රැව්පිළිරැව්

බටහිර බෙහෙත්  "ජාතික ආහාරය"
කරගත් ලංකාවේ මිනිස්‌සු

ඖෂධ භාවිතාව සම්බන්ධව පුළුල් කතිකාවතක්‌ සමාජය තුළ ගොඩනැගෙමින් පවතින වකවානුවකි මේ. මේ වනවිට අප සමාජයට නැතුවම බැරි පුරුද්දක්‌ බවට ඖෂධ භාවිතාව පත්වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක්‌ බවට පත්ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නොදැම්මොත් බොහෝ දෙනාගේ හිත හොඳ නැත.

එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක්‌ නොදක්‌වයි. ලෙඩ රෝග වලක්‌වා ගෙන මරණය පරාජය කිරීම මිනිසාගේ ආශාවක්‌ මිස ස්‌වභාවධර්මයාගේ කැමැත්ත නොවෙයි.
 

"එක ඩොක්‌ටර් කෙනෙක්‌ ළඟට ගියා, වැඩක්‌ නැහැ මේ එක බෙහෙතයි දුන්නේ. තාම බබාගේ උණ සනීප නැහැ. අර ඩොක්‌ටර් නම් බෙහෙත් ගොඩක්‌ දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා."

"බබාට උණ වගේ ඩොක්‌ටර්, බොහෙත් මොනව හරි දෙන්න, බලෙන් හරි පොවා ගන්නම්".

මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කර ගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌ දැකිය හැක, අප විදේශිකයකුට ඖෂධයක්‌ නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කුමක්‌ද? එහි ක්‍රියාකාරිත්වය කුමක්‌ද? අතුරු ආබාධ මොනවාද? කොපමණ කාලයක්‌ ඖෂධය ලබා ගත යුතුද? වෙනත් ඖෂධ හා ආහාර සමඟ නියම කරන ලද ඖෂධය ලබා ගැනීමේදී අතුරු ආබාධ ඇතිවේද යන ගැටලු රැසකට පිළිතුරු දීමට වෛද්‍යවරුන් වන අපට සිදුවෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩිවන තරමට විදේශිකයා අසතුටට පත්වෙයි. ඖෂධ භාවිතාව සම්බන්ධව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත්ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක්‌ හේතුවකි.

රෝග අවස්‌ථා නිර්ණය කර එම රෝග කාරකයන් පාලනය හෝ මර්දනයට ඖෂධ යොදාගත හැක. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසාගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වළ දක්‌වාම ඖෂධ නැතුවම බැරි සංයෝගයක්‌ වී ඇත. දරුවකු මවු කුස පිළිසිඳ ගැනීමටත් පෙර සිටම මව ඖෂධ ලබා ගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේදීද ඖෂධ ලබා දීම සිදු කරයි.

පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට අපගේ පවුලේ සාමාජිකයකු සෑම දින හතරකටම වරක්‌ අසනීප වෙයි. මීට අමතරව වයස අවුරුදු 20 ත් 45 ත් අතර කාලයේදී සෑම පුද්ගලයෙකුම වාගේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි. මේ සෑම අවස්‌ථාවකදීම පිහිටට පැමිණෙන්නේ ඖෂධයි.

රෝගීන්ට ඖෂධ නියම කිරීමට පෙර කරුණු කිහිපයක්‌ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුය. ඖෂධ ලබා දීමෙන් රෝගියාගේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්‌ කරන්නේද යන්න පළමුව කල්පනා කළ යුතුය. සමහර රෝගී තත්ත්ව ඖෂධ ප්‍රතිකාරවලින් තොරවම සුවවෙයි. ඖෂධ ලබා දීමෙන් රෝගියාගේ සිරුරේ සිදුවෙතැයි අපේක්‍ෂිත වෙනස්‌කම් ගැන අවබෝධයක්‌ තිබිය යුතුය. හැකි සෑම විටම ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ රෝගියාට ලබා දිය යුතුය. තමාගේ ප්‍රතිකාර වලින් රෝගියාට සුවවන්නේ නම් ඒ බව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබිය යුතුය.

වෛද්‍යවරයකු විසින් රෝගියාට ලබා දෙන ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත ස්‌ථානයේදී නිවැරැදිව ක්‍රියාත්මක විය යුතු ලෙස නිවැරදි මාර්ගය ඔස්‌සේ ලබා දිය යුතුය. නිදසුනක්‌ වශයෙන් සමහර රෝගවලට බොන බෙහෙත් වලින් සුව වීමට වැඩි කාලයක්‌ ගතවෙයි. එවැනි විටෙක එන්නත් ලබා දීමට පෙළඹිය යුතුය.

අප භාවිත කරන ඖෂධයේ අතුරු ආබාධ ගැන අවබෝධයක්‌ වෛද්‍යවරයාට මෙන්ම රෝගියාටද තිබිය යුතුය. "අනේ අර දොස්‌තරගේ බෙහෙත් බිව්වාම කරකැවිල්ල හැදෙනවා" යි රෝගීන් චෝදනා කරන මුත් එය වෛද්‍යවරයාගේ වරදක්‌ නොව රෝගියාගේ රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධවල අතුරු ආබාධයක්‌ විය හැක. වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගන්නා අප රෝගය සුව වූ වහාම අපගේ හිතුමනාපෙට ඖෂධ ගැනීම නතර කර දමයි. මෙය නොකළ යුතුය. රෝගියාට ලබා දෙන ඖෂධ නතර කිරීම කෙසේ කළ යුතුද යන්න ගැන වෛද්‍යවරයාට පූර්ව අවබෝධයක්‌ තිබිය යුතුය. රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධ වල අතුරු ආබාධ සංකූලතා පැවැතියද ඒ බව දැන දැනම ඖෂධ ලබාදිය යුතු අවස්‌ථා පවතියි. එවැනි විටෙක රෝගියා සහ ඔහුගේ ඥතීන් ඒ සම්බන්ධව දැනුවත් කළ යුතුය.

මේ අනුව පෙනී යන්නේ යම් රෝගයකට ඖෂධයක්‌ ලබා දීම හෝ ලබා ගැනීම "මේ ලෙඩේට මේ බෙහෙත මේ බෙහෙත මේ ලෙඩේට" ලෙස කට පාඩමින් අච්චාරවත්ව කළ හැකි දෙයක්‌ නොවන බවයි. රෝගීන් වෛද්‍යවරුන් මෙන්ම µdමසි හිමියන්ද මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ සඳහා දැනුම, අවබෝධය, අත්දැකීම්, හැකියාව මෙන්ම කුසලතාවයද තිබිය යුතුය. වෛද්‍යවරුන් දෙදෙනෙක්‌ එකම බෙහෙත අවස්‌ථා දෙකකදී එකම රෝගියෙකුට ලබාදුන් විට එක්‌ වෛද්‍යවරයකුගේ බෙහෙත්වලින් සුව වන්නේත් අනෙක්‌ වෛද්‍යවරයාගේ බෙහෙත් වලින් සුව නොවෙන්නේත් මේ වෙනස නිසාය.

ඖෂධයන් මගින් අපට සුවය ලැබෙයි. එය සුළු රෝගයක සිට මාරාන්තික රෝගයක්‌ දක්‌වා සුවය ලබා දෙයි. ඖෂධ වලින් ලැබෙන අතුරු ආබාධ ද එසේමය. සුළු ආබාධ වල සිට මාරාන්තික අනතුරු සිදුවිය හැක, රුබෙල්ලා එන්නත් කිරීමෙන් දැරියක මියයැම නිදසුනකි. එකම ඖෂධය වුවද රෝගියාගෙන් රෝගියාට ක්‍රියා කරන්නේ වෙනස්‌ ආකාරයටය.

වෛද්‍ය විද්‍යාව තුළදී ප්‍රධාන අරමුණු තුනකින් ඖෂධ භාවිත කරයි. රෝග සුවපත් කිරීම ඉන් පළමු වැන්නයි. රෝගී අවස්‌ථා උත්සන්න නොවී යටපත් කිරීම දෙවැනි අරමුණයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්‌මාරය, හතිය ආදී රෝගී අවස්‌ථාවලදී ප්‍රතිකාර කරනුයේ රෝගියාට රෝගය නිසා වන අතුරු ආබාධ අවම කිරීමටය. දෙවැනි අරමුණ රෝග ඇතිවීම වළක්‌වා ගැනිSමයි. ප්‍රතිශක්‌තිකරණ එන්නත් ලබාදීම, මැලේරියා කලාපයකට යැමට පෙර ඖෂධ ලබා දීම නිදසුනකි.

මිනිසාට වැළඳෙන රෝග අවස්‌ථා අවම වීමටත් නිරෝගී වීමටත් බලපාන ලද ප්‍රධාන හේතුවක්‌ වන්නේ ඖෂධ භාවිතය ඉහළ යැම නොව අපගේ සමාජ ආර්ථික ජීවන තත්ත්වය වඩා ගුණාත්මක වීම බව සිහියේ තබා ගත යුතුය. රෝග වළක්‌වා ගැනීමට මූලික අවධානය යොමු විය යුතුය. එසේ රෝගී බවට පත්වන පුද්ගලයන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දිය යුතුය. දුම්පානය නතර කිරීමෙන් පිළිකා වලින් අත්මිදිය හැක. දිනපතා ව්‍යායාම වලට හුරු වීමෙන් හෘදයාබාධ වලින් වැළකී සිටිය හැක. ජලය වැඩිපුර පානය හා කෙඳි සහිත ආහාර අනුභවය ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ආදී රෝග වලින් මිදීමට උපකාරී වෙයි.

අප ඖෂධයක්‌ ලබා ගන්නා සෑම අවස්‌ථාවක්‌ම අවදානම් (Rෂීණ) සහගත වෙයි. ඖෂධයේ පවතින ගුණාංග, නියම කරන වෛද්‍යවරයාගේ අත්දැකීම, රෝගියාගේ ශරීරය ඖෂධයට ප්‍රතිචාර දක්‌වන අන්දම, පාරිසරික තත්ත්වයන් ආදී සියල්ල එකතු වී මෙම අවදානම නිර්මාණය වෙයි. ඇතැම් ඖෂධයන් ලබා දුන්විට මුල් දින කිහිපයේදී රෝගී තත්ත්වයන් උත්සන්න විය හැක. නැති රෝග ලක්‍ෂණ ඇති වෙයි.

වෛද්‍යවරුන්ට රෝගියාගේ සැබෑ රෝගී අවස්‌ථාවට ප්‍රතිකාර කිරීමට අමතරව රෝගියා සහ ඔහුගේ ඥතීන් සතුටු කිරීමට ඖෂධ නියම කිරීමට සිදුවෙයි. මෙහිදී ඖෂධ වැඩි සංඛ්‍යාවක්‌ (ඡදකහචය්රප්ජහ) නියම කිරීමට සිදුවෙයි. රෝගියා සතුටු කිරීම වෙනුවට රෝගියාට සුවයක්‌ වන ඖෂධ පමණක්‌ නියම කිරීම වැදගත්ය. යම් රෝගයක්‌ ඖෂධීය ප්‍රතිකාර වලින් තොරව සුව වන්නේ නම් ඒ බව රෝගියාට පහදා දිය හැක.

මීට දශක කිහිපයකට පෙර වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඖෂධ පිළිබඳ තොරතුරු ආදිය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ට පමණක්‌ සීමා වී තිබුණද මේ වන විට තත්ත්වය වෙනස්‌ වී ඇත. සාමාන්‍ය ජනතාව රෝගාබාධ හා ප්‍රතිකාර විධි ක්‍රම සම්බන්ධව වඩා දැනුවත්ය. ජනමාධ්‍ය වලද මෙය ජනප්‍රිය තේමාවක්‌ වී ඇත. මේ නිසා ඖෂධ නියම කිරීමේ ඒකාධිකාරය වෛද්‍යවරුන් වෙතින් ගිලිහී ගොස්‌ ඇත. ඖෂධයක්‌ නිසා සංකූලතාවක්‌ ඇති වුවහොත් උසාවි යැමට සිදුවන්නේ ගහෙන් වැටුණ මිනිසාට ගොනා අනින ලෙසිනි.

මේ ගෙවීයන විසිඑක්‌ වැනි සියවස වන විට විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ජනතාවගේ දැඩි විශ්වාසයක්‌ පවතින අතර අත්වැරදි ඔව්හු බලාපොරොත්තු නොවෙති. ඖෂධ නිසා වන අතුරු ආබාධද නොවිය යුතු යෑයි සමාජය විශ්වාස කරයි. "දොස්‌තර බෙහෙතක්‌ දුන්නා. ඒක බීපු ගමන් ලෙඩාට අමාරු වුණා". ජනතාව පවසන්නේ එපමණකි. ඇඟිල්ල දිගුවන්නේ වෛද්‍යවරයාටය. අදාළ ඖෂධය හමුවේ රෝගියාගේ ශරීරයේ අභ්‍යන්තරයේ වුණ රසායන වෙනස්‌කම් තේරුම් ගැනීමට කිසිවකුට ඉවසීමක්‌ නැත. ජනමාධ්‍යයද ඒක පාර්ශ්වීයව වාර්තාකරණයේ යෙදෙයි. ඖෂධ භාවිතයේ ප්‍රතිඵලයක්‌ ලෙස "නැති ලෙඩ හැදෙන බව" ට විශ්වාසයක්‌ ඇත. කෙසේ වුවද මේ තේමාව විවාදිතය. පුළුල්ව සාකච්ඡාවට බඳුන් විය යුත්තකි. කොතෙක්‌ අත් වැරදි සම්ප්‍රදායක ගොඩ වෙද කම් වල සිදුවුවද ඒ ගැන බොහෝ දෙනා නිහඬය.

වෛද්‍යවරයා නියම කළ පමණින් සෑම ඖෂධයක්‌ම රෝගියා විසින් ලබාගත යුතු නැත. අදාළ ඖෂධය සම්බන්ධව සියලු කරුණු වෛද්‍යවරයාගෙන් විමසා තම අභිමතය පරිදි එය භාවිතය හෝ අභාවිතය තීරණය කළ හැක. මෙහිදී වෛද්‍යවරයාට මගපෙන්වීමක්‌ කළ හැක. ඒ අනුව රෝගියාට වාසි-අවාසි විමසා තීරණය ගත හැක.

වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී ඖෂධ භාවිතාව සම්බන්ධ පහත කරුණු සම්බන්ධව විමසිලි වන්ත විය යුතුය. ඇතැම් ඖෂධ නිසා රෝග ඇති වීමත්, ආසාත්මික ප්‍රතික්‍රියා ඇති වීමත් තමාට නොගැලපෙන ඖෂධ වලින් ඈත්වීමටත් මෙය උපකාරි වෙයි. ඖෂධ භාවිත කළ පමණින් රෝග සුව වන්නේද නැත. ඖෂධ වල රසායන ප්‍රතික්‍රියාවන්, රෝගියාගේ ජාන පදනම, ඖෂධය ලබා දෙන මාර්ගය, වෛද්‍යවරයා පෙනී සිටීද නැද්ද, වෛද්‍යවරයාගේ පෞරුෂත්වය ආකල්ප හැසිරීම ආදියද රෝග සුව වීමට බලපායි. මීට අමතරව රෝගියාගේ පෞරුෂත්වය ආකල්ප, වෛද්‍යවරයා සම්බන්ධව රෝගියාගේ විශ්වාසය හා සමජ පරිසරය සාධක තත්ත්වද මීට බලපායි.

වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරීම හුදු ඖෂධ මාත්‍රාවක්‌ නියම කිරීමක්‌ පමණක්‌ නොවන අතර එය සංකීර්ණ මානුෂික ප්‍රතික්‍රියාවක්‌ බව මේ අනුව පැහැදිලි වෙයි. මුදල් ගෙවා භාණ්‌ඩයක්‌ මිලදී ගැනීමට වඩා එය වෙනස්‌ මානුෂීය ගනුදෙනුවකි.

ඖෂධ භාවිතාව සම්බන්ධව පුළුල් කතිකාවතක්‌ සමාජය තුළ ගොඩනැගෙමින් පවතින වකවානුවකි මේ. මේ වනවිට අප සමාජයට නැතුවම බැරි පුරුද්දක්‌ බවට ඖෂධ භාවිතාව පත්වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක්‌ බවට පත්ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බටහිර ඖෂධ පොකුරු පිටින් ගිල නොදැම්මොත් බොහෝ දෙනාගේ හිත හොඳ නැත. කෙසේ වුවත් අපට ස්‌වභාවධර්මයා වෙනස්‌ කළ නොහැක. එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක්‌ නොදක්‌වයි. ලෙඩ රෝග වලක්‌වා ගෙන මරණය පරාජය කිරීම මිනිසාගේ ආශාවක්‌ මිස ස්‌වභාවධර්මයාගේ කැමැත්ත නොවෙයි.

මින් පෙර කිසිම දිනක ඖෂධ ආසාත්මික නොවූ පුද්ගලයකුට වෙන ඕනෑම මොහොතක ඕනෑම ඖෂධයක්‌ ආසාත්මික විය හැක. රෝගියාගේ රෝග ලක්‍ෂණ, අතීත නිධාන ඉතිහාසය ආදිය විමසීමෙන් හා ඉතා ප්‍රවේශමෙන් හා බුද්ධිමත්ව ඖෂධ භාවිතය මේ තත්ත්වය වළක්‌වා ගැනීමට ඉවහල් වෙයි. එකම උණ රෝගය වැළඳී වෛද්‍යවරයකු වෙතට යන රෝගීන් දෙදෙනකුට ලබා දෙන ඖෂධ වෙනස්‌ විය හැක්‌කේ මේ නිසාවෙනි. එහෙත් අපේ සමහර පුද්ගලයෝ තම ඥතියාට රැගෙන යන බෙහෙත කිසිදු වගවිභාගයකින් තොරව තමාම දොස්‌තර වී ගිල දමති. අවසානයේ දී විවිධ අතුරු ආබාධ සහිතව රෝහල් ගත වෙති. අප ලබා ගන්නා ඖෂධ අපට ආකාර කිහිපයකට අනතුරු ගෙන එයි. ඉන් එක්‌ ආකාරයක්‌ වන්නේ ඖෂධ මාත්‍රාව වැඩි වී විෂවීම (එදංසජසඑහ) යි. පැරසිටමෝල් අධිමාත්‍රා මගින් අක්‌මාවට හානිවීම නිදසුනකි. රෝගියකුගේ කායික තත්ත්වය අනුව මෙම විෂවීමේ සීමාව වෙනස්‌ වෙයි. නිදසුනක්‌ වශයෙන් අක්‌මාව හෝ වකුගඩු ආශ්‍රිත රෝගාබාධ පුද්ගලයන්ට ඉතා සුළු ඖෂධ මාත්‍රා වෙනසක්‌ වුවද විෂ සහිත වෙයි.

ඖෂධ වල ද්විතීයක බලපෑම් ඇත. අප නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන විට අපගේ ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් සිටිය යුතු හිතකර බැක්‌ටීරියා වර්ග විනාශ වීම ආහාර අවශෝෂණය අඩාල කරයි. ප්‍රතිජීවක හමුවේ විනාශ වන බැක්‌ටීරියාවන් නිකුත් කරන විෂද අපට අහිතකර වෙයි.

ඇතැම් පුද්ගලයන්ට ඉතා කුඩා ඖෂධ මාත්‍රාවක්‌ වුවද බරපතළ අතුරු ආබාධ ඇති කරයි. එම ඖෂධයම තවත් පුද්ගලයෙකු වැඩි මාත්‍රාවකින් ලබා ගත්තද කිසිදු ආබාධයක්‌ නැත" මටනම් ඒ බෙහෙත කටේ ගෑවුණත් ඇති ඇඟ වෙව්ලනවා"යි එක්‌ රෝගියකු පවසන අතර තවත් රෝගියකු පවසන්නේ "අනේ ඒ බෙහෙත පෙති දෙකක්‌ බිව්වත් මට නින්ද යන්නේ නෑනේ.." ලෙසිනි. පුද්ගලයන්ගේ ජාන වෙනස්‌වීම් ද ඖෂධ කෙරෙහි වෙනස්‌ ආකාරයට ප්‍රතික්‍රියා කිරීමට හේතු වෙයි.

යම් කිසි පුද්ගලයකු ඖෂධ නිසා වන අතුරු ආබාධ වලට ගොදුරු වීමට වැඩිම ඉඩක්‌ දරන්නේ යම් ඖෂධයක්‌ භාවිතා කිරීමට පටන් ගෙන පළමු දිනයත් දහවන දිනයත් අතරය. දියවැඩියාව, හෘදයාබාධ, පෙනහළු හා ශ්වසන ආබාධ පවතින පුද්ගලයන් නිතර ඖෂධ භාවිත කරන හෙයින් ඖෂධ නිසා වන අතුරු ආබාධවලට පහසුවෙන් ගොදුරු වෙති. නිතර ඖෂධ භාවිත නොකරන පුද්ගලයන් ඉඳහිට බෙහෙත් වේලක්‌ ලබා ගත්තද එය දරාගත නොහැකි වන අවස්‌ථා ඇත.

සමහර ඖෂධ භාවිතා කරන සෑම පුද්ගලයන්ටම එහි අතරු ආබාධ වලට මුහුණ දීමට සිදුවෙයි. එහෙත් ඇතැම් ඖෂධ වල අතුරු ආබාධ ඇති වන්නේ සමහර පුද්ගලයන්ට පමණි. තවත් සමහර ඖෂධ වල අතුරු ආබාධවලට හේතුව එම ඖෂධය දිගු කාලයක්‌ භාවිත කිරීමයි. ඇතැම් රෝගීන් මීට වසර දහයකටත් වඩා පැරණි ඖෂධ වට්‌ටේරු තමා සමීපයේ තබාගෙන කිසිදු පරීක්‍ෂණයකට ලක්‌ නොවී µdමසි වලින් පමණක්‌ බෙහෙත් රැගෙන භාවිත කරන අවස්‌ථා සුලභය.

ඖෂධ නිසා ඇතිවන සමහර ආබාධ (පිළිකා ආදී) ඇති වීමට කල්ගත විය හැක. තවත් සමහර අතුරු ආබාධ ඇතිවන්නේ අදාළ ඖෂධය භාවිතය නතර කළ විටය. නිදසුනක්‌ වශයෙන් හෝර්මෝන අසමතුලිතතා ආශ්‍රිත ඖෂධ එකවර නතර නොකළ යුතුය.

ලිංග භේදය, ජාන පදනම, ආසාත්මිකතා ඇතිවීමට කලින් පැවැති හැකියාව, පෞරුෂත්වය හා ජීවන පුqරුදු ආදියද, ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සහ රෝගියා ජීවත් වන පරිසරයද අතුරු ආබාධ ඇතිවීම කෙරෙහි බලපායි. මීට අමතරව ඖෂධයේ අභ්‍යන්තර ගති=ගුණ හා ඖෂධ අතර වන අන්තර් ක්‍රියාද ඉතා වැදගත්ය. තරුණයන් යනු කුඩා වැඩිහිටියන් නොවන බව අප මතක තබා ගත යුතුය. මේ අනුව ගැලපෙන පරිදි බර අනුව මාත්‍රා නියම කළ යුතුය. ජානමය හේතුන් මත ඇතැම් පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය හෝර්මෝන, එන්සයිම අපගේ ශරීරයේ නොමැති විට ඖෂධ ශරීරය තුළ එකතු වී ගැටලු උපද්දවයි. ඖෂධ නිසා අපගේ ශරීරයේ ඖෂධ ඇතිවන්නේ අප ශරීරය සමඟ ඖෂධය හෝ එහි පරිවෘත්තීය ඵල ක්‍රියා කිරීම නිසාවෙනි. නිතර ආසාත්මිකතා ඇති කරන එහෙත් වැදගත් ප්‍රතිජීවකයක්‌ වන්නේ පෙනිසිලීන් (ඡැබසජසකකසබ) ය. ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ බහුල ලෙසම රෝගීබවට පත්වන ඉන්ද්‍රියන් ලෙස සම, ශ්වසන පද්ධතිය ආහාර මාර්ග පද්ධතිය හා රුධිරය හඳුන්වා දිය හැක. ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ නිදහස්‌ කරන රසායන විවිධ අතුරු ආබාධවලට හේතුවෙයි. ඇඟ කැසීම, රතු පැහැවීම, මුහුණ අත-පය ඉදිමීම, ශ්වසන අපහසුව මේ අතර සුලබ වෙයි. කම්පනය නිසා මරණයට පත්විය හැක. තවත් සමහර ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ රුධිර සෛල බිඳ වැටී නීරක්‌තිය ඇති වෙයි. රුධිර වහන සිදුවෙයි. වකුගඩු ආබාධ, රුධිර නාල ආසාධන, තවත් සුලබ අතුරු ප්‍රතිඵලයි. සමහර ඖෂධ අපගේ ශරීරයේ ස්‌පර්ශය පවා ආසාත්මික ප්‍රතික්‍රියා ඇති කරයි.

රුධිර කැටිගැසීම අඩාල වීම, ප්‍රතිශක්‌තීකරණයට බලපාන සෛල අක්‍රීය වීමද මාරාන්තික වෙයි. අක්‌මාව අක්‍රීය වීම, වකුගඩු ක්‍රියා අවහිර වීම ගැනද අවධානය යොමු කළ යුතුය. මේ අනුව පෙනී යන්නේ ඖෂධ නිසා වන ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට වඩා වලක්‌වා ගැනීම ඉතා වැදගත්වන බවයි. අශ්වයා ගිය පසුව ඉස්‌තාලය වසා ඵලක්‌ නැත.


* වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.