මතුපිට පස්‌වල අඩි දෙකක්‌ යටට ආසනික්‌
රජරට වකුගඩු රෝගය වැළඳීමේ ප්‍රතිශතය
වසර තුනකට වරක්‌ දෙගුණයක්‌ වෙනවා


වෛද්‍ය මුදිත දහනායක


සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයින්ට සම්මාන ප්‍රදානය කිරීමේ අවස්‌ථාවේදී 1985 වර්ෂයේ කොළඹ රත්නම් ආරෝග්‍යශාලාවේදී ශ්‍රී ලංකාවේ පළමු වකුගඩුව බද්ධ කළ මහාචාර්ය රිස්‌වී ෂෙරිෆ්ට ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය සමරු තිළිණයක්‌ පිsරිනමන අයුරු සහ එම අවස්‌ථාවට සහභාගී වූ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සහ සමස්‌ත ලංකා වකුගඩු සංගමයේ සභාපතිනි චමිලා ක්‍රිෂාන්ති මහත්මියද එම සංගමයේ ලේකම් අතුල චන්දන මහතාද සිටින අතර රැස්‌ව සිටි පිරිසද ඡායාරූපවල දැක්‌වේ.

සමස්‌ත ලංකා වකුගඩු රෝගීන්ගේ
සංගමයේ සංවත්සර උළෙල

මහරගම - උදේනි චන්ද්‍රසිරි

පසුගිය තිස්‌වසරක කාලයේ යුද්ධයෙන් මිය ගිය දකුණේ අයගේ සංඛ්‍යාව වාර්තා වී තිබෙන පරිදි හැටදාහක්‌ පමණ වෙනවා. ඒත් රජරට කෘෂිකර්මාන්තයේ නියෑළී සිටින ජනයා අතුරින් වකුගඩු රෝගය වැළඳීමෙන් මෙතෙක්‌ මිය ගිය සංඛ්‍යාව විසිදෙදහසක්‌ පමණ වෙනවා. ඒ වගේම ලක්‍ෂ හතරක සංඛ්‍යාවකට වකුගඩු රෝගය වැළඳී ඇතැයි සැක කරනවා. මෙම පළාත්වල වකුගඩු රෝගය වැළඳීමේ ප්‍රතිශතය වසර තුනකට සැරයක්‌ දෙගුණයක්‌ දක්‌වා වැඩිවීමේ ප්‍රවණතාවක්‌ පවතිනවා. මෙයට හේතුව අපි අනාවරණය කරගෙන තියෙනවා. බටහිර රටවලට පවා වැද්ද නොගන්නා එම රටවල් තහනම් කර තිබෙන බැරලෝහ මිශ්‍ර පළිබෝධ සහිත කෘෂි රසායන අපේ රටේ ගොවිබිමට යොදා ගැනීම නිසා ආසනික්‌ රජරට ජනතාවගේ ශරීරගත වෙලා. ජලයේ කිවුල අධික වශයෙන් උතුරු මැද පළාතේ තිබුණාට, කැබිතිගොල්ලෑවේ ජලයේ එය දක්‌නට නොමැති බව මා සිදු කළ පරීක්‍ෂණවලින් හෙළි වී තියෙනවා. රජරට පස්‌වල මතුපිට අඩි දෙකක්‌ යටට ආසනික්‌ තියෙනවා. බැරලෝහය හාල්වලට පවා මිශ්‍රවෙලා. ඇමෙරිකාවේ කැලිෆොaනියා විශ්වවිද්‍යාලයේ දී සිදු කළ පරීක්‍ෂණයේදී මේ තොරතුරු අනාවරණය වී තිබෙනවා යෑයි වෛද්‍ය මුදිත දහනායක මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසූවේ, ඉකුත්දා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති සමස්‌ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සංවත්සර උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

පූජ්‍ය දොළොස්‌වල උධිතධීර ස්‌වාමීන් වහන්සේ පැමිණ සිටි පිරිස පංච ශීලයේ පිහිට වූ සේක. සභාව පිළිගනිමින් කතා කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සංගමය පුණ්‍යායතනයක්‌ බවට පත්කිරීම වෙනුවෙන් සකස්‌ කළ පනත පාර්ලිමේන්තුවට යොමු කර ඊට අනුමැතිය ලබා දීමට කටයුතු කළ ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියට ස්‌තුතිය ද පළ කළේය.

වැඩිදුරටත් කතා කරමින් වෛද්‍ය මුදිත දහනායක මහතා මෙසේද පැවැසීය. අපේ රටේ පමණක්‌ නොවෙයි, මෙසේ තහනම් කර තිබෙන කෘමිනාශක වගාබිම්වලට යොදා ගන්නා එල්සැල්වදෝර්, වියට්‌නාමය වැනි රටවල වකුගඩු රෝගය බොහොම භයානක අන්දමින් පැතිsරිලා. මෙම බැරලෝහය අක්‌මාවේ තැන්පත් වීමෙන් විවිධ රෝගාබාධවලට මුහුණ දීමට පවා ජනතාවට සිදු වෙනවා. මේ නිසා පියයුරු පිළිකා, වඳභාවට පත්වීම සහ ළමා මරණවල පවා අනුපාතය වැඩි වී තිබෙනවා.

කුරුළුතුඩ, කළුහීනටි, සුවඳල්, මඩතවාලු වැනි ඖෂධීය මෙන්ම පෝෂණ ගුණයෙන්ද ඉතා ඉහළ අපේ පාරම්පරික වී වර්ග දියවැඩියාව, පිළිකා වැනි රෝග සමනය කිරීමට අතීතයේ යොදා ගනු ලැබුවා. ඒ ඒ රෝග සමනය කිරීමේ හැකියාව ඇති වී වර්ග අපේ පාරම්පරික වී වර්ගවල තිබීම සුවිශේෂී සිද්ධියක්‌. මෙම ඖෂධීය සහල් වර්ග වලින් කැඳ සාදා බීමෙන් පමණක්‌ම මිනිස්‌ සිරුරේ තැන්පත්ව තිබෙන විස ඉවත් කිරීමටද හැකියාව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය( සංගමය මගින් සිදු කරන්නා වූ සත්කාර්ය පිළිබඳව මගේ විශේෂ ස්‌තූතිය පළ කරනවා. සංගමය ආරම්භ කිරීමට බලාපොරොත්තුවන රක්‍ෂණ ආවරණය සහ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ආදිය වෙනුවෙන් වැය වන වියදම් එක්‌රැස්‌ කර ගැනීම සම්බන්ධයෙන් නළුනිළියන් යොදවා ගෙන අරමුදලක්‌ ඇති කිරීමට කලාකාරිණියක්‌ ලෙස දායකත්වය ලබා දීමට මට හැකියාව තිබෙනවා. අපි සියලුම දෙනාගේ අරමුණ විය යුත්තේ, කෙනෙකුට රෝගියෙකු වන්නට ඉඩ නොදී ඊට අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම මගින් ඔහු රෝගී තත්ත්වයෙන් වළක්‌වා ගැනීමේ වැඩ පිළිවෙලක්‌ ඇරැඹීමයි.

හෙළසුව පදනමේ නිර්මාතෘ, ප්‍රියන්තා සේනානායක මහතා( මමත් වකුගඩු ආබාධයෙන් පෙළුණු රෝගියෙක්‌. මෙම පදනම ආරම්භ කළේ වර්ෂ 1990 දී. වකුගඩු රෝගීන්ගේ ලේ පරීක්‍ෂාව සඳහා එක්‌ වරකදී රුපියල් 1750/- මුදලක්‌ වැය කිරීමට අපේ රටේදී සිදු වෙනවා. වාර කිහිපයක්‌ ලේ පරීක්‍ෂා කිරීමේදී ඒ සඳහා විශාල මුදලක්‌ දැරීමට රෝගියෙකුට සිදු වෙනවා. ඉන්දියාවේ ලේ පිරිසිදු කිරීමට වරකදී වැය වන්නේ රුපියල් 300/- ක මුදලක්‌. අවශ්‍ය බෙහෙත් පෙති පවා ලබා දෙන්නේ නොමිලයේ. වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට මෙහෙට වඩා අඩු වැටුප් ගෙවීම, හා ජීවන වියදම අඩුවීම, අය කරන ගාස්‌තුව අඩුවීමට ප්‍රධාන හේතුවක්‌. වකුගඩු රෝගීන්හට රුධිර කාන්දු පෙරණ (ඩයලයිසීස්‌) මෙරටට සැපයීමේදී ඉන්දියාවට වඩා වැඩිමුදලක්‌ ගෙවීමට සිදු වී ඇත්තේ තොග වශයෙන් ඒවා ගෙන්වීමට ආර්ථික හැකියාවක්‌ අපේ ආණ්‌ඩුවට නොමැති නිසයි.

මහාචාර්ය රිස්‌වී ෂෙරිෆ්, කරාපිටිය වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතිඥ ඉන්දික ගමාච්චිගේ, ජාතික රෝහලේ වැඩබලන විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමල්ල, කරාපිටිය රෝහලේ වකුගඩු බද්ධකරණ විශේෂඥ වෛද්‍ය රංජුක උබයසිරි, වෛද්‍ය ප්‍රියානී ඉද්දමල්දෙනිය. සමස්‌ත ලංකා වකුගඩු සංගමයේ ලේකම් අතුල චන්දන, යන මහත්ම මහත්මීහුද කතා කළහ.

කලාසූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා සභාව මෙහෙය වීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.