කෝටි හයක කල් ඉකුත් ඖෂධ අත් අඩංගුවට ගත්හැටි



වර්තමානයේ වෙළෙඳපොළ තුළ ඇති කෑමට ගන්නා ආහාර ද්‍රව්‍ය තුළින් බොහොමයක්‌ මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ඒවාය. කූට වෙළෙඳුන් තමන්ගේ ලාභය ගැන පමණක්‌ සිතා ඕනෑම දහ ජරාවක්‌ පාරිභෝගිකයාට විකිණීමට සූදානම්ය. එයට හොඳම උදාහරණය වනුයේ පසුගිය කාල සීමාව තුළ රට වටා කරන ලද වැටලීම්වලින් සොයාගන්නා ලද පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රවයි. කොතරම් වැටලීම් කර දඩ ගැසුවත් මේවායේ අඩුවක්‌ නම් පෙනෙන්නට නැත.

මෙලෙස පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට ගන්නා පාරිභෝගිකයෝ විවිධ ලෙස රෝග තත්ත්වයන්ට ලක්‌වෙති. නමුත් දැන් තිබෙන තත්ත්වයන් සමග ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී දෙපාරක්‌ සිතිය යුතුය. ඒ රටපුරා ඇති විවිධ බෙහෙත් වර්ගද පරිභෝජනයට නුසුදුසු ඒවා වීම නිසාය. මෙයට හොඳම නිදසුන වනුයේ පසුගිය 13 වැනිදා කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් සොයා ගන්නා ලද කෝටි 6 ක්‌ පමණ වටිනාකමකින් යුතු කල් ඉකුත් වූ ඖෂධ, සැත්කම් සඳහා උපයෝගී කරගනු ලබන ඉදිකටු සහ ශල්‍ය උපකරණ ආදියයි.

ව්‍යාජ ලේබල් අලවා වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා මෙම ඖෂධ තොගය කල් ඉකුත් නොවූ ඖෂධ අතරේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ. සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව මේ ඖෂධ ගබඩාව පරීක්‍ෂා කරන ලෙසට ඇමැතිවරයා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ අදාළ ස්‌ථානයට ගොස්‌ එම ඖෂධ ගබඩාව පරීක්‍ෂා කළේය. එහිදී 2012, 2013 ජනවාරි මාසයේ සහ 2014 පෙබරවාරි මාසයේ කල් ඉකුත් වූ ඖෂධ සහ ශල්‍ය උපකරණ සොයා ගැනීමට හැකි වී තිබේ.

පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසන අන්දමට මෙම ඖෂධ හා ශල්‍ය උපකරණ සෙල්සියස්‌ අංශක 25-30ත් සහිත ස්‌ථානයක ගබඩාකළ යුතුය. නමුත් මෙම ඖෂධ තොගය ගබඩාකර ඇත්තේ එවැනි වායු සමන පහසුකම් නොමැති ස්‌ථානවලය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ තොගයක්‌ කල් ඉකුත් නොවූ ඖෂධ අතර සඟවා තිබුණේ නැවත ඒවායේ දින වෙනස්‌ කර වෙළෙඳ පොළට දැමීම සඳහායි. තවත් ඖෂධ තොගයක්‌ මහනුවර ප්‍රදේශයේ ස්‌වර්ණාභරණ අලෙවි සැලක නම යෙදූ කවරවල අසුරා තිබියදී හමු වී තිබේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ ලාංඡනය සහිත ලේබල් තොගයක්‌ සහ රාජ්‍ය ලාංඡනය මුද්‍රණය කළ ලේබල් තොගයක්‌ද මෙම ගබඩාව තුළ තිබී එම වැටලීම් කළ නිලධාරීන් සොයාගෙන තිබේ.

හර්නියා වැනි ශල්‍යකර්ම සඳහා භාවිතා කරනු ලබන උපකරණ කට්‌ටල තොගයක්‌ද හමු වී තිබේ. එම උපකරණ තොගයේ කල් ඉකුත් වීමේ දිනය ලෙස සටහන්ව තිබුණේ 2012 ජනවාරි මසය.

මෙම ඖෂධ ගබඩාව වැටලීමේදී එහි අයිතිකරුවන් හා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමග බහින් බස්‌ වීමක්‌ද ඇතිවිය. එම ගබඩා අයිතිකරුවන් පවසා සිටියේ කල් ඉකුත් වූ ඖෂධ වර්ග බෙහෙත් වෙළෙඳ සැල්වල තිබී ආපසු රැගෙන ආ ඒවා බවත්, නැවත මේවා වෙළෙඳපොළට දැමීමට ක්‍රියා නොකළ බවත්ය. නමුත් එය සම්පූර්ණ අසත්‍යක්‌ බව එම නිලධාරීහු පැවසූහ.

පසුව මෙම ගබඩා සංකීර්ණයට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සීල් තැබූ අතර කල් ඉකුත් වූ ඖෂධ සහ ශල්‍ය උපකරණවල සාම්පල් නීති මගින් කටයුතු කිරීම සඳහා ලබා ගත්තේය.

මේ සිදුවීමත් සමග ඇමැති ජොන්ස්‌aටන් ප්‍රනාන්දු මහතා විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට පවසා ඇත්තේ සියලු කල් ඉකුත් වූ ඖෂධ වර්ග ජනතාව අතරට යැම වැළැක්‌වීම සඳහා සියලුම පියවර ගන්නා ලෙසටත් කල් ඉකුත් වූ මෙවැනි ඖෂධ අලෙවිකරන පුද්ගලයන්හට තරාතිරම නොබලා උපරිම දඩුවම් ලබා දෙන ලෙසත්ය.

දිවයින පුරා ඇති සියලු ඖෂධ වෙළෙඳසල් වැටලීමේ විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික අධිකාරියට ඇමැතිවරයා නියෝග කළ බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පැවසීය.

මිනිස්‌ ජීවිත සත පහකටවත් මායිම් නොකර එම ජීවිත සමග සෙල්ලම් කරන මෙවැනි නරුමයන්ට ලබාදිය යුත්තේ රජ කාලයේ ලබා දුන් දඬුවම්ය.

ගයාන් සමරසිංහ
පිංතූර සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.