හකීම් හා බසීර්සේගු ඇමැතිකම් අත්හරිනු
මුස්‌ලිම් කොංග්‍රසයෙන් බලපෑම් වැඩිවේ

රනිල් ධර්මසේන

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සියලු ඇමැති ධුරවලින් ඉවත් විය යුතු බව එම පක්‍ෂයේ නැගෙනහිර පළාතේ ප්‍රබලයන් පිරිසක්‌ නායකත්වයට දැනුම් දී ඇත.

ආණ්‌ඩුව දිගින් දිගටම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට කෙණිහිලිකම් කරන බැවින් ඊට විරෝධය පළකිරීම සඳහා මුලින්ම ඇමැති ධුර අත්හළ යුතු බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ඉකුත් දින කිහිපයේදී ඇමැති රාවෆ් හකීම් මහතා නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අතර එහිදී තමන් හමු වූ එම පිරිස්‌වලට ඇමැතිවරයා දැනුම් දී ඇත්තේ පක්‍ෂය ගත යුතු පියවර පිළිබඳව උත්තරීතර මණ්‌ඩලය හා ක්‍රියාකාරී කමිටු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ආණ්‌ඩුවේ කෙණිහිලිකම් හා අඩුපාඩු පිළිබඳ නොසලකාහැර තවදුරටත් කටයුතු කළහොත් පාක්‍ෂිකයන් පක්‍ෂය අත්හැර යන තත්ත්වයකට පත්විය හැකි බවට දැනුම් දී ඇති බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ "දිවයින" ට පැවසීය.

නැගෙනහිර පළාත් සභාව අද ආණ්‌ඩුව පවත්වාගෙන යන්නේ මුස්‌ලිම් කොංග්‍රසයේ ශක්‌තිය මත බවත් එයින් ඉවත් වුවහොත් පළාත් සභාව කඩාවැටෙන බවත් ප්‍රකාශ කළ හෙතෙම ආණ්‌ඩුවට මේ තත්ත්වය දැන්වීමට යම් පියවරකට හෝ යායුතු බව පෙන්වා දී ඇත.

ඉදිරියේදී ජාතික මැතිවරණයක්‌ පැවැත්වෙන නිසා තම පක්‍ෂයේ ශක්‌තිය රටටම පෙන්විය යුතු බවත් මේ සඳහා දැන් සිටම අවශ්‍ය පියවරවලට එළඹිය යුතු බවත් නායකත්වයට පිරිස පෙන්වා දුන් බවත් හෙතෙම කීය.

දැනට මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවෆ් හකීම් මහතා අධිකරණ ඇමැති ධුරයත් බසීර් සේගු දාවුඩ් මහතා පලදායිතා ප්‍රවර්ධන ඇමැති ධුරයත් හොබවති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.