කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී
දිවුරුම් දෙකක්‌ ගැන ජනපති හෙළිකරයි...!


තවත් සාර්ථක විදේශ සංචාරයක්‌ නිමවා පසුගිය 22 වැනි බ්‍රහස්‌පතින්දා හවස යළි ලංකාවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිකුරාදා දිනය විවේකයෙන් ගතකරන්නට කල්පනා කළේ සංචාරයේ ගමන් වෙහෙස නිසාය. නමුත් සෙනසුරාදා උදේ පටන්ම සුපුරුදු වැඩ රාජකාරි අතරට පිවිසියේ එළැඹෙන සතියත් අවිවේකී සතියක්‌ම වන බව ජනාධිපතිවරයා කල්තියාම දැන සිටි නිසාය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සෙනසුරාදා (24 දා) උදෙන්ම හෝමාගම පුරවරය බලා පිටත්ව ගියේය. මේ වන විට රජයේ සංවර්ධන කටයුතු යටතේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ශීඝ්‍රයෙන් දියුණුවට පත්වන නගරය ලෙසත් පුරවරය ලෙසත් හඳුනාගෙන ඇත්තේ හෝමාගමය. හෝමාගම ප්‍රදේශය සතුව ඇති අතිවිශාල රජයේ ඉඩම් ප්‍රමාණය නිසාත්, ප්‍රදේශයේ සම්පත් බහුල නිසාත්, ප්‍රාදේශීයව සිටින දේශපාලනඥයන්ගේ උනන්දුව නිසාත් අති දැවැන්ත ක්‍රීඩාංගණ සංකීර්ණ, විශ්වවිද්‍යාල, මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය බඳු විද්‍යාල, නිවාස සංකීර්ණ හා කර්මාන්තශාලා බොහෝමයක්‌ සහිතව දිනෙන් දින වෙනස්‌ වන අලුත් වන දියුණුවන පුරවරයක්‌ බවට හෝමාගම පත්ව ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නිතර නිතර එහි ගියේ ඒ සංවර්ධන ව්‍යාපෘති විමසා බලන්නටය.

පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හෝමාගම ගියේ කඩිනමින් නවීරණය කරන ලද පාදුක්‌ක නගරයේ සති පොළ ජනතා අයිතියට පවරා දීමටය. මීට වසරකට පමණ පෙර දිනක්‌ හෝමාගම ගිය වතාවක පාදුක්‌ක සති පොළ දැක ජනාධිපතිවරයා එය නවීකරණය කරන්නට තීරණය කළේය. ඒ අනුව මේ පොළ ඉදිවූයේ රජය විසින් රුපියල් මිලියන 122 ක්‌ වියදම් කරමින් නිතර නිතර නිරීක්‍ෂණය කිරීම නිසාය.

බන්දුල ගුණවර්ධන ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලනඥයන් පිරිවරාගෙන සති පොළ පුරා ඇවිද ගිය ජනාධිපතිවරයා පොළට පැමිණ සිටි ජනතාව සමඟ කතාබහ කරමින් සෑහෙන වේලාවක්‌ ගත කළේය. සමහරු අඩුපාඩු ගැන කීහ. තවත් සමහරු මේ කෙරෙන ව්‍යාපෘති ගැන ජනාධිපතිවරයාට ස්‌තුති කළහ. වෙළෙඳ ප්‍රජාව ද හමුවෙමින් වග විස්‌තර කතා කළ ජනාධිපතිවරයා එතැනින් නික්‌ම පිටත්ව ගියේ මොරගහහේන ප්‍රදේශයේ විහාරස්‌ථානයකටය.

විහාරස්‌ථානයේදී ආගමික කටයුතුවලට සහභාගි වෙමින් වැඳ පුදාගත් ජනාධිපතිවරයා දහවල් වන විට යළි කොළඹ පැමිණියේ හවස්‌ වරුවේ යොදාගෙන සිටි වැඩසටහන් රාශියක්‌ නිසාය.

ජනපති විමල් හමුව

පසුගිය දිනවල රටේ ජනමාධ්‍ය අතර මහත් ආන්දොaලයෙන් යුතුව කතාබහට ගැනුණු ජාතික නිදහස්‌ පෙරමුණේ කරුණු 12 ක්‌ සහිත "යෝජනාවලිය" රැගෙන විමල් වීරවංශ ඇමැතිවරයා ඇතුළු නියෝජිත පිරිස සෙනසුරාදා දහවල් ජනාධිපතිවරයා හමුවන්නට අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ. ජනාධිපතිවරයා මේ පිරිස සමඟ සාකච්ඡාවට එදා මධ්‍යහ්නයේ විශේෂ වේලාවක්‌ වෙන්කරගෙන සිටියේය.

ඇමැති විමල් සමඟ වීරකුමාර දිසානායක, පියසිරි විඡේනායක, ජයන්ත සමරවීර, දීපාල් ගුණසේකර, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක්‌ පැමිණ සිටි අතර රජයේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට සහාය වන්නට සුසිල් ප්‍රේමජයන්ත හා ඩලස්‌ අලහප්පෙරුම ද සහභාගි වී සිටියහ.

ජනාධිපතිවරයා යෝජනාවලිය අතට ගෙන එය දෙස බැරෑරුම් බැල්මක්‌ හෙළා එකවරම මාතෘකාවට යොමු වෙමින්.... "ඔබතුමන්ලා මේ යෝජනාවලියෙන් බලාපොරොත්තු වන්නේ මොකක්‌ද...?" කියා ඇසුවේය.

අපි 2005 දී ඔබතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් එකපෙළට එකට හිටගත්තු වෙලාවේ ජාතික බලවේග ඇතුළු අප සියල්ලෝම ආණ්‌ඩුවෙන් වෙනස්‌කම් කීපයක්‌ බලාපොරොත්තු වුණා. දැන් අපේ රට ගොඩනැඟීම කියන කාරණය තුළදී එම වෙනස්‌කම් වුණාද නැද්ද කියන එක ගැන විවේචන තියෙනවා.

අන්න ඒ විවේචන හා එදා අපි ජාතික බලවේග හැටියට බලාපොරොත්තු වුණු දේවල් සලකලා බලලා තමයි, තවදුරටත් රට ඉදිරියට ගෙන යන්න අපි මේ යෝජනාවලිය නිර්මාණය කරලා තියෙන්නේ. මේවා ප්‍රතිසංස්‌කරණ යෝජනා ලෙස තමයි, අපි ඔබතුමන්ටත් රජයටත් ඉදිරිපත් කරන්නේ. අපි මෙතනදී ඉන්නේ, රජය මේ යන ගමන, තිබෙන අඩුපාඩු හදාගෙන වැරදි නිවැරැදි කරගෙන ශක්‌තිමත්ව ඉදිරියට යා යුතුයි කියන ස්‌ථාවරයේ.

යෝජනාවලිය කියවන ජනාධිපතිවරයා එහි 8 වැනි යෝජනාවේ එන බීජ පනත පිළිබඳ සඳහන් කරුණු අතට ගත්තේය.

මේකේ බීජ පනතක්‌ ගැන කියනවා. එහෙම බීජ පනතක්‌ අපි කැබිනට්‌ එකට ගෙනල්ලා නැහැනේ... ජනාධිපතිවරයා එසේ කීවේ සුසිල් ප්‍රේමජයන්ත දෙස ද බලමිනි.

නමුත් බීජ පනතේ කෙටුම්පතක්‌ කැබිනට්‌ අනුකමිටුවක සාකච්ඡා වෙමින් පවතිනවා. විමල් කීවේය.

නෑ.... නෑ... ගොවි ජනතාවට අවාසි සහගත කිසි දෙයක්‌ මම කරන්නේ නැහැ. බීජ පනතක්‌ කිසිදු ලෙසකින් එන්න දෙන්නේ නෑ. ජනාධිපතිවරයා ස්‌ථිරසාරව කියා සිටියේය.

මේ අයුරින් කරුණු කාරණා එකින් එක ගනිමින් ජනාධිපතිවරයාත් නියෝජිතයනුත් අතර සාකච්ඡාව ගැඹුරු එකක්‌ බවට පත්ව තිබිණි. අවසානයේ කරුණු සමාලෝචනය කරමින් ජනාධිපතිවරයා මෙසේ කීවේය.

හරි... මෙතන තියෙන කරුණු සමස්‌තයක්‌ වශයෙන් මම මගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ කතා කරලා සාකච්ඡා කරන්න ඕන. එහෙම කරලා අපි ඊළඟ වටයේදී හමුවෙලා කතාකරමු. මම දැනුම් දෙන්නම් කියමින් ජනාධිපතිවරයා කතාව නිම කළේ සාකච්ඡාවට තිත තබමින් අවසන් කරමිනි.

සෙනසුරාදා ඇති වූ ඒ සාකච්ඡාවෙන් පසුව විමල් වීරවංශගේ දුරකථනයට විවේකයක්‌ ම නොවීය. දිගින් දිගටම මාධ්‍යවේදීන් හා රටේ ජාතික ව්‍යාපාරයේ දේශපාලනඥයන්, විද්වතුන් කතා කරමින් සාකච්ඡාවේ ප්‍රගතිය විමසා සිsටියහ. විමල් අවසානයේ ඒ පිළිබඳ දැනුම් දීමට වෙනම පුවත්පත් සාකච්ඡාවක්‌ ඉරිදා සිය බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පවත්වන්නට කටයුතු සූදානම් කළේය.

මෙම පුවත්පත් සාකච්ඡාවේදී විමල් රජය හා තම පක්‍ෂය අතර ඇති වූ සාකච්ඡාවට ගත් කරුණු විවරණය කළේය. ඒ අතරතුර එක්‌ මාධ්‍යවේදියෙක්‌ කීවේ විමල් හොඳ නාට්‍යයක්‌ රඟපාන බවය. ටිකෙන් ටික ආණ්‌ඩුවෙන් ගිලිහී යන ඡන්ද පදනම රැකදීම වෙනුවෙන් හා රජය විවේචනාත්මකව දකින බලවේග වෙනුවෙන් වීර චරිතයක්‌ රඟපාමින් හඬක්‌ නඟන විමල් ඒ ඡන්ද පදනම, ඒ බලවේග පිටට යන්නට ඉඩ නොදී රජය වෙනුවෙන් ලොකු රඟපෑමක්‌ කරන බව ඒ මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය. විමල් ඊට හොඳ උත්තරයක්‌ ද දුන්නේය.

සමහර අයගේ දේශපාලන න්‍යාය පත්‍ර දැන් අවුල්වෙලා. ඒක නිසා එයාලා එක එක ඒවා කියනවා. මම දැක්‌කා අලුත් ජවිපෙ නායකතුමාත් ඔය විදියට මොන මොනවද කියනවා. මම මෙහෙම කරනකොට "මේවා නාට්‍ය" කියලා ඒ අය කියනවා. එහෙම නම් එයාලා 2001 දී පරිවාස ආණ්‌ඩුව හදල කරල තියෙන්නෙත් නාට්‍යයක්‌ තමයි. ඊළඟට 2005 දී සන්ධාන ආණ්‌ඩුව හදල කරල තියෙන්නෙත් එහෙම නම් නාට්‍යයක්‌. කියන කෙනාට එහෙම කියන්න පුළුවන්. දකින්නත් පුළුවන්.

ඒත් ඇත්තටම එදා ජවිපෙ එහෙම කළේ රට හරිමඟට ගන්න... ඒ බව අපි දන්නවා. අපට එදා ජවිපෙට තරම් සංවිධාන ශක්‌තියක්‌ අද පක්‍ෂයක්‌ හැටියට නැහැ. එහෙම නැතුව වුණත් අපි අද මේ උත්සාහ කරන්නේ රට හරි මාවතට ගන්න වැඩපිළිවෙළක්‌ හදාගන්නයි. රටට, රටේ පොදු ජනතාවට ජයග්‍රහණ සලසා දෙන න්‍යාය පත්‍රයක්‌ අපට තියෙනවා. අපි එහෙම කරන්නේ අන්න ඒ න්‍යාය පත්‍රයට අනුව. ඒ න්‍යාය පත්‍රයට, ඒ වැඩපිළිවෙළට කවුරු කවර අර්ථකථන දුන්නත් අපිට කමක්‌ නැහැ. අපි අපේ කාර්යභාරය විතරක්‌ ඉටුකරනවා... විමල් කීවේය.

ජාතික නිදහස්‌ පෙරමුණේ සාකච්ඡාවෙන් පසුව ද ජනාධිපතිවරයාට සවස වැඩ රාජකාරි රැසක්‌ තිබිණි. කර්මාන්ත සංවර්ධන මණ්‌ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවැත්වෙන කුඩා කර්මාන්ත ප්‍රදර්ශනය බලන්නට ද ජනාධිපතිවරයා ගියේ හවසය. ඉන්පසුව විශ්වවිද්‍යාල ළමයින්ගේ "කවිතා" වැඩසටහනේ අවසන් මහා තරගය බලන්නට ද ජනාධිපතිවරයා හවස සහභාගිවීම විශේෂත්වයකි.

රනිල් වැඩ අරඹයි

ඇමරිකාවේ දීර්ඝ සංචාරයක නිරතව සිටි රනිල් වික්‍රමසිංහ ද ලංකාවට පැමිණ යළිත් සිය සුqපුරුදු වැඩ රාජකාරිවලට අවතීර්ණ වන්නට දින කිහිපයක්‌ ගතවිය. ඔහු එන විට පක්‍ෂයේ ඔහුගේ වැඩ රාජකාරි රාශියක්‌ම එකක්‌ පිට එකක්‌ ගොඩ ගැසී තිබිණි. විශේෂයෙන්ම පක්‍ෂයේ නායකත්ව මණ්‌ඩලය විසින් ගෙන යන ආසන සංවිධායකයන්ගේ පුරප්පාඩු පිරවීම, ආසනවල වැඩ රාජකාරි වේගවත් කිරීම, අපේක්‍ෂකයන්ට ඉලක්‌ක ලබාදීම හා ඌව පළාත් සභා මැතිවරණයට මුහුණදීමේ ක්‍රමෝපායන් සැකසීම වැනි කටයුතුවල තමන්ගේ වැඩ කොටස වෙන්කරගෙන සොයාබැලීමට ද රනිල්ට දින කිහිපයක්‌ අවශ්‍ය විය.

මේ අතරතුර සිය දියණිය බලන්නට එංගලන්තයට ගොස්‌ සිටි එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්‌ඩල නායක කරු ජයසූරිය යළි පැමිණියේ පසුගිය සතියේය. මේ නිසා එක්‌සත් ජාතික පක්‍ෂය පසුගිය සතියේ දේශපාලන වැඩ රාජකාරිවලට අවතීර්ණව සිටියේ නව ජවයකින් යෑයි කිවහොත් නිවැරැදිය....

පසුගිය සෙනසුරාදා රනිල් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සියලුම ආසනවල තරුණ නියෝජිතයන් සිරිකොතට ගෙන්නුවේය. තරුණ නායකයන් හමුවේ රනිල් කතා කළේ "රැකියාවන් කිරීම" පිsළිබඳවය.

අපේ රටේ තරුණයෝ බලාපොරොත්තු වන එක හීනයක්‌ තමයි "රැකියාවක්‌". අධ්‍යාපනය ඉවරවෙලා සමාජයට පිවිසෙන හැමෝම රැකියාවක්‌ බලාපොරොත්තු වෙනවා. ඒත් අපේ තරුණයෝ හුඟක්‌ දෙනා තුළ මේ රැකියාව පිළිබඳව තියෙන්නේ මහ යල් පැනගිය සාම්ප්‍රදායික මතයක්‌. අපි නව තාක්‍ෂණය හා නව ආර්ථික රටාව තුළ ඉදිරියට යනකොට මේ "සාම්ප්‍රදායික රැකියාව" කියන සංකල්පය විහිළුවක්‌ බවට පත්වෙනවා.

අද තරුණයන්ට මේ සාම්ප්‍රදායික රැකියාව ගැලපෙන්නේ නැහැ. තාක්‍ෂණය අනුව හා විද්‍යාව මෙන්ම තරුණ අදහස්‌ ඔස්‌සේ කන්තෝරු කාමරයෙන් එළියට බැස නව තාක්‍ෂණය ඔස්‌සේ කරන රැකියාව ජනතාවට හා තරුණ පරපුරට හඳුන්වාදීම ගැන රනිල් විශේෂ අදහස්‌ කීපයක්‌ දැක්‌වූයේය. පසුගිය සති කිහිපය තුළ ඇමරිකාවේදී තමන්ට අහන්න දකින්න ලැබුණු අත්දැකීම් ඉවහල් කර ගනිමින් රනිල් කළ විශේෂ කතාව තරුණ එජාප ක්‍රියාකාරීන්ගේ සිත් ගත්හ.

මේ අතර තිස්‌ස අත්තනායක සෙනසුරාදා හවස කොළඹ සිට මහනුවර බලා ගියේ අර්ල්ස්‌ රිජන්සි හෝටලයේ එදා රාත්‍රියේ පැවැත්වෙන විශේෂ උත්සවයකට සහභාගි වන්නටය. මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ විසින් එම උත්සවය සංවිධානය කර තිබුණේ සිය සංගමයේ 43 වැනි සංවත්සරය නිමිත්තෙනි. මේ සඳහා පක්‍ෂ භේදයකින් තොරව දේශපාලනඥයන්ට ආරාධනය කර තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව කථානායක චමල් රාජපක්‍ෂ, මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහ ඇමැති සරත් ඒකනායක, ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ, තිස්‌ස අත්තනායක ඇතුළු පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෝ හුඟ දෙනෙක්‌ පැමිණ සිටියහ. මෙම උත්සවය එක්‌ අතකින් ව්‍යාපාරිකයන්ගේ හා දේශපාලනඥයන්ගේ අතර සාකච්ඡාවක්‌ මෙන්ම සුහද සංවාදයක්‌ හා සුහද සාදයක්‌ ලෙස කැපී පෙනිණි.

තරු පහේ සාකච්ඡාව

පසුගිය ඉරිදා එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මණ්‌ඩලය කොළඹ තරු පහේ හෝටලයකට සාකච්ඡාවක්‌ සඳහා සහභාගි විය. හෝටලය කොළඹ ටාඡ් සමුද්‍ර හෝටලයයි. තැන "කලම්බු ක්‌ලබ්" නම් ශාලාවයි.

නායකත්ව මණ්‌ඩල නායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මංගල, කිරිඇල්ල, තිස්‌ස, රවී, කබීර්, රුවන්, විඡේදාස රාජපක්‍ෂ ආදීන් සහභාගි වූ මේ සාකච්ඡාවට අවස්‌ථා කීපයකදී පක්‍ෂ නායක රනිල් ද සහභාගිවීම විශේෂත්වයකි.

කරු සාකච්ඡාව අතරතුර විශේෂ කාරණයක්‌ පැහැදිලි කළේ "කලම්බු ක්‌ලබ්" ගැනය.

මම මේ හෝටලයේ කලම්බු ක්‌ලබ් කියන සමාගමයේ ඉතා පැරණි සාමාජිකයෙක්‌. මේක ක්‌ලබ් කියන නමින් හැඳින්වුණාට මෙය රාත්‍රි සමාජ ශාලාවක්‌ නම් නොවෙයි. සමහර ප්‍රභූවරු මට පහුගිය කාලේ චෝදනා කළා කරු ක්‌ලබ් යනවා කියල. ඒ කිව්වේ මෙතනට. එහෙම කියපු ඒ ප්‍රභූවරුම සමහරු මාත් එක්‌ක මෙතනට ඇවිත් දිවා ආහාරය ගෙන තියෙනවා.

කරු එසේ පැහැදිලි කිරීමක්‌ කළේ සාකච්ඡාව පැවැත්වෙන ස්‌ථානය ගැනය. ඉන්පසුව නායකත්ව මණ්‌ඩලයේ වැඩකටයුතු පටන් ගැනිණ. මේ සාකච්ඡාව ආරම්භ කළ මොහොතේම පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ද පැමිණ සිය අදහස්‌ දක්‌වනු ලැබීය. ඔහු ඉතා හොඳ කරුණු රැගත් දේශනයක්‌ කළේය. සාකච්ඡාව උදේ 8.30 ට ඇරඹී ඉරිදා හවස 5.30 පමණ වනතුරුම පැවැත්වීම විශේෂත්වයකි. මේ නිසා මෙය හුදෙක්‌ සාකච්ඡාවකට වඩා වැඩමුළුවක සිරි ගත්තේ යෑයි කිවහොත් එය නිවැරැදිය.

ඒ අතර ඉදිරියේදී එන මැතිවරණ හා එජාපයේ ඉදිරි රහස්‍ය වැඩපිළිවෙළ ගැන ද විශේෂ කරුණු කිහිපයක්‌ මෙහිදී කතාබහට ගැනිණි.

ඉදිරියේ එන ඉතා ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක්‌ හා රාජ්‍ය පෙරළියක්‌ ගැන කරු අදහස්‌ කිහිපයක්‌ කීවේය. ඊළඟ මැතිවරණවලදී රජයේ ප්‍රබලම චරිත කිහිපයක්‌ පැමිණ එජාප වේදිකාවේ වාඩිවී වැඩ කිරීමට නියමිත බව කරු පැහැදිලි කළේය.

ඉන්දීය ගමන

ශ්‍රී ලංකාවේ අපිට දේශපාලනමය වශයෙන් පසුගිය සතියේ සිදුවූ වැදගත්ම සිදුවීම වන්නේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂගේ ඉන්දියානු සංචාරයයි. ඔහු එම සංචාරය ඇරැඹුවේ 26 වැනි සඳුදා උදේය. විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස නවදිල්ලියේ ගාන්ධි ගුවන් තොටුපළ වෙත ළඟාවෙනු ලැබූහ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති විසින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබූහ. මෙවර ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදී තිබූ ආරක්‌ෂාව ඉතා දැඩි විය. දෙමළ වර්ගවාදීන්ගේ හා තමිල්නාඩු දේශපාලනඥයන්ගේ තර්ජන ගර්ජන හා ත්‍රස්‌තවාදී වැඩපිළිවෙළ මඬිමින් රාජ්‍ය නායකයන්ට උපරිම ආරක්‌ෂාව ලබා දෙන්නට ඉන්දීය නව රජය පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

මේ අතරතුර මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් නතරව සිටියේ අප ජනාධිපතිවරයාට නවාතැන් දී තිබූ හෝටලයේ බැවින් දෙදෙනා අතර ද හෝටලයේදී වෙනම ද්විපාර්ශ්වික කතාබහක්‌ එදිනම පැවැත්විණි.

එදින හවස ඉන්දීය නව නායක නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවය මහත් ගරු ගාම්භීර ලෙස රාෂ්ඨපති භවාන්හිදී පැවැත්විණි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතාවල නව පරිච්ඡේදයක්‌ සනිටුහන් කරමින් සිදුවූ ජනාධිපති මහින්දගේ මෙම සංචාරයේ වැදගත්ම අපේක්‍ෂා කිහිපයක්‌ තිබිණි.

එකක්‌ එදින ජනාධිපති මහින්ද අගමැති මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමය. දෙවැන්න එදින රාත්‍රියේ අගමැති මෝදි විසින් පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති මහින්ද සහභාගි වීමය. තෙවැන්න පසුදා උදයේ නවදිල්ලි හයිද්‍රdබාද් මන්දිරයේ පැවති ඉන්දීය ශ්‍රී ලංකා දෙරට අතර ද්වි පාර්ශ්වික සාකච්ඡාවට මෝදි හා මහින්ද වාඩිවීමය.

මේ සාකච්ඡාව අනාගත දේශපාලන ලංකාව හා ඉන්දියාව අතර සබඳතා පිළිබඳ තීරණාත්මක කරුණු කාරණා හුවමාරු වූ විශේෂ සාකච්ඡාවක්‌ බව සැබෑය.

ජනාධිපති මහින්ද 27 වැනිදා සවස රාෂ්ඨපති භවාන්හිදී ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජිව මුණගැසීමද මේ සංචාරයේ විශේෂත්වයකි.

ජනාධිපති මහින්ද එම දෙදින නිල සංචාරය නිමවමින් 27 වැනි අඟහරුවාදා හවස යළිත් ලංකාව බලා පැමිණියේ ඊළඟට කළ යුතු වැඩ රාජකාරිද රාශියක්‌ ඉතිරිව තිබූ නිසාය.

තරයේ අවවාද

මේ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නායකත්ව මණ්‌ඩල නායක කරු ජයසූරිය පසුගිය සතියේ බදාදා බ්‍රහස්‌පතින්දා දිනවල පක්‍ෂයේ සියලුම ආසන සංවිධායකයන් පිළිවෙළකට අනුව කොළඹට ගෙන්නුවේය. ඔවුන් ගෙන්වා නායකත්ව මණ්‌ඩලය හමුවට කැඳවා ඔවුන්ගේ වැඩ කිරීමේ ශක්‌තිය හා හැකියාව මෙන්ම ප්‍රගතිය සමාලෝචනය කිරීම විශේෂත්වයක්‌ විය.

මෙම අවස්‌ථාවේදී ඉතා ආඩම්බරයෙන් ප්‍රගතිය පෙන්නුම් කළ සංවිධායකයන් බොහෝමයක්‌ සිටියහ. එහෙත් තවත් කිහිපදෙනෙක්‌ ප්‍රගතිය පිළිබඳ විමසන විටදී සිටියේ මඳක්‌ චකිතයකිනි. කරු ඔවුන් සමඟ තරමක්‌ තදින් කතා කළේය.

ලබා දී ඇති ඉලක්‌ක කරා අවශ්‍ය කාලයට අනුකූලව ළඟාවිය නොහැකි නම් පක්‍ෂයට ඔවුන් පිළිබඳ දැඩි තීන්දු ගැනීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. නායකත්ව මණ්‌ඩලය මෙහිදී ඒ සංවිධායකයන්ට තවත් සහන කාලයක්‌ ලබාදීමට එකඟ වීම විශේෂත්වයකි.

මේ අනුව දින 2 ක්‌ පුරා පවත්වනු ලැබූ නායකත්ව මණ්‌ඩල සම්මුඛ පරීක්‍ෂණයෙන් අසමත් වූ සංවිධායකවරු ආපසු ආසන බලා ගියේ ඊළඟ අවස්‌ථාවේ තම ඉලක්‌ක සපුරා පක්‍ෂය සතුටු කරවන බවට පොරොන්දුවක්‌ ද ලබා දෙමිනි.

උපන් දින කේක්‌

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් මෙවර කැබිනට්‌ රැස්‌වීම පැවැත්වුණේ සති කිහිපයකට පසුවය. බ්‍රහස්‌පතින්දා උදේ 10.00 ට සුපුරුදු පරිදි රැස්‌වීම ආරම්භ විය.

කැබිනට්‌ රැස්‌වීමට කලින් අපට අද තියෙනවා ඇමැතිවරු දෙදෙනකුගේ උපන්දිනවලට සුබ පතන්න. එකක්‌ අපේ රාජිත ඇමැතිතුමාගේ... අනිත් උපන්දිනය තොණ්‌ඩමන් ඇමැතිතුමාගේ. එතුමා නම් අද මේ වෙලාවේ ඉන්නේ ඉන්දියාවේ. රාජිත ඉන්නවා රාජිත ඔබට සුබ උපන්දිනයක්‌... ජනාධිපති කැබිනට්‌ රැස්‌වීම ඇරඹුවේ එසේය. ඇමැති රාජිත වෙනුවෙන් ලොකු කේක්‌ ගෙඩියක්‌ ද සූදානම්ව තිබිණි. රාජිත එය කපා ඇමැතිවරුන්ට ඉන් සංග්‍රහ කළේ සතුටු සිතිනි.

කැබිනට්‌ රැස්‌වීම ආරම්භයේදීම එහි සතුටුදායක පිරිසක්‌ පැමිණ නොසිටීම ජනාධිපතිවරයාගේ උදහසට හේතුවක්‌ වී තිබෙන බව පෙනෙන්නට තිබිණි. විමල් වීරවංශ ද සිටියේ නැත. ඔහු පිට පිට සති හතරක්‌ පහක්‌ පැමිණ සිටියේ නැත. ඒ හා සමාන පැමිණීමක්‌ ඇති ඇමැතිවරු තවත් ගණනාවක්‌ම සිටියහ. ජනාධිපතිවරයා ඇමැතිවරුන්ගේ නොපැමිණීම ගැන නොසතුටින් කතා කළේය. මහජන නියෝජිතයෝ රැස්‌වීම්වලට පාර්ලිමේන්තුවට එන්න ඕන. ඇමැතිවරු කැබිනට්‌ රැස්‌වීමට එන්න ඕන. ඒක අමුතුවෙන් කියන්න ඕන දෙයක්‌ නොවෙයි. ඒත් සමහරු ඉන්නවා මේවා සැලකිල්ලට නොගෙන වැඩ කරන. මට ඒ අය ගැන මින් පස්‌සේ මීට වඩා හිතලා වැඩ කරන්න වෙනවා ජනාධිපතිවරයා සිය නොසතුට පළ කළේ එලෙසය.

ඉන් අනතුරුව කැබිනට්‌ මණ්‌ඩලයේ වැඩ රාජකාරි ඇරඹිණි. කැබිනට්‌ පත්‍රිකා සාකච්ඡා කරන අතරවාරයේ ඇමැති බන්දුල ගුණවර්ධන එක්‌ නෝක්‌කාඩුවක්‌ කියන්නට පටන් ගත්තේ පසුගිය සතියේ යම් යම් පත්තරවල පළව තිබූ ආරංචියක්‌ සම්බන්ධයෙනි.

ජනාධිපතිතුමා ගිය සතියේ පත්තරයක පළවෙලා තිබුණා ඔබතුමා මගේ අමාත්‍යාංශයේ වැඩ ගැන ලොකු නොසතුටකින් ඉන්න බව. අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කලකිරීමෙන් දොස්‌ කිව්වා කියලයි පත්තරවල ගිහින් තියෙන්නේ. එහෙම දෙයක්‌ කැබිනට්‌ මණ්‌ඩලයේ වෙලා නැහැ. මම දන්නවා පත්තරවලට ඕවා කියන ඇමැතිතුමන්ලා ගැන. මම එතුමට කියනවා මේ ආරංචියත් පත්තරවලට වාර්තා කරනව නම් හරියට වාර්තා කරන්න කියලා.

බන්දුල කතා කළේ ලොකු නොමනාපයකිනි. ඒ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවට යන කතාවක්‌ කියමින් බන්දුලව අස්‌වැසුවේය.

"ඉන්දියාවේ නම් ඇමැතිවරු දිවුරුම් දෙනකොට දිවුරුම් දෙකක්‌ දෙනවා. එකක්‌ ඇමැතිකම හරියට කරන්න. අනිත් එක රජයේ රහස්‌ පිටට ලබා නොදෙන්න..."

ඉන්පසුව බන්දුල ගුණවර්ධන දිගින් දිගටම විපක්‍ෂ නායකවරයා පසුගිය සතියේ නගනු ලැබූ චෝදනාවකට කරුණු පැහැදිලි කිරීමක්‌ කළේය. විපක්‍ෂ නායකවරයාගේ චෝදනාව රජයේ "අධ්‍යාපන කප්පාදුවක්‌" තිබෙන බවටය. බන්දුල එය වැරදි ප්‍රකාශයක්‌ බව දිගින් දිගටම පැහැදිලි කළේය.

ඉන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා කතා කළේය. ඔහු කීවේ දැන් යළිත් රටේ ඩෙංගු උවදුර හිස ඔසවා ඇති බවය. රාජ්‍ය ආයතනවලින් ඩෙංගු උවදුර මර්දනයට ඇති උනන්දුව මදි බව ඔහු පැහැදිලි කළේය.

"රත්නපුරේ තියෙනවා ඉස්‌කෝලයක්‌. අපි අවවාද කළා පරිසරය පිරිසිදු කරලා මදුරුවන් බෝවෙන තැන් සුද්ද කරන්න කියලා. අපේ අවවාද ගණන් ගත්තේ නෑ. අන්තිමේ එයාලාගේ ඇස්‌ ඇරුණේ ඩෙංගු හැදිලා ගුරුවරියකුත් මියගියාට පස්‌සෙයි."

ජනාධිපතිවරයා ඉන් පසුව අනෙක්‌ ඇමැතිවරුන්ට තම තමන්ගේ ආයතන මෙහෙයවමින් ඩෙංගු වැනි උවදුරක්‌ පිටුදකින්නට උපරිම සහයෝගය ලබාදෙන්නැයි තරයේ අවවාද කළේය.

මහින්දොaදය එපා

බ්‍රහස්‌පතින්දා හවස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විශේෂ උත්සව දෙකක්‌ සඳහා සහභාගිවීමට බෙන්තර ප්‍රදේශයට පිටත්ව ගියේය.

ඔහු බෙන්තර බලා ගියේ හෙළිකොප්ටරයෙනි. හෙළිකොප්ටරය ගොඩබානු ලැබුවේ බෙන්තර ගාමිණී ජාතික පාසලේ ක්‍රීඩාංගණයටය.

බෙන්තර ගාමිණී ජාතික පාසලේ ක්‍රීඩාංගණය ඒ වන විට ප්‍රදේශවාසීන්ගෙනුත් ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ගෙනුත් පිරී ගොස්‌ තිබුණේ විශේෂ හේතුවක්‌ නිසාය. හේතුව මේ වන විට බෙන්තර ගාමිණී ජාතික පාසලට සිදුවී ඇති අධ්‍යාපන විලම්බෑසියකි. ඔවුන් මේ විලම්බෑසිය කියන්නටම පාසලේ පිට්‌ටනියේ උද්ඝෝෂණයක නිරතව සිටියේ ජනාධිපතිතුමා මුණගැසෙන බලාපොරොත්තුවෙනි.

පාසලේ දරුවෝ හා වැඩිහිටියෝ එක්‌ව ජනාධිපතිවරයාට අවනඩුව කියන්නට පටන් ගත්තේය. අවනඩුව ගාමිණී ජාතික පාසල දෙකට කැඩීම නිසා බව ජනාධිපතිවරයා තේරුම් ගත්තේය.

ගාමිණී විද්‍යාලය ජාතික පාසලක්‌. නමුත් මේක මහින්දොaදය වැඩපිළිවෙළ යටතේ දියුණු කරනකොට ප්‍රාථමික අංශය වෙනමත් ජාතික පාසල වෙනමත් ගන්න වෙනවා. එතකොට මේක ද්විතීයික පාසලක්‌ විදියට දියුණු වෙනවා. ඔයාලා මේක දියුණු වෙනවට අකමැතිද?

අපි ද්විතීයික පාසලට විරුද්ධ නැහැ. නමුත් 1 සිට 5 දක්‌වා පන්ති පවත්වන ප්‍රාථමික පාසලට ගුරුවරු නැහැ. අපි කියන්නේ මේ දැන් ඉන්න ගුරුවරු ඒ පාසලෙන් ඉවත් කරන්න එපා කියල විතරයි... ජනතාව කීහ.

ඒ කියන්නේ ද්විතීයික පාසලක්‌ කරන්න එපා කියන එක නේ ජනාධිපති ඇසුවේය.

හරි හරි මේ ගැන පළාත් අධ්‍යාපන ඇමැතිටයි මහ ඇමැතිටයි මම කතා කරල කියන්නම්කෝ... කියමින් ජනාධිපතවරයා මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වාට දුරකථනයෙන් කතා කළේය. ඒ වන විටත් මහ ඇමැති ශාන් මේ අවනඩුව ගැන හොඳින් දැන සිටියේය.

"ශාන්... මෙයාලා මේ ඉල්ලන ඉල්ලීම මට නම් තේරෙන්නේ නැහැ. මහින්දොaදය පාසල් ක්‍රමය යටතේ ලබන දියුණුව එපා කියලද කොහේද මේ කියන්නේ. පොඩ්ඩක්‌ මේක ගැන උනන්දු වෙලා අධ්‍යාපන අමාත්‍යාංශයයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයයි දෙක එක්‌ක කතා කරල මේක විසඳන්න...."

ජනාධිපති ශාන්ට එසේ කියා ජනතාව දෙසට හැරී ඔන්න මම මහ ඇමැතිතුමාටම වැඩේ බාරදුන්නා යෑයි කියමින් ජනතාවගෙන් සමුගත්තේය.

ජනාධිපති බෙන්තරට ගියේ බෙන්තර ප්‍රදේශයේ අලුතින් ඉදිකළ හෝටල දෙකක්‌ විවෘත කිරීමටය. එකක්‌ පිහිටියේ බෙන්තරමය. අනෙක ඉඳුරුවේය.

රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා ඇතුළු පිරිස ජනාධිපතිවරයා පිළිගෙන බෙන්තර සී සෑන්ඩ් හෝටලය වෙත කැඳවාගෙන යනු ලැබුවේය. එම හෝටලයට පාරේ සිට ගඟ හරහා බෝට්‌ටුවෙන් වැලිවැටිය වෙත යා යුතුය.

හෝටලය අලංකාර හෝටලයකි. එය සුප්‍රකට සොµaට්‌ ලොජික්‌ ආයතනය හිමි පතිරගේ මහතා විසින් ඉදිකරන ලද තරුපහේ මට්‌ටමේ එකකි. ජනාධිපතිවරයාව පිළිගන්නට එතන ගීතා කුමාරසිංහ, නිශාන්ත මුතුහෙට්‌ටිගම ඇතුළු දකුණු පළාතේ පිරිසක්‌ සිටියහ.

ඇයි ඔයාලා මෙහේ අපි හිතුවේ අතන ඉඳියි කියලා ජනාධිපති කීවේය.

සර් හෝටලයේ ගේට්‌ටුව තියෙන්නේ ගඟෙන් එගොඩ බස්‌නාහිර පළාතේ. හෝටලය තියෙන්නේ අපේ දකුණු පළාතේ. ඒකයි අපි මෙතන.... ගීතා සිනහවෙමින් කීවේය.

ඒක නොවෙයි මොකක්‌ද අර ඉස්‌කෝලේ කට්‌ටිය උද්ඝෝෂණයක්‌ කර කර කියන්නේ.

ඒක නේ සර්. මහින්දොaදය විද්‍යාගාරයක්‌ මහින්දොaදය පාසලක්‌ එපා කියල උද්ඝෝෂණය කරන ලංකාවේ එකම පිරිස එයාලා වෙන්න ඇති... පුදුමයි.... ගීතා ජනාධිපතිවරයාට පාසලේ තිබෙන තත්ත්වය පැහැදිලි කළාය.

හරි... ඔයගොල්ලෝ මේ ගැන බන්දුලත් එක්‌කයි චන්දිම රාසපුත්‍ර එක්‌කයි කතා කරල අසරණ ළමයින්ට සාධාරණයක්‌ වන විසඳුමක්‌ හදල දෙන්න....

එසේ කියමින් ජනාධිපතිවරයා ඉදිරියට ගොස්‌ නිසි පරිදි හෝටලයේ සිරි විසිතුරු බලමින් එය ජනතා අයිතියට පත් කළේය.

ජනාධිපති මහින්ද ඇතුළු පිරිස මෙම ගමනේදී තවත් හෝටලයකට ගියේය. එය කිරිබත්ගොඩ තිලකවර්ධන ව්‍යාපාර හිමියාට හා එවර්ග්‍රීන් හිමියාට අයත් ඉඳුරුවේ තවත් තරුපහේ හෝටලයකි. ජනාධිපතිවරයා එහි ගියේද රෝහිත අබේගුණවර්ධන, මහින්ද සමරසිංහ, නිශාන්ත මුතුහෙට්‌ටිගම, ගීතා කුමාරසිංහ ඇතුළු දේශපාලනඥයන් පිරිස පිරිවරාගෙනය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.