කිරිපිටි මාෆියාව දත්මිටි කකා
ඉවසන ලෝකෙන් උතුම් රට!



ආණ්‌ඩුවටත් විපක්‍ෂයටත් විසඳාගැනීමට කප්පරකට ප්‍රශ්න ඇති හෙයින් ජනතාවට සිදුව ඇත්තේ එන හැටියකට මුහුණ දී තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳා ගැනීමටය. විපක්‍ෂය නොව සන්ධානය සමග පෑහී සිටින සෙසු පක්‍ෂවලටද ජනතා ප්‍රශ්න එතරම්ම " සීරියස්‌" නැත. එහෙයින්ම ජනතාවගේ පාර්ශ්වයේ සිට පසුගියදා පැන නැඟුණු කිරි පිටි මිල ඉහළ යැමේ ප්‍රශ්නය වගකිව යුතු කිසිවෙකුටත් "අර්බුදයක්‌" වූයේද නැත. මෙරට කිරි ගොවීහු ගැන " කිරිපිටි ත්‍රස්‌තවාදය" ගැන කෑමොර ගෑ ඊට එරෙහිව සටන් වදිමු යෑයි කී අය කිරි පිටි මිල ඉහළ යැමක්‌ සිදුව ඇති දැයි නොදන්නා ගාණට නිහඬය. කිරි හරක්‌ කන තණකොළ ජනතාව කා දමන බවක්‌ එහෙව් අය කල්පනා කරනවා විය යුතුය. නැතහොත් මේ කිරිපිටි මිල ඉහළ යැමේ කතාව " ජනතාවට තේරෙන හැටියට" කීමේ කතාව තවමත් ගොනු කර ගැනීමට අදාළ බලධාරීන්ට තවමත් කාලයක්‌ නැතුව වන්නට ද පුළුවන.

ලෝක වෙළෙඳපොළේ
කිරි පිටි මිල පහළ යයි

කෙසේ හෝ යළිත් කිරි පිටි මිල ඉහළ ගොස්‌ තිබේ. "තණකොළ කනවා" යෑයි බලධාරීන් සිතා සිටින ජනතාව ජාත්‍යන්තරය ගැන පමණටත් වඩා දැනුම්වත්ය. ඒ නිසාම ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල අඩු වී ඇති බව ඒ උදවිය දන්නාහ. එය එසේ මෙසේ අඩුවීමක්‌ නොව ඇමරිකානු ඩොලර් 5200 සිට 3873 ක ප්‍රමාණයකි. ඒ මැයි මාසයේ මුල් බාගයේ සිටය. එහෙත් ඒ සහ විශාල වාසියක්‌ මෙරට අලෙවි කරනු ලබන කිසිදු කිරිපිටි වර්ගයකට ලබා දුන්නේද නැත. වඩාත්ම අවධානයට යොමු විය යුතු කරුණ වන්නේ 2014 වර්ෂයේම පෙබරවාරි මාසයේ ලෝක වෙළෙඳපොළේ පිටිකිරි මෙටි්‍රක්‌ ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 3800 සිට 5200 දක්‌වා ප්‍රමාණයකින් ඉහළ ගිය විට මෙරට වෙළෙඳපොළේ කිරිපිටි මිල එක්‌වරම ඉහළ දැමීමය. මේ වනවිට "කරබා" ගෙන සිටින පාරිභෝගික සේවා අධිකාරිය එවර රුපියල් 325 කට අලෙවි වූ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්‌ටුවක මිල රුපියල් 386 දක්‌වා ප්‍රමාණයකින් ඉහළ දැමුවේය. ඒ රුපියල් 61 ක වැඩි වීමකි. රුපියල් 810 කට අලෙවි වූ කිලෝවක පැකට්‌ටුව රුපියල් 992 ක්‌ බවට පත් වූයේ රුපියල් 163 ක වැඩිවීමකිනි. 2012 වර්ෂය අවසන් වනවිට රටේ දියර කිරි අවශ්‍යතාව සඳහා කිරි නිෂ්පාදනය සියයට හතළිහක්‌ විය. එහෙත් 2013 වර්ෂය වනවිට රටේ දියර කිරි අවශ්‍යතාවෙන් සියයට පනහක්‌ රට තුළ නිෂ්පාදනය කෙරේ. එසේ තිබියදීත් සියයට 80 ක පමණ ජනතාව තවමත් සිය කිරි අවශ්‍යතාව සපුරා ගන්නේ "කිsරිපිටි" වලිනි. දැන් වගකිව යුත්තන්ට කීමට අපූරු කරුණක්‌ ඇත. " ඒ" අප කිරිපිටි මිල එසේ ඉහළ දමන්නේ ජනතාව දියර කිරිවලට හුරු කරවීම සඳහාය යන්නය. එහෙත් සමහර සාධනීය කාරණයක්‌ උදෙසා ආණ්‌ඩුව කිසිවිටත් කටයුතු නොකළ බව ආසන්නතම උදාහරණ අපට පෙන්වා දෙයි.

ආසන්නම අතීත අත්දැකීම

ජනතාව " කිරිපිටි" පරිභෝජනය අත්හරිමින්, අඩියක්‌ පස්‌සට ගත්තේ "කිරිපිටි" වල විෂ රසායනිකයන් අඩංගු වේ යෑයි කී විටය. එවිට ආණ්‌ඩුවද කිරි පිටිවලට එරෙහි දේශප්‍රේමීන්ද අදාළ බලධාරීන්ද අඩියක්‌ නොව බඹ ගණනක්‌ පසු බසිමින් කඳවුරු බැඳ කිරි පිටිවලට එරෙහිව සටන් වැදුනාහ. ඊළඟ මොහොතේ දියර කිරි වල වැදගත් කමද, වෙළෙඳ දැන්වීම්, සම්මුඛ සාකච්ඡා පළකරමින්, මාධ්‍ය හමු පවත්වමින් කිරි පිටිවල නරක ජනතාවට කීවේද ආණ්‌ඩුවය. ආණ්‌ඩුව " කිරිපිටි සටන" ගොඩ දමන්නේ, සැබෑ ලෙසම පිටි කිරිවලට එරෙහිව සටන් වැදුණු අයට ලැඡ්ජා හිතෙන තරමටය. මේ සැබෑ සටන් කරුවන් සමග අත්හැර දමන තරමටම ආණ්‌ඩුව සටන දියත් කළේය. ඉතා කෙටි කාලයකින්ම වැඩේ දියාරු කර දැම්මේද ආණ්‌ඩුවමය. රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිවරයා 2013.08.29 වැනි දින මාධ්‍ය හමුවකදී කීවේ කිරිපිටි ප්‍රශ්නය ඇති වූ මොහොතේ ආණ්‌ඩුව පමණ ඉක්‌මවා කටයුතු කළ බවත් දැන් එම තත්ත්වය ක්‍රමයෙන් නිවැරදි කරමින් සිටින බවත්ය. අවසානයේ ඒ වනවිටත් විෂ සහිත කිරි පිටි සමාගම්, කොට්‌ට මෙට්‌ට හකුලමින් මෙරටින් පිටව යැමට සූදානම්ව සිටි මොහොතක ඒ අදහස අතහැර දැමීය. ඉන් පසු පෙරටත් වඩා හරවත් ලෙස කිරිපිටි මෙරට බෙදා හැරීමේ ක්‍රියාවලියට එක්‌විය. ඩී. සී. ඩී. විෂ රසායනිකය අඩංගු යෑයි තහවුරු වූ විගසම බොහෝ රටවල් විශේෂයෙන් චීනය කිරිපිටි ආනයනය නවතා දැමූහ. එසේ නම් දැන් විමසිය යුත්තේ "බලු මස්‌" ආහාරයට ගන්නේ යෑයි කියන චීන ජනතාවගෙත්, පලා වර්ග (මේ වනවිට තණකොළ ද ඇතුළුව) අනුභව කරන අපේ රටේ ජනතාවගෙත් බුද්ධි මට්‌ටම කවරක්‌ද යන්නයි. දියර කිරිවලට ජනතාව හුරු කරවීමේ අගනා සහ ස්‌වර්ණමය අවස්‌ථාව ආණ්‌ඩුව හිතාමතාම විනාශ කර දැම්මේ එලෙසය. එපමණක්‌ නොව මේ ක්‍රියාවලිය නිසාම බහුජාතික සමාගම් කිසිදු බියක්‌ සැකක්‌ නැතිවම ඊළඟ පියවරට ද ගියේය. ඒ කිරිපිටි මිල වැඩි කිරීමේ අවශ්‍යතාව ආණ්‌ඩුවට කියමිනි. එක්‌වරම කිරිපිටි මිල ඉහළ නොදමා ආණ්‌ඩුව ඊට කල් ගත්තේ "ජනතා විරෝධය" ගැන කල්පනා කරමිනි. එහෙත් පසුගිය පෙබරවාරි මාසයේ කිරිපිටි මිල ඉහළ ගියේය. ඒ කිරිපිටි මිල ඉහළ යැමත් සමගම කිරිපිටි ආනයනය කරන සමාගම් රුපියල් මිලියන 15,000 ක පමණ ලාභයක්‌ උපයයි. එම පෙබරවාරි මාසයේදීම ආනයනික කිරි පිටි කිලෝවක්‌ සඳහා අයකළ බද්ද රුපියල් 57 කින් අඩු කර ගැනීමටද එම සමාගම් සමත්වී සිටී. එහෙයින් රුපියල් මිලියන 5000 ක පමණ බදු මුදලක්‌ රජයට අහිමි වේ.

අපේ රටට දියර කිරි එපාද?

ලෝක වෙළෙඳපොළ තත්ත්වයන්ට සාපේක්‍ෂව ඕනෑම පාරිභෝගික භාණ්‌ඩයක මිල ඉහළ යැම සාමාන්‍ය තත්ත්වයක්‌ බව තන කිරි බොන දරුවකු හැර කවුරුත් දන්නා කාරණයකි. එහෙත් කිරිපිටිවලටම රට හුරු කරවන ආණ්‌ඩුව තවමත් කටයුතු කරන්නේ "බබා උක්‌කුං" න්‍යායෙනි. ඒ නිසාම ආණ්‌ඩුවෙන් නිතර ඇසෙන්නේ පම්පෝරි පමණකි. "දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරනවා. දියර කිරිවලට ජනතාව හුරු කරනවා" වැනි වදන් දැන් ජනතාවට විහිළුය. ඇත්තම කතාව නම් අපේ රටේ දියර කිරිවල කතාව කිරි තරමින්ම මිහිරි නැති වීමය. "දියර කිරි" වෙනුවට තවමත් අපේ රටේ ජනතාවට "පිටිකිරි" වල අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන්නේ ආණ්‌ඩුවේම ආශිර්වාදයෙන් දියත් වන ප්‍රචාරණයේ මහිමයෙන්ය.

නවසීලන්තයෙත් "කිරිපිටි" නැත

නවසීලන්තය, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවලට කිරි පිටි හෝ දියර කිරි ආනයනය තහනම් ය. අපේ අසල්වාසී රට වන ඉන්දියාවේ ආනයනික දියර කිරි හෝ "පිටිකිරි" සඳහා අය කරන බද්ද ඉතා විශාලය. එහෙත් අපේ රටේ බදු අඩුකිරීම් සේම වසරකට මෙටි්‍රක්‌ ටොන් 84,000 ක පමණ ආසන්න කිරිපිටි මෙරටට ගෙන්වයි. එපමණකදු නොව ඒ වෙනුවෙන් මෙරටින් ඇදී යන මුදල රුපියල් බිලියන 40 ක්‌ පමණ වේ. පසුගිය වසරේ පවා ඒ තත්ත්වයෙහි වෙනසක්‌ ඇති වී නැත. එයින් පෙනෙන්නේ කිරිපිටිවලට එරෙහි දියර කිරි සම්බන්ධයෙන් රට තුළ ගොඩනැඟී ඇති සංවාදය ජනතාවට එතරම් දැනී නැති බවය.

විෂ රසායනික අඩංගු කිරිපිටි සම්බන්ධයෙන් මතු වූ අර්බුදයේදී දියර කිරි ගැන රටට කියන්නට රජයේ වෛද්‍ය සංගමය දේශීයත්වය අගයන ව්‍යාපාරිකයන් රැසක්‌ ඉදිරිපත් විය. එපමණක්‌ නොව ඒ සඳහා ව්‍යාපෘති පවා ඉදිරිපත් කළ පිරිස බොහෝ වූහ. දියර කිරිවලට ජනතාව හුරු කරවීමේ ප්‍රථම පියවර කිරිපිටි පානයට ජනතාව අධෛර්යවත් කිරීම වුවද (මේ අධෛර්යය කිරීම අතිශය සාධාරණය) එය එසේ සිදුවූයේ නැත. ඊට හේතු වූයේද ආණ්‌ඩුවේ වාරණ ප්‍රතිපත්තිය. විෂ රසායනික අඩංගු කිරි වෙළෙඳපොළේ ඇතැයි කී දිනවල රටේ ඇතිවූ තත්ත්වය හරි හැටි කළමනාකරණය කර ගත්තේ නම් මේ වනවිට රටෙන් හරි අඩක්‌ දියර කිරිවලට හුරු වී හමාරය. ඒ දිනවල තත්ත්වය සුළු පරිමාණ කිරි ගොවීන්ගෙන් විමසූ විට දැනගත හැකිය. තවමත් ආණ්‌ඩුවට කිරි ගොවීන් සමඟත් රටේ ජනතාව සමගත් නිසි සංවාදයකට යැමේ යාන්ත්‍රණයක්‌ නැත. දැන් සිදුව ඇත්තේ ජනතාවට "දියර කිරි" පමණක්‌ නොව "කිරි පිටි" ද පරිභෝජනය කිරීමේ අවස්‌ථාව අහිමි වීමය. ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල තවදුරටත් පහළ වැටීමට ඉඩ ඇති බව අන්තර්ජාලයේ තොරතුරු පළ වේ. මේ වාසිය කිරිපිටි ගෙන්වන සමාගම් ලබාගන්නා මුත් ජනතාවට අහිමිව යන්නේය. එහෙත් පාරිභෝගික සේවා අධිකාරිය මේ වාසිය ජනතාවට ලබා දීමට ඉක්‌මන් වන්නේ නැත.

රටේ ජනතාව "පිටිකිරිම" ඉල්ලන්නේ ඇයි ?

රට කිරිවලින් ස්‌වයංපෝෂිත බව කිව යුතු නොවේ. කලකට ඉහතදී අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් සියයට 80 ක්‌ ම සපුරා ගත්තේ දියර කිරිවලින් බව අමතක කළ යුතු නොවේ.

යාපනය, මඩකලපුව, අම්පාර මෙන්ම හම්බන්තොට දක්‌නට ඇත්තේ කිරිවලින් සරුසාර වූ සංස්‌කෘතියකි. එමෙන්ම ත්‍රිකුණාමලය, අනුරාධපුරය, කන්තලේ වැනි ප්‍රදේශවලද නැවුම් කිරි හිඟ නැත. බදුල්ල, බණ්‌ඩාරවෙල, නුවරඑළිය වැනි ප්‍රදේශවලද කිරි අතිරික්‌තයකි. එහෙත් මේ නැවුම් කිරි ජනතාවට බෙදාහැරීමේ නිසි ක්‍රමවේදයක්‌ නැත. කිරිපිටි අඩංගු කාඩ්බෝඩ් පැකට්‌ටුවක්‌ මෙන් පහසුවෙන් "දියර කිරි" ගෙන යැමට හැකියාවක්‌ නැත. එසේ හෙයින් දියර කිරි පහසුවෙන් පාරිභෝගිකයා අතට පත් කිරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ විය යුතුය. එළුවාගේ මොකක්‌දොa එක වැටෙනකම් බලා සිටින බොහෝ දෙනකුට කිව යුත්තේ මේ යන හැටියට රටේ තිබෙන හෝ බිහිවෙන කිසිදු ආණ්‌ඩුවකට කිරිපිටි මිල පාලනය කළ නොහැකි බවය. කළ හැකි එකම දේ වන්නේ අප තුළ චින්තනමය වෙනසක්‌ ඇති කිරීම පමණය. එවිට බහුජාතික සමාගම් ඉබේම පාලනය වන්නේය.

මීට පෙර වතාවකදී ද අපි පෙන්වා දුන් කතාවක්‌ යළිදු සිහිපත් කරමු. ශක්‌තිමත් ලෙස නැඟී සිටිය යුතු ජාතියක්‌ වුවද අප තවමත් අපේම ගොන්කම් නිසා බහුජාතික සමාගම්වල ආධිපත්‍ය යටතේ පීඩා විඳිමින් සිටින්නෙමු. එය රටේ පාලකයා හෝ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ඇමැතිවරයා වෙනස්‌ කිරීමෙන්, වෙනස්‌ කළ හැකි තත්ත්වයක්‌ ද නොවේ. රට වටාම මුහුද තිබියදී සැමන් මාලු රටින් ගෙන්වන, ඇති පදමට කුණු වී විසි කරන එළවළු අස්‌වනු තිබියදී, ලූනු අස්‌වනු තිබියදී රටේ ජනතාවට බදු බර පටවා ඒවා රටින් ගෙන්වන, අතීතක්‌ ද, වර්තමානයක්‌ද නිසැකවම හෙටක්‌ ද අපට තිබේ. එහෙයින්ම අපේ රටේ කිරි ගොවීන්ගේ අස්‌වනු පාරේ දොaරේ ගලා ගියද, කිරිපිටි මාෆියාව වැළැක්‌වීම පහසු නැති බව කිව යුතුය. තත්ත්වය සුබවාදීව විග්‍රහ කරන්න යෑයි කියන අයට අපි සිහිපත් කරමු.

උදේශ සංජීව ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.