සෞඛ්‍ය නෝනාගේ හිතවත්තු
ඊතයිල් ටෙන්ඩරයට කෙළ හලති
කෝටි 7 ක්‌ පාඩු වන ලකුණු!

අජිත් අලහකෝන්

නියමිත මිලට වඩා රුපියල් කෝටි හතකට අධික මුදලක්‌ වැඩිපුර ගෙවමින් සෞඛ්‍ය අංශ විසින් මෙරට රෝහල් රසායනාගාර සඳහා ඊතයිල් ඇල්කොහොල් බෝතල් නව දහසක්‌ මිලට ගැනීමට සූදානම් වන බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්‌සේ zzදිවයිනZZට වාර්තා වේ. මේ වන විටත් රුපියල් ලක්‍ෂ
හතළිස්‌ එකක මුදලක්‌ වැඩිපුර ගෙවමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් ඊතයිල් ඇල්කොහොල් බෝතල් 503 ක්‌ මිලට ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

අඩු මිල ගණන් යටතේ මීට වසර දෙකකට පෙර ඉදිරිපත් වූ ටෙන්ඩරයක්‌ අවලංගු කරමින් රෝහල් තුළ ඊතයිල් ඇල් කොහොල් හිඟයක්‌ කෘතිම ලෙස මවා පසුව මෙසේ දේශීය වෙළෙඳපොළෙන් ඒවා වැඩිමිල ගණන් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

මෙම විෂය සම්බන්ධව කටයුතු කරන එක්‌තරා නිලධාරිනියකගේ අත්තනෝමතික තීරණ මත මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද මේ නිසා වෛද්‍ය සැපයීම් අංශයද දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද එම ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය.

ඊතයිල් ඇල්කොහොල් ලීටර 2.5 ප්‍රමාණයේ බෝතල් මිලදී ගැනීම සඳහා 2012 වසරේ රාජ්‍ය ඖෂධ සංස්‌ථාව හරහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ඒ අනුව ඖෂධ ගෙන්වන සමාගම් කිහිපයක්‌ නීත්‍යානුකූල ලෙස ඒ සඳහා අයෑදුම්කර ඇත.

ඊතයිල් ඇල්කොහෙල් බෝතලයක්‌ රුපියල් 1800 ක මිලකට සැපයිමට එකඟ වෙමින් සමාගමක්‌ මේ සඳහා ඉදිරිපත් වුවද ඉහත නිලධාරිනියගේ මැදිහත්වීම මත පසුව මෙම ටෙන්ඩර් කැඳවීම අවලංගු කර තිබේ.

ඉන්පසු රෝහල් රසායානාගාරවල ඊතයිල් ඇල්කොහොල් හිඟයක්‌ මතුවන්නට පටන් ගැනිණි. පෙර කැඳවූ ටෙන්ඩරය අවලංගු කළේ මන්දැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරිනියගෙන් විමසා ඇත. මේ හේතුවෙන් ඇය මීට දින කිහිපයකට පෙර යළිත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක්‌ කර ඇත. එම ටෙන්ඩර් කැඳවීමද ඇය විසින් සිදු කර තිබෙන්නේ නීති විරෝධී අයුරින් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්‍යයෙන් ලක්‍ෂ පනහකට වැඩි මිල ගණන් යටතේ භාණ්‌ඩ ඉදිරිපත් කරන ටෙන්ඩර්කරුවන් සමාගම් රෙජිස්‌ට්‍රාර් යටතේ ලියාපදිංචිවී සිටිය යුතුමුත් මෙම නිලධාරීනිය ඇගේ හිතවත් සමාගම් කිහිපයකට පමණක්‌ µeක්‌ස්‌ මගින් දැනුම්දී ටෙන්ඩර් කැඳවීමක්‌ කර ඇත.

මෙම ටෙන්ඩර් පිරිනැමීම මෙතෙක්‌ සිදුකර නැති අතර රෝහල්වල මේ වන විට පවතින ඊතයිල් ඇල්කොහොල් හිඟයට පිළියම් ලෙස බෝතල් 9000 ක්‌ දේශීය වෙළෙඳපොළොන් මිලට ගැනීමට සූදානම් වේ.

එක්‌ බෝතලයක්‌ රුපියල් 1800 කට අලෙවි කිරීමට එක්‌තරා සමාගමක්‌ එකඟවී සිටියද වෙනත් සමාගමකින් රුපියල් 9985 බැගින් බෝතල් 9000 ක්‌ මිලට ගෙන පවතින හිඟය මඟ හැරීමට සෞඛ්‍ය අංශ සූදානම් වන බවද ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ වන විටත් වැඩි මිලක්‌ ගෙවා ඊතයිල් ඇල්කොහොල් බෝතල් 503 ක්‌ මිලට ගෙන තිබෙන බවද මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.