අඩි 18000 ක්‌ දිග ලක්‍ෂපාන උමග දිගේ ගියෙමු

* උමග තැනුවේ දේශීය ඉංජිනේරුවන් ගේ දැනුමෙන්...

* ප්‍රතිසංස්‌කරණය නොවුනේ නම් සිදු වන්නේ මහා ආපදාවක්‌...

* වෙලාවට වැඩ නිමකරන්න දෙවියන්ටත් බාර වුනා...

* උමගේ ජල කාන්දුවක්‌ බව නොදැන පිටවන ජලයෙන් ව්‍යාපෘතියක්‌ හදලා...


උමගේ සිට විදුලි බලාගාරයට ජලය යෑවෙන ප්‍රධාන නළ යුගල

ලංකාවේ ජල විදුලිබල පද්ධතියේ දේශීය ඉංජිනේරු දැනුමෙන් නිමවුණු හා එම දැනුමෙන්ම ප්‍රතිසංස්‌කරණය කෙරෙන විශ්වකර්ම වැඩක්‌ දැකබලා ගැනීමේ දුලබ අවස්‌ථාවක්‌ පසුගියදා අපට හිමිවිය. ඒ නව ලක්‍ෂපාන විදුලි බලාගාරයට කැනියන් ජලාශයේ සිට ජලය ගෙන එන අඩි 18600 ක්‌ දිග, එනම් කිලෝ මීටර් හයකින් සමන්විත උමං මාර්ගයේ සිදුකෙරෙන ප්‍රතිසංස්‌කරණය නිරීක්‍ෂණයට ලක්‌ කිරීමේ අවස්‌ථාවය. 1974 වසරේදී ක්‍රියාවට නැඟෙන මෙම නව ලක්‍ෂපාන විදුලි බලාගාරය සඳහා ජලය ගෙනඑන උමං මාර්ගය තැනීමේ කටයුතු 1969 වසරේදී ආරම්භ කෙරෙන අතර සම්පූර්ණයෙන්ම දේශීය ඉංජිනේරු ඥනය යොදා ගනිමින් එය සිදුකෙරෙන්නෙකි. එතැන් පටන් පුරා වසර 40 කට වැඩි කාලයක්‌ තිස්‌සේ දේශයට ජල විදුලිය උත්පාදනය කරමින් නව ලක්‍ෂපාන බලාගාරයද එම උමං මාර්ගයද කැනියොන් ජලාශයද ජාතියට සලසා ඇත්තේ අනුපමේය සේවාවකි. මෙම වසර 40 තුළදී මෙම විදුලි බලාගාරය කෙසේ වෙතත් උමං මාර්ගයේ කිසිදු අලුත්වැඩියාවක්‌ සිදුකෙරී තිබුණේ නැත. එහෙත් 1976 දී පටන් මෙම උමං මාර්ගය සුවිසල් නළ දෙකකට සම්බන්ධවී බලාගාරය දක්‌වා ගෙන එන ගමන් මාර්ගය ආරම්භයේ එනම් උමං පිටවුම අසලින් ජල කාන්දුවක්‌ වාර්තාවන්නට පටන් ගත්තේය. නමුත් 1994 වසර දක්‌වා එය උමං කාන්දුවක්‌ ලෙස හඳුනාගෙන නොතිබූ අතර නල්ලතන්නිය ශ්‍රීපාදය දෙසට යන බොහෝ සංචාරක පිරිස්‌ දිය නෑවේද මෙම උමං පිටවුම අසල දිය උල්පත් වලිනි. එපමණක්‌ නොවේ උල්දිය ව්‍යාපෘතිය ලෙසින් නම් කෙරුණු ජල ව්‍යාපෘතියක්‌ද මෙම දිය උල්පත් භාවිතයට ගෙන ක්‍රියාවට නැඟුණේය.

කෙසේ හෝ 1994 දී මෙම ජල උල්පත් උමං මාර්ගයේ කාන්දුවක්‌ බවට හඳුනා ගන්නා ලද අතර 2004 වසරේදී සිදුකරන ලද JICA අධ්‍යයනයෙන් පසුව එය සියයට සියයක්‌ම උමං කාන්දුවකින් ඇතිවන ජල ගැල්මක්‌ බවට තීන්දු කරන ලදි. අධ්‍යයනය අනුව තත්පරයට ලීටර් 300 ක ජල කාන්දුවක්‌ වන බවටද ගණන් බලන ලදි. එනමුත් විදුලිබල මණ්‌ඩලය යම් අපහසුතාවකට පත් කළ කාරණය වූයේ මෙම උමං මාර්ගය ප්‍රතිසංස්‌කරණය සඳහා නව ලක්‍ෂපාන බලාගාරය වසා දැමුවහොත් මෙගාවොට්‌ 100 ක විදුලිබල ප්‍රමාණයක්‌ ජාතික පද්ධතියට අහිමි වීමය. එනිසා 2014 වසරේදී, එනම් මෙම වසරේදී නොරොච්චෝල දෙවැනි අදියර ක්‍රියාත්මක වීමද සලකා බලා නව ලක්‍ෂපාන උමං මාර්ගය ප්‍රතිසංස්‌කරණයට විදුලිබල මණ්‌ඩලය තීන්දුවකට පැමිණියේය. මෙවර මාස්‌ කන්නයේදී වැසි අඩුවී ජලාශ වාන් මට්‌ටමට නොපැමිණීමද ලක්‍ෂපාන උමං මාර්ගය ප්‍රතිසංස්‌කරණයට පහසුවක්‌ විය. ඒ අනුව 2005 වසරේදී ප්‍රතිසංස්‌කරණය සඳහා වූ විදුලිබල මණ්‌ඩලයේ ඉල්ලීම පරිදි 2014 ජනවාරි මස 14 වැනිදා උමං මාර්ගයේ වතුර හිස්‌ කිරීම ඇරැඹිණි. අනතුරුව ප්‍රථම පරීක්‍ෂක කණ්‌ඩායම උමඟය නිරීක්‍ෂණය සඳහා එම ජනවාරි මස 24 වැනිදා උමඟට ඇතුල් වූහ.

මෙසේ පරීක්‍ෂාවට බඳුන් වූ ලක්‍ෂපාන උමඟයේ ප්‍රතිසංස්‌කරණය ඇරඹුණේ ඉන්පසුවය. ප්‍රතිසංස්‌කරණය සඳහා කළ යුතුව තිබුණේ කුමක්‌ද යන්න වෙනම විමසා බැලිය යුතු කතාවකි. එය පසුවට ඔබට කියන්නෙමු. එතෙක්‌ මෙම දුලබ අවස්‌ථාව හිමිකර ගනිමින් නව ලක්‍ෂපාන උමං මාර්ගය නිරීක්‍ෂණය සඳහා ගිය අපගේ මාධ්‍ය සංචාරය සැලසුම් වූ අයුරුද සිහිපත් කළ යුතුය.

පසුගිය මාර්තු මාසයේදී පටන් උමං මාර්ගය නිරීක්‍ෂණය කිරීමේ අවශ්‍යතාවයෙන් මා පසුවුණෙමි. ඒ සඳහා විදුලිබල අමාත්‍යාංශයෙන්ද ඉල්ලීම් කළෙමු. කෙසේ හෝ විදුලිබල මණ්‌ඩලයේ සභාපති ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා අපට අවශ්‍ය අවසරය හා මඟපෙන්වීම ලබා දෙන්නට වහා කටයුතු කළේ දේශීය ඉංජිනේරු ඥනයෙන් මෙසේ නැවත වරක්‌ ප්‍රතිසංස්‌කරණයට ලක්‌වන මේ විශ්වකර්ම වැඩේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මැනවින් හඳුනා ගනිමිනි. ගනේගල මහතාගේ දැනුම්දීම පරිදි විදුලි බල මණ්‌ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (ජනන) වික්‍රමසේකර මහතා අපගේ නිරීක්‍ෂණ චාරිකාව සැලසුම් කර ලක්‍ෂපාන සංකීර්ණයේ බලධාරීන් වෙත ඒ ගැන දැනුම් දී අපව යොමු කරවන ලද්දේ ඉතාමත් කෙටි කාලයකදීය. ඒ අනුව නව ලක්‍ෂපාන ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු එච්. එම්. ඒ. හේරත් මහතා ද, ලක්‍ෂපාන සංකීර්ණයේ ව්‍යාපෘති භාර (සිවිල්) ඉංජිනේරු ඉරෝෂ් ප්‍රනාන්දු මහතාද අප එන පෙර මඟ බලා සිටියේ අවශ්‍ය ඕනෑම මගපෙන්වීමක්‌ හා තොරතුරු ලබාදීමක්‌ සඳහා සූදානමිනි. ඒ අනුව පසුගිය දිනෙක රාත්‍රී තැපැල් දුම්රියෙන් තලවාකැලේ දක්‌වා ගිය අප, තලවාකැලේ සහ කැලණිවැලි සමාගම්හි පරිසර කළමනාකරණය පිළිබඳ කළමනාකරු ආචාර්ය ප්‍රසාද් ධර්මසේන මහතාගේද, මස්‌කෙළිය වැවිලි සමාගමේ හපුගස්‌තැන්න වතුයායේ වතු අධිකාරී මහේන්ද්‍ර ප්‍රසාද් මහතාගේ ද සංග්‍රහශීලී පිළිගැනීමෙන් අනතුරුව අපි එකම කණ්‌ඩායමක්‌ ලෙස නව ලක්‍ෂපාන උමඟ නිරීක්‍ෂණ චාරිකාවට එක්‌වුණෙමු. මා සමග දුම්බර මිතුරෝ පරිසර හා සංස්‌කෘතික සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත විඡේසිංහ, පරිසරවේදී අමරසිංහ මාලගේ ද මෙම චාරිකාවට එක්‌වූ අතර. ප්‍රධාන ඉංජිනේරු හේරත් හා ඉංජිනේරු ඉරෝෂ් ප්‍රනාන්දු මහත්වරුන් ද, නෝර්ටන් ශ්‍රී පාද මාර්ගයේ උමං පිsටවුම් වැඩබිම් ස්‌ථානයේදී අප හා එකතු වූහ.

මීළඟට අප සූදානම් වූයේ නව ලක්‍ෂපාන විදුලි බලාගාරය දක්‌වා මීටර් 1300ක දුරක්‌ ගමන් ගන්නා සුවිසල් ජල නල මාර්ග දෙක උමං පිටවුම් කට හා සම්බන්ධ වන ස්‌ථානයෙන් ඇතුළු වී මෙතැන් පටන් කැනියොන් ජලාශය දක්‌වා දිවෙන අඩි 18600 ක්‌ දිග උමඟයට ඇතුල් වීමටය. ප්‍රතිසංස්‌කරණය සඳහා මෙම ස්‌ථානයේ උමං කටට සම්බන්ධ වන ස්‌ථානයේ ද්විත්ව ජලනල සන්ධිය ගලවා ඇති අතර, එයින් අපහසුවෙන් රිංගා උමඟ තුලට ඇතුල් විය යුතුය. පෙරවරු නවයට පමණ මෙසේ උමං කට තුළට රිංගා අප ඇතුල් වූයේ ඉංජිනේරු හේරත් හා ඉංජිනේරු ඉරෝෂ් මහත්වරුන් අනුගමනය කරමිනි. ඒ යන්නට මත්තෙන් අප සියලුදෙනාගේම ආරක්‍ෂාව වෙනුවෙන් හිස්‌ ආවරණය කෙරෙන හෙල්මට හෙවත් ගල් තොප්පිය බැගින්ද, ගන්බූට්‌ යුගල බැගින්ද ලබාදීමට ඉංජිනේරුවෝ කටයුතු කළ හ. ඒ මන්දයත් මේ වනවිටත් පලංචි බැඳ ප්‍රතිසංස්‌කරණය කෙරෙන උමඟ අභ්‍යන්තරයේ අනතුරු සිදුවීමේ ඉඩකඩ ඇති නිසාත් උමඟ තුළින් තවමත් මඩ සහිත සිහින් දිය දහරාවක්‌ ගලාගෙන එමින් තිබූ නිසාත්ය.

අප මෙසේ අපහසුවෙන් යකඩ ඉනිමග නැඟ උමඟ තුළට රිංගාගෙන පැමිණියත් උමං කටෙන් මඳ දුරක්‌ යනවිට දකින්නට ලැබුණේ පනහකටත් වැඩි කම්කරුවන් පිරිසක්‌ පලංචි බැඳ ඒ තුළ කොන්ක්‍රීට්‌ ආස්‌තරණය කරමින්ද, උමඟයේ මඩ හා පස්‌ ඉවත් කරමින් විල්බැරෝ ඔබමොබ තල්ලු කරමින් ද කඩි ගුලක සේ වැඩ කරමින් සිටි බවකි.

එසේම, යකඩබට, වීල්බැරෝ, ආයුධ වැනි දෑ සේම ඉවත් කරනු ලබන සුන්බුන් රැගෙන යැම සඳහා ට්‍රැක්‌ටරයක්‌ හා ටිපර් රථයක්‌ ද උමග තුළ විය. අප පළමුව ඉංජිනේරු දෙපළගෙන් විමසුවේ උමග තුලට මෙසේ වාහන හා උපකරණ රැගෙන ආවේ කෙලෙසද යන පැනයයි. ඊට පිළිවදන් දුන් ඉරෝෂ් මහතා අපට පළමුව කියා දුන්නේ උමගයේ සැකැස්‌ම පිළිබඳවය. කැනියොන් ජලාශයේ සිට මෙසේ අප ඇතුල් වූ උමං පිටවුම දක්‌වා අඩි 18,600 ක දිගකින් සමන්විත මෙම උමඟේ උස මීටර් 3.1 කි. පළල මීටර් 3.6 කි. උමං පිවිසුම් කට මුහුදු මට්‌ටමේ සිට අඩි 3100 ක්‌ ඉහළින් පිහිටා ඇති අතර උමං පිටවුම් කට පිහිටා ඇත්තේ මුහුදු මට්‌ටමේ සිට අඩි 2881 ක්‌ තරම් උසකිනි. එනම් උමගයේ ආතතිය අඩි 219 ක්‌ දක්‌වා වෙනසක්‌ ඇතිවන පරිදි තනා තිබේ. මෙසේ තනා ඇති ප්‍රධාන උමඟය පොළොව මතුපිට සිට මීටර් 300 ක්‌ ගැඹුරින් ගමන් ගන්නා අතර. ස්‌ථාන දෙකකදී උමඟ තුළට ප්‍රවේශ විය හැකි පරිදි තවත් පැති උමඟ දොරටු දෙකකින් සම්බන්ධ කෙරේ. ඒ, උමඟ තැනීමේදී අභ්‍යන්තර සුන්බුන් ඉවත් කිරීම, පහසුකම් සැපයීම, වාතනය වැනි කටයුතු සඳහා වන අතර මෙවන් ප්‍රතිසංස්‌කරණයකදී ද සේවා හා පහසුකම් උමඟ තුළටත් උමඟයෙන් පිටතටත් ලබා ගැනීම සිදුවන්නේ ද මෙම පැති උමඟ මගිනි.

අප දැන් දකින රථවාහන සහ අනෙකුත් බර උපකරණ උමඟ තුළට රැගෙන විත් ඇත්තේ මෙම පැති උමඟ ඔස්‌සේ ප්‍රධාන උමඟ තුලට ප්‍රවිශ්ට වීමෙනි.

ඉරෝෂ් මහතාගේ මෙම කරුණු දැක්‌වීමෙන් පසු අප යොමු වූයේ ප්‍රධාන ඉංජිනේරු හේරත් මහතාගේ කරුණු දැක්‌වීම වෙතය. මේ වනවිට අප සිටියේ උමං පිටවුම් විවරයේ සිට පළමු මීටර් 54 කලාපයේය. දැනටමත් ප්‍රතිසංස්‌කරණයන් සිදුවන්නේ ද මෙම කලාපයේය. උමං පිටවුම් කටට සම්බන්ධ වන ද්විත්ව නල යුගලට අදාළ විශේෂ කපාටය සම්බන්ධව පවතින්නේ උමඟ තුළ තවත් මීටර් සියයක්‌, එනම් අඩි තුන්සීයක්‌ උමඟ තුළ සවිකරන ලද යකඩ සිලින්ඩරයකටය. එය නිමාවීමෙන් පසු සෘජුවම උමඟය ස්‌වාභාවික පාෂාණයට නිරාවරණය වේ.

ප්‍රධාන ඉංජිනේරු හේරත් මහතා කියන පරිදි ලක්‍ෂපාන උමඟයේ දිය කාන්දුව ඇතිව තිබෙන්නේ මෙසේ මීටර් සියයක යකඩ සිලින්ඩරය නිමාවෙන් පසු සෘජුවම ස්‌වාභාවික පාෂාණයට නිරාවරණය වූ මීටර් 54 ක කලාපයයේය. හුණු ගලෙන් සමන්විත මෙම ප්‍රදේශය පසුගිය අවුරුදු 40 ක කාලයේදී ජලය සමග ක්‍රියා කිරීම හේතුවෙන් දැඩි ඛාදනයකට ලක්‌ව තිබූ බව හේරත් මහතා සඳහන් කළේය. ඇතැම් තැන්වල විශාල ආවාට ආකාරයට හුණු ගල් තුළ කුහර සෑදී තිබුණු බවද සඳහන් කළ ප්‍රධාන ඉංජිනේරුවරයා කියා සිටියේ මෙම ආවාට ඔස්‌සේ කාන්දු වූ ජලය උල්පත් මෙන් පහළ ජනාවාස සහිත පරිසරයට ගලා ගිය බවට හඳුනාගත් බවයි.

මේ අනුව මෙසේ අවදානම් කලාපයක්‌ ලෙස හඳුනාගත් මීටර් 54 ක්‌ වූ හුණුගල් පාෂාණමය උමං කොටස කොන්ක්‍රීට්‌ ආස්‌තරණය යොදා, ආවාට වසා පිළිසකර කරන්නට විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවරු තීරණයකට එළැඹියහ. උමඟයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ඇරඹුණේ ඉන්පසුවය. මීට අදාළ මුදල් ප්‍රතිපාදන පිළිබඳව වෙනම කතා කළ යුතු වුවත්, රටේම වාසනාවකට මෙන් මීට අදාළ වියදම් ඇස්‌තමේන්තුව වශයෙන් රුපියල් මිලියන 145 ක්‌ කලට වේලාවට ලැබීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ලක්‍ෂපාන උමඟයේ ප්‍රතිසංවර්ධන කටයුතු ඇරඹිණ. ලෝක බැංකු ආධාර යටතේ වේලි ආරක්‍ෂණ ව්‍යාපාතියෙන් රුපියල් මිලියන 100 ක්‌ද, විදුලි බල මණ්‌ඩලයෙන් රුපියල් මිලියන 45 ක්‌ ද ලෙස මෙසේ මුදල් ලැබී තිබිණි. ඒ අනුව කොන්ක්‍රීට්‌ ආස්‌තරණය කෙරෙන කොටසේ නිරීක්‍ෂණ කටයුතු කරන්නට අපටද අවස්‌ථාව උදා විය.

ලක්‍ෂපාන උමගයේ හැඩය පැති මාරු කළ .ඹ. අකුරක හැඩය ගනී. එහි ඝනකම් තට්‌ටුවක්‌ සේ කොන්ක්‍රීට්‌ ආස්‌තරණය යෙදීම සිදු කෙරේ. මේ මස 28 වැනිදා වනවිට නැවතත් ජලය පිරවීම සඳහා දින යොදා ගනිමින් ප්‍රතිසංස්‌කරණය කෙරෙන මෙම උමඟයේ කටයුතු දැන් පවතින්නේ අවසන් අදියරේය. එම දින වකවානුවලදී කටයුතු සම්පූර්ණ කළ හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේ ප්‍රධාන ඉංජිනේරු හේරත් මහතාය. ඒ සහා දෙවියන්ටද බාරහාරවී ඇත. ඉංජිනේරු දෙපළගේ මඟ පෙන්වීම සහිතව අපගේ කණ්‌ඩායම මීළඟට ප්‍රථම මීටර් 54 කලාපයෙන් ඔබ්බට, එනම් තවදුරටත් උමඟ තුළට ඇදුණේ ගණ අඳුරේය. වැඩබිමේදී මෙන් නොව එහි විදුලිය පහසුකම් නොතිබූ අතර මඩ තැවරී තිබුණු බිමේ චිරි ... චිරිය අතරින් අප අඳුර කපා ගෙන ගමන් ගත්තේ හේරත් මහතා අත තිබූ බලගතු විදුලි පන්දමට පින්සිදු වන්නටය.

මෙසේ අප කැළඹුම් ළිඳ නම් ස්‌ථානය දක්‌වා අඩි දහසකට ආසන්න ප්‍රමාණයක්‌ ගමන් ගත්තේ පා ගමනිනි. උමඟය තුළින් පහලට වේගයෙන් ගලා එන ජලයේ පීඩනය අඩුකිරීම සඳහා මෙසේ කැළඹුම් ළිඳක්‌ තනා ඇත. එය උමඟ වහළයේ සිට පොළව මතුපිට දක්‌වා තැනූ විවරයකි. මහා ජල කඳේ පීඩනය මෙම සිදුරෙන් අවම කෙරෙන අතර ඉංජිනේරු ඉරෝෂ් මහතා අපට මෙය හඳුන්වා දුන්නේ මෙය තවත් "හුම්මානයක්‌" වැනි තැනක්‌ වශයෙනි. මෙතැන් සිට ඉදිරියට යැම සිදු කිරීම බලවත් පරිශ්‍රමයකින් කළ යුත්තකි. ඒ සඳහා ඉංජිනේරු දෙපළ අපට යෝජනා කළේ වාහනයකින් එම ගමන සිදු කිරීම සුදුසු බවකි. ඉරෝෂ් මහතාගේ කැබ් රථය මේ සඳහා යොදවා ගන්නට තීරණය කෙරුණු අතර, නැවතත් අප ආ මඟෙන්ම පිටතට ගොස්‌ පළමු සැපයුම් උමං විවරයෙන් වාහනය ඇතුල් කරන්නට ඉංජිනේරුවරයා තීරණය කළේය.

(තව කොටසක්‌ ලබන සතියේ)

(විශේෂ ස්‌තුතිය විදුලිබල මණ්‌ඩලයේ සභාපති ඩබ්. ඩී. ගනේගල හා අතිරේක සාමාන්‍යාධිකාරි (ජනන) අමරසේකර මහතාට)

ජගත් කණහැරආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.