පිළිකා රෝහලේ ශල්‍ය උපකරණ අනාරක්‍ෂිතයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මහරගම පිළිකා රෝහලේ සවිකර තිබූ අකුණු සන්නායකය සොරුන් ගලවා ගෙන ගොස්‌ මාස 4 ක්‌ ගතවී ඇතත්, ඒ වෙනුවට වෙනත් අකුණු සන්නායකයක්‌ සවිකර නොමැතිකමින් රුපියල් කෝටි ගණනක්‌ වටිනා එහි ශල්‍ය උපකරණ දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත්දා සිදුවූ අකුණු අනතුරකින් එහි පරිගණක යන්ත්‍ර දෙකක්‌ විනාශයට පත්වී ඇතැයිද එම රෝහල් ප්‍රකාශයකු පැවසීය.

පිළිකා රෝගීන්ට හදිසි අවශ්‍ය හා අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා සවිකර ඇති විකිරණ යන්ත්‍ර ස්‌කෑනින් යන්ත්‍ර ඇතුළු ඉලෙක්‌ට්‍රොනික ශල්‍ය උපකරණ රාශියක්‌ මේ හේතුවෙන් දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක පවතින බවද එම ප්‍රකාශකයා කීය.

මෙම රෝහල් කාර්ය මණ්‌ඩලවලට මෙන්ම රෝගීන්ගේ ජීවිතවලට පවා අනතුරුදායක තත්ත්වයක්‌ බවද හෙතෙම කියා සිටියේය.

ප්‍රතිකාර සඳහා පිළිකා රෝගීන් 650 ත් 700 ත් අතර සංඛ්‍යාවක්‌ දිනපතා පැමිණෙන දිවයිනේ එකම ප්‍ර්‍රධාන පෙළේ රෝහල වන මෙම ආයතනයට අකුණු සන්නායකයක්‌ සවිකර දෙන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබි නැතැයි ද වාර්තාවේ.

මෙම සවිකර තිබූ අකුණු සන්නායකය සොරකම් කළ බවට චෝදනා ලැබූ රෝහල් සේවකයන් දෙදෙනෙක්‌ මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවන බවද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.