ඖෂධ හා ආලේපන ජාවාරම්කරුවන් මැඬලීම

රත්මලාන, අත්තිඩිය ප්‍රදේශයේ සුප්‍රකට ඖෂධ සමාගමකට අයත් ගබඩාවක සඟවා තැබූ රුපියල් කෝටි 50 කට වඩා වටිනා එහෙත් භාවිතයට නුසුදුසු ඖෂධ විටමින් හා රූපලාවන්‍ය නිෂ්පාදන තොගයක්‌ අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක්‌ අපගේ දිනපතා "දිවයින" පසුගිය (28 දා) පත්‍රයෙහි පළවිය. මේ වැටලීම කරන ලද්දේ පාරිභෝගික අධිකාරිය විසිනි.

මේ කල් ඉකුත් වූ ඖෂධ තොගය වෙළෙඳපොළට නිතුත් කිරීම වැළකී ගියේ පාරිභෝගික අධිකාරියේ ක්‍ෂණික මැදිහත් වීම නිසාමය. යම් හෙයකින් ඒවා බෙදාහැරීමට අවකාශ ලැබුණි නම් කුමකින් කුමක්‌ සිදුවීමට තිබිණිද? අද බොහෝ විට ජාවාරම්කරුවන් නීතියෙන් ගැලවී යන්නේ ද ලෝබ නැතුව මුදල් විසිකිරීමෙනි. මේ කෝටි 50 න් කෝටි 5 ක්‌ වීසිකර මේ සාපරාධී තුච්ඡ ගනුදෙනුව කර ගැනීමට ද අමාරු නැත. එහෙත් එය සිදු නොවීම ගැන එකී පාරිභෝගික අධිකාරියට ද කෘතඥ විය යුතුය.

අද මොනතරම් බිහිසුණු ජාවාරම් තිබේද? කෝටි ගණනින් කුඩු එන්නේත් කරුංකා කන්ටේනර එන්නේත් රේගුව ඔස්‌සේමය. ඒවා අත්අඩංගුවට ගන්නා ලද බවත්, ඒවායේ වටිනාකම ගැනත් පුවත් පළවෙයි. එහෙත් හොරුන්ට හෝ හොර බඩුවලට කුමක්‌ සිදු වේදැයි හෙළි නොවන අවස්‌ථා ද වේ.

මේ රටේ නීති විරෝධී ක්‍රියාකාරකම්වලදී බොහෝ විට දේශපාලනඥයෝ ද සම්බන්ධ වෙති. කුඩු, හොර මත්පැන්, සිගරැට්‌ වැනි භාණ්‌ඩ නිදහසේ රට තුළට ගලා එන අයුරුද විශ්මය දනවන සුලුය. ඒවා ජාවාරමුන්ගේ හපන්කම්වලට වඩා බලධාරීන්ගේ නිවටකම් නිසා ද විය හැකිය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යනු කවදත් විවාදිත ක්‍ෂේත්‍රයකි. පොදු ජනතාව වෙනුවෙන් ඖෂධ පනතක්‌ යෝජනා කළ සේනක බිබිලේ නම් වූ යහපත් වෛද්‍යවරයාට ජීවිතයද අහිමි විය. රේගුවේ සමහර අවංක නිලධාරීන්ටද ජාවාරමුන් සමඟ ගැටීම නිසා ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වූ අවස්‌ථා ද විය. නීතියට වැඩ කරන නිලධාරීන්ට පත්තු කිරීමට ජාවාරම්කාරයෝ දෙවරක්‌ නොසිතති.

ඖෂධ ජාවාරම යනු අවි ජාවාරමටත් වඩා බිහිසුණු අධම ව්‍යාපෘතියකි. අවි අතට ගත් අය කරන හානිය සමහර විටෙක කලින් දැනගත හැකිය. එහෙත් කල් ඉකුත් වූ ඖෂධ පාවිච්චි කරන රෝගීන්ට පරලොව යැමට සිදු වන්නේ කෙසේ දැයි අනාවරණය නොවීමට ද ඉඩ තිබේ. රෝගියකුගේ ජීවිතය අවදානමට, මරණයට රැගෙන යන එබඳු ඖෂධවල අනතුර කෙසේවත් මැඬලීමට ද නොහැකිය.

අද ඖෂධ පාලනය සඳහා රාජ්‍ය පිළිවෙතක්‌ තිබේද? ඖෂධ වර්ග වෙළෙඳපොළට නිතුක්‌ කරන සමාගම්වල වගකීම කුමක්‌ද? රජයේ ලියාපදිංචි නොවූ අයටත් ඖෂධ නිකුත් කළ හැකිද? ඒ කටයුතු අධීක්‍ෂණය සඳහා නිශ්චිත යාන්ත්‍රණයක්‌ තිබේද? ක්‍රමවේදයක්‌ තිබේද? යනාදී ප්‍රශ්න ගණනාවක්‌ම මෙහිදී මතු කළ හැකිය.

මේවාට නොයෙක්‌ ආකාරයට උත්තර බඳින්නටද ඉඩ තිබේ. එහෙත් වැදගත්ම දේ නම් මෙබඳු සුළු හෝ ක්‍රියාවක්‌ සඳහා ඉඩ නොදීමය. වෙළෙඳ පොළේ තිබෙන ඖෂධවල ඇසුරුම්වල, එහි අන්තර්ගතය හා කල් ඉකුත් වන දිනය යනාදී විස්‌තර දැක්‌වේ. එහෙත් ජාවාරමුන් කරන්නේ ඒ සඳහා ව්‍යාජ ඇසුරුම් සකසා කල් ඉකුත් වන දින ඉදිරියට දමා ඒවා වෙළෙඳ පොළට යෑවීමය. මොනතරම් විනාශයක්‌ද?

ඖෂධ මෙන්ම විටමින් හා ආලේපන හොඳම වෙළෙ¹මකි. ලාබ රත්තරන් මෙන් ලාබ ආලේපන මිලට ගන්නා යුවතියෝ කොපමණ සිටිත්ද? බොහෝ විට තරුණියන් හා කාන්තාවන් වැඩිපුර ගැවසෙන තැන්වල ආලේපන වර්ග අලෙවි කරන බව ද පෙනේ. එහෙත් ඒවායේ ප්‍රමිතිය ගැන සහතිකයක්‌ තිබේද? ආලේපන ලෙස කළුතෙල් වුවද සිත්ගන්නා ලෙස අසුරා තරුණියන් මුළා කිරීමට අසීරුකමක්‌ ද නැත. සුදු වීමට සිහින දකින ලියෝ ඒවා මිලට නොගනිත්ද?

තතු මෙසේ හෙයින් මෙම ඖෂධ ජාවාරම පිළිබඳ අභිනව නීති පද්ධතියක්‌ හෝ සකසා ජනතාවට එල්ල වන අනතුර වැළැක්‌වීම රජයේ වගකීමය. එසේම කිසිදු ප්‍රමිතියකින් තොරව ඉස්‌තරම් ඒවා බව හැඟවෙන ප්‍රචාර කරමින් අලෙවි කෙරෙන ආලේපන වලින් ද ජනතාව මුදාගත යුතුය. ව්‍යාජ ආලේපන වලට රැවටී විවිධ චර්ම රෝග සාදා ගත් අය පිළිබඳ බොහෝ පුවත් තිබේ.

විශේෂයෙන් තරුණ තරුණියන් ඉලක්‌ක කරගත් ආලේපන වර්ග සැබෑ ප්‍රමිතියකින් යුතු දැයි අදාළ තහවුරුවක්‌ තිබිය යුතුමය. මොන ජරාවක්‌ හෝ ජනතාව රවටා විකුණා ගැනීමේ පහත් මානසිකත්වයක්‌ සහිත වෙළෙන්දොa මේ ඖෂධ හා ආලේපන ජාවාරමුන් සමඟ බැඳී සිටිති. උන්ගේ සන්ධානය එතරම් බලවත්ය.

තතු මෙසේ හෙයින් මේ විනාශකාරී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. එසේම රට පුරා තිබෙන ඖෂධ, විටමින් හා ආලේපන වර්ග ගබඩා කර තිබෙන ආකාරය මෙන්ම ඒවා ගෙන්වන සමාගම් ගැන ද බලධාරීහු පරීක්‍ෂාවෙන් සිටිය යුතු වෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.