මාතලේ රෝහලේ වෛද්‍යවරයෙක්‌ රිමාන්ඩ්

සීගිරිය - සරත් එරමිණි ගම්මන

මාතලේ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු අධිකරණයේ නියෝගයක්‌ මත 12 දා මාතලේ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අවස්‌ථාවේ එම වෛද්‍යවරයා ලබන 17 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට දිසා මහෙස්‌ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.

බීමත්ව සිටි පුද්ගලයකුට අනුබලදීම, වෛද්‍යවරයාගේ රාජකාරිය පැහැර හැරීම, පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ හා මීට පෙර රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කුඩා දරුවකුට (පහරදීම) හිංසනයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් මාතලේ පොලිsසිය බී වාර්තාවක්‌ මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් දිසා මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුට තරයේ අවවාද කරමින් මෙම නියෝගය ලබාදී ඇත.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රත්තොට, වේරගම පදිංචි 48 හැවිරිදි වෛද්‍යවරයෙකි.

මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු බීමත් පුද්ගලයකු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීමට මාතලේ පොලිසියේ උ. පො. ප. ගුණතිලක හා තවත් පොලිස්‌ සැරයන්වරයකු අදාළ සැකකරු ඉකුත් 2 දා වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමේදී වෛද්‍යවරයා වෛද්‍ය වාර්තාව ලබා නොදී පොලිස්‌ නිලධාරීන් දෝෂ දර්ශනයට ලක්‌කර තිබේ.

මේ පිළිබඳව මාතලේ පොලිසිය අධිකරණයට කරුණු දැක්‌වීමෙන් පසු සැකකාර වෛද්‍යවරයාට නොතීසි නියෝගයක්‌ නිකුත් කර තිබේ. ඒ අනුව වෛද්‍යවරයා අධිකරණයේ පෙනී සිටි අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බීමත් පුද්ගලයාට අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසු රුපියල් 1500 ක දඩ මුදලක්‌ නියම කර ඇත. මාතලේ සහකාර පොලිස්‌ අධිකාරි ඩී. එම්. දසනායක හා වැඩබලන මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ඒකනායක යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ සිදු කෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.