'මතක වත'
බිඳී ගිය සංස්‌කෘතික ආධ්‍යාත්මයේ ඉකිබිඳුම!

ගුණදාස අමරසේකරයන්ගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන 'මතක වත' සිංහල කවිය පිළිබඳ අප තුළ නැවුම් අපේක්‍ෂා දල්වන්නා වූද සමකාලීන සමාජ දේශපාලන, ආර්ථික හා සංස්‌කෘතික කැළඹීම් සියුම්ව අපගේ අවධානයට යොමු කරවන්නා වූද අපූර්ව නිර්මාණයකි. අමරසේකරයන්ගේ සාහිත්‍ය කලා ව්‍යපාරය තුළ නිනාද වන්නේ අනුකාරක බුද්ධිමතුන් පිළිබඳ උපන් කළකිරීමත් දේශිය චින්තනයක අභිලාෂයන් බවත් ඉතා පැහැදිලිය. හේ මානව සබඳතාවන්හි අවියෝජනීය බැඳීම් වෙතට අප රැගෙන යමින් සිය සමාජ විඥනයේ ගාම්භීරත්වය තහවුරු කරන අයුරු ද විස්‌මිතය.

අමරසේකරයෝ අද්‍යතන සමාජ දේශපාලන සංවාදයෙහි ප්‍රමුඛ චරිතයක්‌ බවටද පත්ව සිටිති. සිංහල නවකතාව, කෙටි කතාව මෙන්ම කවිය හා විචාරය යන හැම භූමිකාවකදීම ඔහු මේ සමාජ දේශපාලන සත්තාව විනිවිද දැකීමට දරන ප්‍රයත්නය සුපැහැදිලිය. ඔහුගේ 'මතක වත' නිර්මාණය තුළින්ද මේ සමාජ කුණපයෙන් බැහැරව ජීවිතය අර්ථවත් කර ගැනීමේ අදිටන අප තුළ ජනිත කරවීම සඳහා අව්‍යාජ ප්‍රයත්නයක්‌ දරා තිබෙන බව කිව යුතුය.

'මතකවත' ට වස්‌තු වී ඇත්තේ කවියාගේ මව, සොහොයුරා හා සොයුරිය පිළිබඳ සත්‍ය පුවතක්‌ වුවද හේ ඔවුන්ගේ චර්යාවන් හා සංස්‌කෘතික විඥණධාරා මගින් මනුෂ්‍යත්වය තුළ සැඟව පවත්නා ශූඨත්වය ද සනාතන වේදනාවන් ද අගනා කාව්‍යමය ගෙත්තමක්‌ බවට පත් කරයි. කවියාගේ ආවර්ජනා දසක කීපයක සැමරුම් තුළින් කෙරෙන භාව ප්‍රකාශනයක්‌ බවට පත්ව තිබේ. එම දීර්ඝ ආඛ්‍යාන කාව්‍ය සමග එක්‌වන සහෘදයාට පුද්ගල ජීවිතයෙහිs අඳුර මෙන්ම පවුල නමැති ඒකකයේ බිඳ වැටීමද සියුම්ව පසක්‌ වෙයි.

කවියා සිය මව පියා මෙන්ම නැගණිය හා සොහොයුරා සමඟ දැඩිව බැඳී සිටියි. ඔහු සිය ජීවිතයේ සොඳුරු මතක නිම්නය වෙත අප රැගෙන යන අයුරු බලනු මැනවි.

විසල් බිත්ති වට කළ සාලයක්‌ මැද

අඳුරු ලෙනක්‌ විය ගුරු නිවස යනුවෙන්

අප පස්‌ දෙනා ගුළි වී සිටිය ඒ තැන

ඔබට තවම මතකද නැගණිය එලෙන



අම්මා සමග ඔබ නිදියනු ඇඳ අසල

විසල් කවුළුවක්‌ විය අහසට ඇරුණ

මාත් තාත්තාත් නිදියපු ඇද අසල

තිබුණි කවුළුවක්‌ හිරු එළිය නොදකින




කවියා සිය ළමා වියේ සුන්දරත්වය මැනවින් සිතුවම් කරමින් දසක කීපයකට පෙර අප තුළ වූ සංස්‌කෘතික ආධ්‍යාත්මය ද විදහා දක්‌වයි. අද තරම් පහසුකම් නොවූ ගමක ගෙවී ගිය ජීවිතය කවියා රේඛාවකින් දෙකකින් මෙසේ මවයි.



තාත්තා නොමැත ගොස්‌ ඇත දුරබැහැර

ඇඳිරි වැටී එන පාළුව හාත්පස

වසාදමා දොර සාලය වෙත ඇරෙන

ගුළිවී සිටිමු අම්මාගේ ඇඳ අසල



බට්‌ටිච්චන් සොයා ගිය දෙවට ළඟ

පෙරේතයෝ ඇද්දොa අම්මේ මෙවිට

බයයි හිතට අයියා ඇසුවොත් එවිට

අපට සිනාසෙනු නියතය ඔච්චමට


මේ සොඳුරු මතක මැද ජීවිතය වෙනත් ඉසව් වෙත ඇදී යන අයුරු කවියා අපට හඟවයි. කවියා සිය ආඛ්‍යානය සමග පාඨකයා මනාව බැඳ රඳවා ගන්නේ කිසිදු ආයාසයකින් තොරවය. ඔහු තම පවුල තුළ සිදුවන ක්‍රියාදාමයන් ඉතා මනරම්වද සංක්‍ෂිප්තව ද දක්‌වයි. සිද්ධි අනුපිළිවෙලින් විස්‌තර කිරීම වෙනුවට ඒවා නාට්‍යමය අයුරින් පෙළගැස්‌වීම කවියාගේ අභිලාෂය වූ සෙයකි. තම පවුලේ සුන්දර ජීවිතය හොරු රැගෙන ගිය අයුරු ඔහු දකියි. ලොකු අයියාගේ ජීවිතය තුළ සිදුවන විපර්යාසය කවියා දකින්නේ කිසියම් උත්ප්‍රාසයකින්ය. තාත්තාගේ මරණයෙන් පසු හැම ජීවිතයක්‌ම වෙනස්‌ වෙයි. අයියා සිවිල් විභාගය සමත් වීමත් සමගය, මේ සියල්ල සිදු වන්නේ.

එකට සිටිය අප තිදෙනා

යන්න ගියා තුන් අතකට




ගියා ගියා ලොකු ලොකු තැන් සොයා බලා

ගියා ගියා ඔහු තව තව ඈත්වෙලා

ඉනිමගේ ඉහලට යන අයියා දෙස


නංගි බලන්නී උත්ප්‍රාසයෙනි. අයියාගේ විවාහය පැවැත්වෙන මහ හෝටලය මෙන්ම ඔහුගේ පුරාඡේරුව කියන අම්මා තුළින්ද අපට විදහා පාන්නේ නංගිගේ අව්‍යාජත්වයයි.

සිය සහෝදරයාගේ ව්‍යාජ සාටෝපවත් ජීවිතය චිත්‍රනය කිරීම සඳහා කවියා යොදා ගත් බස වහර ගැනද යමක්‌ කිව යුතුය.

නැඟූ පහන් සිය දහසින් එකලු වුණ

ගයන වයන ගීයෙන් සවන පුරවන

දිලෙන ලෙළෙන සළුපිළි අඟන අබරණ

මෙවැනි තැනක්‌ වෙද මනු ලොව සිතිණි මට


කොළඹ සුපිsරි හෝටලයක උත්කර්ෂවත් යෑයි කෙනෙක්‌ සිතන විවාහ මංගල්ලයක සැබෑ ස්‌වරූපය නොවේද මේ?

ගැයුම්, වැයුම්, නැටුම් අඩු නැත. ලියෝ දිලෙන ලෙළෙන සළුපිළි අබරණවලින් යුතුව සිටිති. අමරසේකයෝ අවස්‌ථා නිරූපණයේදී දක්‌වන සුවිශිෂ්ට කුසලතාව මෙයින් නොපෙනේද? මෙහිදී ඔහු සම්භාව්‍ය කවි සමයේ වදන් වැල මෙන්ම ජනප්‍රිය විරිත ද යොදාගෙන නංවන රූපකාර්ථය බලන්න.

අයියාගේ ව්‍යාජ මධ්‍යම පාන්තික ජීවිතය කවියා සදය උපහාසයෙන් චිත්‍රණය කරයි. බලන්න ඔහුගේ බස්‌ වහර දෙස.

ගෑණිට හොරා එවනා සල්ලිය අපට

ඕනෑ නැතෙයි මං ලියලා අරින්නද?


විවාහයෙන් පසු ගමත්, මවත් අමතක කර දමන අයියා තුළ ගමෙන් උගත් බොහෝ දේවල් නැතිවී ගොසින්ය. කවියා එය ඉතා සියුම්ව අපට හඟවන අයුරු බලන්න.

අවුරුද්දට පමණි ඉන්පසු ඔහු ආවේ

බුලත් හුරුල්ලක්‌ අම්මට දී යන්ට


අයියාගේ ජීවිතය මෙන්ම කවියාගේ ජීවිතය ද වෙනස්‌ වෙයි. එයට හේතුව පේරාදෙණි සරසවියයි. එය මොනතරම් නිසරු ග්‍රාම්‍ය ජීවිතයක්‌ වීද ඔහුට.

මදුවිත පහස කෙළිලොල් සලෙළ සුරඟන

අඳුරු රහස්‌ තැන් හෝටල් ලැඟුම් පල

සොදුරු ලොව සිතින් ඇඟ මස්‌ සොයා යන

වියරු ලොවක උන් සැටි සිහි කළ නොහැක


සිය සොයුරාගේ පේරාදෙණි ජීවිතය නැගණිය නොඉවසන්නී පෙම් පළහිලව්වක්‌ නිසාය. කවියා මේ සිදුවීම් පෙළ ගස්‌වන්නේ සිනමාකරුවකු රූප රාමු පෙළක්‌ දක්‌වන අයුරින්ය. එහිදී ඔහු ප්‍රබල බස්‌ වහරක්‌ යොදා ගනී.

මම හොඳට දන්නවා

ඕකිගේ කැරැට්‌ටුව

එහෙව් පරවේසියක්‌

අගෙයි කර ගහගන්න


සිය නැගණිය මේ සියලු තතු දැන ගත්තේ කෙසේදැයි ඔහුටද විමතියකි. එහෙත් අන්තිමට සිදුවන්නේ ඒ සියලු විරෝධතා නොතකා ඔහු සිය පෙම්වතිය සමග විවාහ වීමය. නංගී මුලදී මෙයට විරෝධය දැක්‌වුවත් පසුව අම්මා මෙන්ම ළෙන්ගතු බවකින් ඇය හා දරුවා ද පිළිගන්නීය. සිය පවුලේ අභිමානයට තරම් නොවන විවාහයක්‌ සිදු කරගන්නා පුතකුට මෙන්ම දුවකුට වුවද දිගු කලක්‌ හුදෙකලාව සිටීමට එදා ගම්වල ඉඩ නොදීම විශිෂ්ට ගුණයකි. කවියා අපට සිහිපත් කර දෙන්නේ ඒ සංස්‌කෘතික බැඳීම්වල අගයයි.

මෙලෙස කවියාගේ පවුල තුළ සිදුවන සියලු සිදුවීම් හැලහැප්පීම් සමග අපටද හෘදය සංවාදයකට අවකාශ සැලසෙයි.

මේ සියල්ලේ අවසානය කෙතරම් දුක්‌බරද? සිය නැගණිය පිළිකා රෝගිනියක්‌ බවට පත්වන්නීය. මෙම අඛ්‍යාන කවියේ ප්‍රමුඛ චරිතය ද නැගණියයි. ඇය මේ හැම කෙනකු සමගම අවියෝජනීය ලෙස බැඳී සිටින්නීය. මානව සබඳතාවන්හි අගය මෙන්ම මානව බැඳීම් ද ඇය අපට පසක්‌ කර දෙන්නීය.

කවියා සියුම්ව පෙන්වා දෙන්නේ ඇගේ විශිෂ්ට සංස්‌කෘතික ආධ්‍යාත්මයයි. ඇයට තිබුණේ ප්‍රබල මනසකි. සමාජ ඉවකි. අන්තර්ඥනයෙන් ලබා ගත් දැනුමත් බුද්ධියෙන් උපයා ගත් දේත් තුළින් ඇගේ ජීවිතය වර්ණ ගැන්වී ඇත. දසක කීපයක්‌ මුළුල්ලේ විහිද ගිය ආවර්ජනාවන් තන්වැසිව පෙළ ගස්‌වා ආඛ්‍යාත කාව්‍යයක්‌ බවට පත් කළ හැක්‌කේ ජීවිත පරිඥානයෙන් අගපත් කවියකුට පමණි.

මෙබදු පෞද්ගලික අත්දැකීමක්‌ පොදු වින්දනයක්‌ බවට පත් කිරීමටද ප්‍රබල කවීත්වයක්‌ වුවමනාය. 'මතක වත' කාව්‍යයෙහි විශිෂ්ටත්වය ද එයයි. පුද්ගල අනුභූතියක්‌ පොදු සාධාරණ වින්දනයක්‌ බවට පත් කරලීමට අමරසේකරයන් සතු දාර්ශනික මනසත් ජීවිත පරිඥනයත් එකසේ වැදගත්වී ඇතැයිද මම සිතමි.

පවුල නමැති දම්වැලෙහි පුරුක්‌ එකින් එක ලිහී යයි. එය වැලැක්‌විය හැක්‌කේ කාටද? පුද්ගල සබඳතා නමැති හුය ලිහී ගොස්‌ ජීවිතය සෝකාන්තයක්‌ බවට පත් වේ. කවියා සිය නැගණිය වෙනුවෙන් දැඩි ලෙස කම්පා වෙයි. සිය පවුලේ යුතුකම් ඉටු නොකළේ අයියා පමණක්‌ම නොවේ. තමාද එබදුම ආත්මාර්ථකාමී අයෙකු පමණක්‌ දැයි ඔහුට සිතෙයි.

ජීවිතය යනු සංසාරයේ එක්‌ නිමේෂයකි. එහි ඇත්තේ වියොව පමණි. එක්‌වීම් වෙන්වීම් යනු ඒ ජීවිතයයි. එහි ඊට වඩා අරුතක්‌ නැත. ලෝ දහමත් නියාමයත් එයයි. 'මතක වත' ඒ දාර්ශනික සත්‍යය වෙතට අප රැගෙන යන සෝක රසය දනවන අගනා නිර්මාණයකි.

මරණයේ දොරටුව ඉදිරිපස

මමද දැන් ඉඳිනෙමි ඒ අබියස

ඔබ ඇවිත් එදවස පෙමින් දළ

රැගෙන යනු මා ඔබේ ලොව වෙත


කවියාගේ පැතුම බුදධියට වඩා හදවතට සමීප අව්‍යාජ එකක්‌ බව නොවේද මෙයින් තහවුරු වන්නේ? ගමත් ගම හා බැඳුණු සංස්‌කෘතික ආධ්‍යාත්මයත් 'මතක වත' තුළින් අප වෙතට ළං කරන අමරසේකර කවියා තිරසාරව පවසන්නේ කවිය සතු ප්‍රබල සංකථන විලාසයයි. සමාජයට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රබල කටහඬ කවිය බවයි. කවියා සිය සීමාව තුළ රැඳෙමින් බසින් සමාජ දේශපාලන සංවාදයක නිරත වන අපූර්ව ප්‍රාඥයෙකි.

කවිය පිළිබඳව අගනා නිර්වචනයක්‌ සපයන සාත්‍රෙ සඳහන් කරන්නේ කවියා විසින් බස පාවිච්චි කරනු ලැබීම වෙනුවට බස විසින් කවියා පාවිච්චි කරනු ලබන බවයි. අමරසේකරයන් මෙම මතකවත තුළ බසින් කරන සෞන්දර්ය හා ගැඹුරු නිරූපණ මම බෙහෙවින් අගයමි. කවිය යනු වර්ණනාත්මක විග්‍රහයක්‌ මතු නොව බසින් කරනු ලබන චමත්කාර ප්‍රාතිහාර්යක්‌ බව මෙම කාව්‍ය කියවා අවසන් කරන සහෘදයා පසක්‌ කර ගනී.

'මතක වත' කළින් දිවයන අපූර්ව සංස්‌කෘතික හා සමාජ දේශපාලන වියමනක්‌ ද අපට පෙනේ. එය වූ කළ පසුගිය අඩ සියවසකටත් අධිකව මේ රට තුළ සිදුවෙමින් පවත්නා ආධ්‍යාත්මික පරිහානිය ද පිළිබඳ උපන් කම්පනය තුළින් ලද සංවේගයකැයි ද මම සිතමි. ව්‍යාජ හරයන් විසින් උත්කර්ෂයට පත් කරන ලද අපගේ සමාජ භාවිතය කෙතරම් නිසරු කෙප්පයක්‌දැයි විමසා බැලීමට මතක වත තුළින් අමරසේකරයෝ අපට ඇරයුම් කර සිටිති.

සිංහල කවිය සඳහා වඩාත් උචිත යානය මෙම ආඛ්‍යාතය බව අමරසේකරයෝ දක්‌වති. කොළඹ කවි මග එපා වූ කවීන් කීපදෙනකු විසින් ද මේ සඳහා යම් යම් ප්‍රයත්නයන් දරණලද බවද අප සිහි කළයුතුය. කේයස්‌ගේ සුදොaසුදු එයට එක්‌ නිදසුනකි. එහෙත් ඒ ඉංගී්‍රසි රචනය තුළ වූ බොළඳ නිස්‌සාරත්වය අභිබවා යැමට කේයස්‌ අසමත් විය. මෙය වඩාත් බුද්ධිමය තලයකට ගෙන යැමට සිරි ගුණසිංහට වුවමනා විය. ඔහුගේ "මස්‌ ලේ නැති ඇට" එහිs පලයකි.

එහෙත් එය මානසික විඩාවක්‌ දෙන ප්‍රහේළිකාවක්‌ බඳු විය. මහගම සේකරයන් ඒ බුද්ධිමය විලාසය සෞන්දර්යය විචිත්‍රවයකින් යුතුව ඉදිරිපත් කිරීමට ප්‍රබුද්ධ රචනා කරයි. අමරසේකර කවියා ඒ සියලු අඛ්‍යාන ක්‍රමවේදයන් සියුම්ව සමනික්‍රමණය කරමින් සිංහල කවියටත් කවි රස භාව හඳහන සහෘදයන්ටත් අගනා සම්ප්‍රදානයක්‌ කරමින් 'මතක වත' අපට පිළිගන්වයි.

ගාසු

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.