ඩෙංගු මඬින්න අලුත් උගුලක්‌

ඒමන්ති මාරඹේ

දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වන කොළඹ නගරයේ ඩෙංගු මදුරු කීටයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමේ අරමුණින් ඩෙංගු මදුරු බිත්තර එක්‌ ස්‌ථානයකට රැස්‌කර ගත හැකි "ඕවිට්‍රැප්" (බිත්තර උගුල්) මදුරු මර්දන ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරගෙන යන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විඡේමුණි මහතා "දිවයින"ට පැවැසීය.

මෙම "ඕවිට්‍රැප්" ක්‍රමය යටතේ විශේෂිත වූ ප්ලාස්‌ටික්‌ බඳුනක්‌ ඩෙංගු අවදානම් ප්‍රදේශවල නිවෙස්‌ හා ආයතන වෙත ලබාදී ජලය පුරවා තබා එහි ඩෙංගු මදුරුවන් බිත්තර දැමූ පසු එම බිත්තර විනාශ කිරීම සිදු කෙරේ.

මෙම ක්‍රමය සිංගප්පූරුව හා මැලේසියාව යන රටවල් සාර්ථක අන්දමින් අත්හදා බලා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද එය සුදුසු මදුරු මර්දන ක්‍රමයක්‌ ලෙස නිර්දේශ කර ඇතැයි වෛද්‍ය විඡේමුණි මහතා කීවේය.

මෙය ජාතික මට්‌ටමින් වුවද ක්‍රියාත්මක කිරීමට සුදුසු බවද හෙතෙම සඳහන් කළේය. කොළඹ නගරයේ ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ලබන සතියේ සිට මදුරු පාලන නිලධාරින් 47 දෙනකු කොළඹ නාගරික කොට්‌ඨාස 47 කට පත්කරන බවද වෛද්‍ය විඡේමුණි මහතා පැවැසීය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.