හකීම් පාර්ලිමේන්තුවේදී පක්‍ෂ නායකයෙක්‌ නොවේ
- නි. කථානායක දැනුම් දෙයි

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායකයා පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ නායකයකු ලෙස නොසැලකෙන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමැති රවුෆ්a හකීම් මහතාට කීවේය.

පක්‍ෂ නායකයකු ලෙස පිළිගෙන තම නම පක්‍ෂ නායක නාමලේඛනයට ඇතුළත් කර නොමැති නම් සභාවේ ඉදිරිපෙළ අසුනක්‌ තමන්ට ලබා දී තිබෙන්නේ මන්දැයි මෙහිදී රවුෆ් හකීම් මහතා මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයකු ලෙස කථානායකවරයා විසින් හඳුනාගනු ලැබ සිටින්නේ හතරදෙනකු පමණක්‌ යෑයි කී නියෝජ්‍ය කථානායකවරයා ඔවුන් අතර හකීම් මහතා නැතැයි ද කීය.

මේ අවස්‌ථාවේදී නැගී සිටි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා "පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් ලෙස හඳුනාගෙන සිටින්නේ හතරදෙනයි. එක පැත්තකින් සාමුහිකත්වය කඩනවා. තව පැත්තකින් කෑගහනවා අපි හැම කෙනකුටම සාමුහික වගකීමක්‌ තියෙනවා. හකීම් ඇමැතිතුමාට තියෙන ප්‍රශ්නය මට වැටහෙනවා. ඔය ප්‍රශ්නය කැබිනට්‌ එකේදී විස¹ ගන්න. නැතිනම් කැබිනට්‌ එකෙන් ඉවත්වෙන්න" යෑයි කීවේය.

"ඔව්... මට තේරෙනවා. මම රජයේ කැබිනට්‌ ඇමැති ධුරයක්‌ දැරීම ගැන ඔබතුමාගේ මතය. අපි රජයෙන් ඉවත්වෙනවා දකින්න ඔබතුමාට ලොකු වුවමනාවක්‌ තියෙනවා" යෑයි ඇමැති රවුෆ් හකීම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළේය.

එවිට යළි නැගී සිටි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, "කථානායකතුමා පක්‍ෂ නායකයන් ලෙස හතරදෙනෙක්‌ හඳුනාගෙන තිබෙනවා. මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් හඳුනාගත්, මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට පැමිණෙන පක්‍ෂ පිළිබඳව සලකා බැලීමෙන් පසුවයි. මේ සභාවේ සිටින්නේ පක්‍ෂ නායකයන් හතරක්‌ බවට තීරණය කර තිබෙන්නේ. මම ඔබතුමාට අනුකම්පා කරනවා. එනිසා මුලසුනේ විරෝධය ඔබතුමාට අභියෝග කරන්න බෑ" යෑයි කීවේය.

දිනට නියමිත කටයුතු ආරම්භ කිරීමට පෙර නැගී සිටි අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා දඹුල්ල පූජා නගරයේ මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ පිළිබඳ ස්‌ථාවර නියෝග 23/2 යටතේ කාලීන, හදිසි ප්‍රශ්නයක්‌ ලෙස සලකා ප්‍රකාශයක්‌ කිරීමට අවශ්‍ය යෑයි කී අවස්‌ථාවේදී ඉහත සංවාදය ඇති විය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කළ හැක්‌කේ පක්‍ෂ නායකයකුට පමණක්‌ බවත්, පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ නායකයන් ලෙස හඳුනාගෙන සිටින්නේ සිව්දෙනකු පමණක්‌ බවත් එනිසා හකීම් ඇමැතිවරයාට ඉඩ දිය නොහැකි බවත් මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේ එම අවස්‌ථාවේදීය.

පාර්ලිමේන්තුවේ දැනට සිටින පක්‍ෂ නායකයන් 4 දෙනා වන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති දි. මු. ජයරත්න, එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අනුර කුමාර දිසානායක හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් යන අයයි.

රවුෆ් හකීම් මහතා මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ බැවින් පාර්ලිමේන්තුවේ ඔහුගේ පක්‍ෂ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.