ඩෙංගු මර්දනය කළ නොහැක්‌කේ
ඇතැම් නිලධාරීන් වගකීම් පැහැර හරින නිසයි

- සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන

චමින්ද සිල්වා

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන සහ බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් වෙත බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විඡේතුංග මහත්මිය විසින් ඩෙංගු කාර්ය සාධන වාර්තාවක්‌ පෙන්වන අයුරු.

අපේ රටේ ඩෙංගු මර්ධනය කිරීමට නොහැකිවී ඇත්තේ වගකීම් භාරගන්නා ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම වගකීම් පැහැර හැරීම නිසා යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27 වැනිදා) පැවැසීය.

ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය යටතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර ඩෙංගු මර්දනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කළද ඇතැමුන් එය නොසලකා ඇති බව පෙනී ගොස්‌ ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේ ඊයේ (27 වැනිදා) බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති කාර්යාලයේ පැවැති ඩෙංගු මර්දන වැඩසටහනකට එක්‌වෙමිනි.

පාකිස්‌තානයේ ඩෙංගු මර්දනය කිරීම සඳහා මෙරටින් ගිය වෛද්‍යවරුන් දුන් උපදෙස්‌ එහි නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්ව පිළිගෙන එය ක්‍රියාවට නැන්වීම නිසා පාකිස්‌තානය ඩෙංගු උවදුරෙන් මිදී ඇතත් අපේ රටේ වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස්‌ අපේ වගකිවයුතු අය පැහැර හැරීම කනගාටුවට කරුණක්‌ බවද හෙතෙම අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීය.

ඩෙංගු මර්දනය ගැන කතාකරනකොට මහජනතාව සහ මාධ්‍යවල ප්‍රධාන චෝදනාව තමයි ඇයි ඩෙංගු ඉවර කරන්න අපිට බැරි කියලා අහනවා. මම අහනව ඩෙංගු මර්දනය කරන්න රජය මොනවද නොකරන්නේ කියලා. 2010 මම පත්වෙච්ච වෙලාවේ ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කරලා ඩෙංගු කාර්ය සාධක බලකාය පිහිටෙව්වා.

මේ ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය ආරක්‍ෂක අමාත්‍යාංශය ඇතුළු සියලු රාජ්‍ය ආයතන එකතු කරල ඩෙංගු මර්දනය කිරීමට සැලසුම් සකස්‌ කළා. ඩෙංගු මර්දනය කිරීමට වෙන වෙනම කටයුතු කරල බැහැ. එකට වැඩ කළ යුතුයි කියලා චක්‍රලේඛ පවා නිකුත් කළා.

මේ රටේ 1929 සහ 1930 යන වර්ෂවල මැලේරියාව වැළඳිලා 80,000 ක්‌ මිය ගියා. මැලේරියා මදුරුවා මර්දනය කරන්න අවුරුදු 85 ක්‌ ගියා. අපේ රට මැලේරියාවෙන් නිදහස්‌ රටක්‌ කියලා මම ජිනීවා ගිය වෙලාවෙත් කිව්වා.

අද මැලේරියාව පවතින රටවල් ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක්‌ ලෙස පිළි අරන් තියෙනවා. අපිට වඩා සල්ලි ඇතුළු පහසුකම් තියෙන ආසියාවේ රටවල්වලත් ඩෙංගු ව්‍යාප්තියක්‌ පවතිනවා. තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව ඩෙංගු පවතින අතර ඉන්දියාව ගැන කතා කරලම වැඩක්‌ නැහැ.

අපි මීට වසර දෙකකට පෙර පළාත්පාලන ආයතන මට්‌ටමින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ග්‍රාම නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග මහජනතාව දැනුවත් කළා.

මෑතකදී රත්නපුරේ පාසල් 18 ක්‌ ඩෙංගු නිසා වැහුවා. ඔය එක පාසලක විදුහල්පතිවරයෙක්‌ හමුවෙච්චි සෞඛ්‍ය පරීක්‍ෂක මහත්මයෙක්‌ විදුහල සුද්ද පවිත්‍ර කරන්න විදුහල්පතිවරයාට යෝජනා කරලා තියෙනවා. එතකොට විදුහල්පතිවරයා කියලා තියෙනවා මට මේ දවස්‌ ටිකේ වැඩ, තව සති දෙකකින් පාසල ශුද්ධ පවිත්‍ර කරමු කියලා. බලනකොට ඒ විදුහල්පතිවරයාටත් සාකච්ඡා කර දින දෙකකට පසු ඩෙංගු වැළඳී ඇති බව හෙළිවෙලා තිබෙනවා. ඕකයි අපේ රටේ තත්ත්වය. රත්නපුර පාසල් වැහුවේ දෙමාපියන්. ඒ අය තමයි යෝජනා කරලා පාසල් වහලා ශුද්ධ පවිත්‍ර කටයුතු කරන්න මුල්වුණේ.

මම ඔය ඩෙංගු වැඩිපුර වාර්තාවන දෙහිවල ගල්කිස්‌ස ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළා. සමහර ගෙවල් වහලා අයිති කට්‌ටිය රට ගිහින්. සමහර ගෙවල්වල ගේට්‌ටු ඉබි යතුරු දාලා වහලා. මේ ගෙවල්වල ඕන තරම් ඩෙංගු කීටයෝ බෝවෙනවා. වහලවල්වල පීලි තුළ ඩෙංගු කීටයෝ බෝවෙනවා. නිවැසියන්ට උවමනාවක්‌ නැහැ සතියකට දවසක්‌ හෝ තම නිවස හෝ අවට ශුද්ධ පවිත්‍ර කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ.

මේකට ආණ්‌ඩුවටවත් අපිටවත් බැනල වැඩක්‌ නැහැ. තමනුත් පුළුවන් හැටියට නිවාස අවට ශුද්ධ පවිත්‍ර කරගත යුතුයි. අපි රුපියල් කෝටි ගණනක්‌ වියදම් කරලා ඩෙංගු මර්දන ඖෂධ ගෙනත් තියෙනවා. ඒවා භාවිත නොකර කිසියම් ස්‌ථානයක තබාගෙන සිටීනම් මට පැමිණිලි කරන්න. මම ඕනෑම කෙනකුගේ තරා තිරම නොබලා නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. එහෙම යම් තැනක තියෙනවා නම් බරපතළ වැරැද්දක්‌. ඒ අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි.

අපේ අයට දෙයක්‌ වුණාම ඇස්‌ ඇරෙනවා. නීති ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලය තුළදී ඩෙංගු වැළඳිලා මියගිය දින කිහිපයේ සෑම දෙනාම කතා වුණා. අද ඒ උනන්දුව උද්යෝගය නැහැ. ඩෙංගු වැඩිවීමක්‌ වෙලා තියෙන්නේ බස්‌නාහිර පමණයි. අනික්‌ පළාත්වල අඩුවීමක්‌ දක්‌නට තිබෙනවා.

බස්‌නාහිර පළාතේ ජනගහනය වැඩියි. නාගරික පරිසරයක්‌ නිසා ඩෙංගු ව්‍යාප්ත වෙනවා. මම කියන්නේ සතියකට දිනයක්‌ හෝ තමන්ගේ ආයතනය, නිවස අවට ශුද්ධ පවිත්‍ර කරන්න කටයුතු කරන්න. අවශ්‍ය දෙයක්‌ තියෙනවා නම් මගෙන් පෞද්ගලිකව වුණත් ඉල්ලන්න.

බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ අමල් හර්ෂද සිල්වා මහතා

බස්‌නාහිර ඩෙංගු බෝවීමේ ශීඝ්‍ර වර්ධනයක්‌ පවතිනවා. ප්‍රධාන රෝහල්වලට එක දිනක රාත්‍රියට ලෙඩුන් 30-40 ඇතුළත් කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තිබෙනවා. ප්‍රධාන රෝහල්වල ඩෙංගු දැඩිසත්කාර පහසුකම ලබාදීලා තියෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.