඩසටහන මෙහෙයවූ පිළිකා රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය සුධීර බණ්‌ඩාර මහතා පැවසීය.

මෙම ලේ පැකට්‌ (පයින්ට්‌) මහරගම පිළිකා රෝහලට අමතරව අවිස්‌සාවේල්ල හා කරවනැල්ල යන රෝහල්වලටත් සපයන බවත්, ඉතිරි ඒවා නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුවට යොමු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ලේ දන්දීමේ මෙවැනි වැඩසටහන් වලින් වාර්ෂිකව දිවයිනේ රෝගීන් වෙනුවෙන් ලේ පැකට්‌ (පයින්ට්‌) 24,000 ක්‌ පමණ ලබාගන්නා බවද හෙතෙම කීය. මෙම ලේ දන්දීමේ පිංකම මහරගම පිළිකා රෝහලේ ලේ බැංකුවේ විශේෂඥ වෛද්‍ය ලක්‌මාලි මොරවක මහත්මියගේ අධීක්‍ෂණයෙන් වෛද්‍ය තුෂිත් පතිරණ, වෛද්‍ය සුධීර බණ්‌ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පැවැත්විණි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක දීප්ත පෙරේරා, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්‌ඩලය මෙම කාර්ය සඳහා දායක වූහ.

මෙහිදී විදුහල්පති මේජර් ඩී. ඒ. ඩී. වානගුරු මහතා ද සිය ලේ දන් දුන්නේය.

මෙම අවස්‌ථාවට නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දන පෙරේරා, විධායක උප සභාපති රංජිත් පතිරගේ, සම ලේකම් රුක්‌මාල් පෙරේරා, කමිටු උප සභාපති මලිත් අල්විස්‌, ලේකම් දිල්රුක්‌ කුලසිංහ, කමිටු සාමාජික ධනුෂ්ක නුවන්, උප සභාපති දේවක පෙරේරා, සාමාජික අරුණ තරංග යන මහත්වරු ද සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.