රෝහල් 7ක ඩෙංගු ලෙඩ්ඩු 730ක්‌

අජිත් අලහකෝන්

කොළඹ, කළුතර, ගම්පහ දිස්‌ත්‍රික්‌ක තුනේ රෝහල් හතක පමණක්‌ මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වූ රෝගීහු 730 දෙනෙක්‌ ප්‍රතිකාර ලබමින් සිටිති.

කොළඹ ජාතික රෝහලේ ඩෙංගු රෝගීහු 125 ක්‌, ජයවර්ධනපුර රෝහලේ රෝගීහු 160 ක්‌, අයි. ඩී. එච්. උණ රෝහලේ රෝගීහු 105 ක්‌, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ 63 ක්‌, කළුතර නාගොඩ රෝහලේ 45 ක්‌, රාගම රෝහලේ 65 ක්‌ සහ කළුබෝවිල රෝහලේ ඩෙංගු රෝගීහු 167 ක්‌ ප්‍රතිකාර ලබමින් සිටිති.

ඇතැම් රෝහල්වල එක්‌ ඇඳක රෝගීන් දෙතුන් දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින තත්ත්වයක්‌ ද උද්ගතවී තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්‌වා ඩෙංගු රෝගීන් 11,000 ක්‌ ප්‍රතිකාර ලබා ඇති අතර තිස්‌තුන්දෙනකු මරණයට පත්ව ඇත. මින් වැඩි පිරිසක්‌ බස්‌නාහිර පළාතේ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

වෙනත් වසරවලට වඩා මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යැමට හේතුව වී තිබෙන්නේ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අකාර්යක්‍ෂම වීම බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි. ඩෙංගු මර්දනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත 2012 වසරේදී ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකායක්‌ ස්‌ථාපිත කර ඩෙංගු මර්දනය කිරීම සඳහා අමාත්‍යාංශ දහයක සහාය ලබාගන්නා ලදී. එනිසා එම වසරේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පැහැදිලි අඩුවීමක්‌ තිබූ අතර ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ මැදිහත්වීම මත ජනාධිපති කාර්ය සාධන බළකායේ ක්‍රියාකාරිත්වය කඩාකප්පල් කර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළම ඩෙංගු මර්දන ඒකකයක්‌ ස්‌ථාපිත කළ බව ඉහත ආරංචි මාර්ග පැවැසීය.

මෙම නව ඒකකය ද ක්‍රියාත්මක නොවන තත්ත්වයක්‌ තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවන්නට වූ බව ද ඉහත ආරංචි මාර්ග පැවසුවේය.

බී. ටී. අයි. බැක්‌ටීරියාව ගුවනින් ඉසීම, දේශීය වශයෙන් බී. ටී. අයි. බැක්‌ටීරියාව නිෂ්පාදනය කිරීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක නොවීම ද ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යැමට හේතුවක්‌ වී ඇත.

මේ අතර බස්‌නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල අධ්‍යක්‍ෂවරුන් අද (02 දා) කොළඹ වසංගත රෝග අංශය වෙත කැඳවීමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා තීරණය කර ඇත.

ඔහුගේ උපදෙස්‌ මත හෙට (03 දා) සිට සෑම රජයේ රෝහලකම උණ රෝගීන් සඳහා .Feඩැර ඤරබැර. නමින් වෙනම ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කර ඇත. රෝහල වෙත පැමිණෙන සියලු උණ රෝගීන් මෙම ඒකකය වෙත යොමු කෙරෙන අතර ඔවුන්ගේ රුධිර පරීක්‍ෂාව සිදුකර එම අවස්‌ථාවේදීම ඩෙංගු රෝගීන් ද යන්න හඳුනාගැනීම මෙමගින් සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ "දිවයින" ට ප්‍රකාශ කළේය.

වැඩිහිටි ඩෙංගු මදුරුවන්ගේ ඝනත්වය මේ වන විට ඉහළ ගොස්‌ ඇති නිසා එම මදුරුවන් විනාශ කිරීම සඳහා බස්‌නාහිර පළාත තුළ විශේෂ කණ්‌ඩායම් පහක්‌ යොදවා දුම් ගැසීමේ වැඩසටහනක්‌ ද හෙට (3 දා) සිට ආරම්භ කිරීමට නියමිත බව ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.