සෞඛ්‍ය සේවාව ගඳගස්‌සවන
ටෙන්ඩර් හොරුන්ට ආණ්‌ඩුව බයද?

සෘජුව තීන්දු තීරණ ගන්නා අවංක, පිරිසිදු චරිතයක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පරිපාලන තනතුරකට අවශ්‍යව තිබේ....." මේ මෙතෙක්‌ කලක්‌ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට තිබූ අවශ්‍යතාවකි. ඖෂධ මාෆියාකරුවන්ගෙන්, දූෂිත නිලධාරීන්ගෙන් අහිංසක රෝගියා රැක ගැනීමට නම් මගඩිකම් නොකරන, දූෂණයට බර නොවූ නිලධාරියෙක්‌ සෞඛ්‍ය ඇමැතිවරයාගේ ද ප්‍රාර්ථනාව වූ බව නිසැකය. එහෙත් පසුගිය කාලයේ ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක්‌ වූවා දැයි යන්න ප්‍රශ්නයකි.

අද සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක්‌ පත්ව සිටී. ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වූ ප්‍රථම කාන්තාව ලෙසද වාර්තාගත වන්නීය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය.. හොරුන්, මාෆියාකරුවන් තක්‌කඩින්ගෙන් පිරී ඇති බව නව ලේකම්වරියට අලුත් පුවතක්‌ නොවේ. ඒ එය ප්‍රසිද්ධ රහසක්‌ නිසාය. ඒ බැව් දැන දැන අභියෝගාත්මක රාජකාරියක්‌ භාරගත් ස්‌වර්ණා කරුණාරත්න නව සෞඛ්‍ය ලේකම්වරිය කෙරෙහි රෝගීන් ඇතුළු සියල්ලෝ අපේක්‍ෂාවන් පිරි දෑස්‌ ඇතිව බලා සිටිති. එහෙත්... මාෆියාකරුවන් සමග සටන් කිරීමට ඇමැතිවරයාටත් ශක්‌තියක්‌ නොමැතිනම්, මිනීමරු ඖෂධ මාෆියාකරුවන්ගේ මරණීය තර්ජනයට ඇමැතිවරයාත් ලක්‌ව සිටී නම්, කාන්තාවක්‌ වූ නව ලේකම්වරිය පිළිබඳ කවර කතාදැයි.... ඇතැම්හු ප්‍රශ්න කරති.

කෙසේ වෙතත් මෙතෙක්‌ කලක්‌ විශ්වාසය හීන වී තිබූ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ නව බලාපොරොත්තු දැල්වීම ඇරැඹෙමින් පවතින කාලයක අපි වෙසෙන්නෙමු. එහෙත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් තක්‌කඩි නිලධාරීන් පිරිසකගේ පව්වලට අසරණ ජනතාවට තවදුරටත් වන්දි ගෙවීමට සිදුව තිබීම නම් අතිශය ෙ€දජනකය.

මතු අනාවරණය කරනුයේ සෞඛ්‍ය ක්‍ෂේaත්‍රයේ සිදුවූ තවත් මගඩියක තොරතුරුය.

මෙරට රෝහල්වල රසායනාගාර කටයුතු සඳහා ඊතයිල් ඇල්කොහොල් භාවිත කරනු ලබයි. ඒ අනුව 2012 ජුලි 31 වැනිදා රාජ්‍ය ඖෂධ සංස්‌ථාව විසින් ඊතයිල් ඇල්කොහොල් සඳහා ටෙන්ඩර් කැඳවීමක්‌ සිදු කර ඇත. මේ සඳහා ඖෂධ සැපයුම්කරුවන් රැසක්‌ ටෙන්ඩර් අයෑදුම්පත් ඉදිරිපත් කර තිබිණි.

ටෙන්ඩර් අයෑදුම්පත් විවෘත කර සලකා බැලීමේ වාරය එළැඹිණි. ඊතයිල් ඇල්කොහොල් ලීටර් 2.5 ක බෝතලයක්‌ අඩුම මිලට සපයන සමාගමක්‌ හඳුනා ගැනිණි. එහෙත් පසුව සොයා බලද්දී එකී සමාගමට ඊතයිල් ඇල්කොහොල් ගෙන්වීම සඳහා බලයක්‌ නොතිබූ හෙයින් එම ටෙන්ඩර් ඉල්ලුම්පත ප්‍රතික්‍ෂේප කෙරිණි.

සාමාන්‍යයෙන් එවන් අවස්‌ථාවකදී සිදු කරන්නේ ඊළඟට අඩුම මිල ගණන් යටතේ භාණ්‌ඩ සපයන පුද්ගලයා ඒ සඳහා සුදුස්‌සකු ලෙස තෝරා ගැනීමය. ඒ අනුව ඊතයිල් ඇල්කොහොල් ලීටරයක බෝතලයක්‌ රුපියල් 1800.00 ක මිලට සැපයීමට සමාගමක්‌ ඉදිරිපත්ව තිබිණි. එය පෙරදී ප්‍රතික්‍ෂේප කළ සමාගමේ මිල ගණන්වලට පසුව ඉදිරිපත්ව තිබූ අඩුම මිලය.

එහෙත් අදාළ නිලධාරීන් කළේ කුමක්‌ද. අත්තනෝමතික ලෙස මෙම ටෙන්ඩර් කැඳවීම අවලංගු කිරීමය. ඉන් පසු වසර දෙකකට ආසන්න කාලයක්‌ යනතුරු ඊතයිල් ඇල්කොහොල් සඳහා ටෙන්ඩර් කැඳවීමක්‌ සිදු නොකෙරිණි. ඒ අනුව රෝහල්වල ඊතයිල් ඇල්කොහොල් හිඟයක්‌ නිර්මාණය වීමට පටන් ගත්තේය.

අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම මේ බව සෞඛ්‍ය ඇමැතිවරයාට පැමිණිලි කළේය. ඇමැතිවරයා මේ පිළිබඳ රාජ්‍ය ඖෂධ සංස්‌ථාවෙන් විමසීමක්‌ කළේය. ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසටද උපදෙස්‌ ලබා දුන්නේය. එනපොට හොඳ නැති බැව් වටහා ගත් විෂය භාර නිලධාරින් යළිත් ටෙන්ඩර් කැඳවීමක්‌ කළේය. ඒ ෆැක්‌ස්‌ පණිවුඩය මගිනි. ඊතයිල් ඇල්කොහොල් සඳහා මිල ගණන් එවන ලෙසට තමන්ට හිතවත් සමාගම් වෙත මෙම ෆැක්‌ස්‌ පණිවිඩ යවා තිබිණි.

රුපියල් ලක්‍ෂ පනහකට වැඩි මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවීමක්‌ ෆැක්‌ස්‌ පණිවුඩයක්‌ මගින් සිදු කළ හැකිද...? සමාගම් රෙජිස්‌ට්‍රාර්වරයා යටතේ ලියාපදිංචි වූ සමාගම් පමණක්‌ මෙවැනි ටෙන්ඩර් කැඳවීම්වලදී ඉල්ලුම් කිරීමට අනිවාර්ය සුදුසුකමකි. එහෙත් ඊතයිල් ඇල්කොහොල් සඳහා දෙවැනිවරට ටෙන්ඩර් කැඳවූ ක්‍රමවේදය ද නීත්‍යානුකූල ලෙස ප්‍රශ්න සහගතය.

2013 වසර සඳහා ලබාගත යුතු ඊතයිල් ඇල්කොහොල් මෙතෙක්‌ වෛද්‍ය සැපයීම් අංශයට ලැබී නැත. රෝහල්වලට ඊතයිල් ඇල්කොහොල් සැපයීමට නොහැකිවීමෙන් මේ වනවිට වෛද්‍ය සැපයීම් අංශය ද අපහසුතාවකට පත්ව ඇත.

දෙවැනිවරට නීතිවිරෝධී ලෙස කැඳවූ ටෙන්ඩර් අයදුම්පත් මෙතෙක්‌ විවෘත කර නැත. මේ වනවිට ඊතයිල් ඇල්කොහොල් ලීටර 2.5 ක බෝතල 9000 ක අවශ්‍යතාවක්‌ රට පුරා රෝහල්වලට මතුව තිබේ.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන් කෘත්‍රිම ලෙස ඖෂධ හිඟයක්‌ මවා පාන්නේ මේ ආකාරයටය. ටෙන්ඩර් පටිපාටිය අනුව නියමිත ලෙස ඖෂධ උපකරණ ලබා ගැනීම පමාවීමෙන් මේ නිලධාරීන්ගේ මඩිය තරවේ. රෝගීන්ගේ මරුවා ළංවේ.

මෙසේ ඖෂධ හිඟ වෙද්දී සිදුවන්නේ දේශීය වෙළෙඳපොළෙන් එම ඖෂධ මිලට ගැනීමය. එවිට වැඩි මුදලක්‌ වැය කිරීමට සිදුවේ. මෙවන් ඖෂධ හිඟයක්‌ මවාපෑම මෙම දූෂිත නිලධාරීන් විසින් සිදු කරනුයේ වැඩි මිලට ඖෂධ අලෙවි කරන සමාගම්වල අවශ්‍යතාව මතය. ටෙන්ඩර් කැඳවීම පමා කිරීම, කැඳවූ ටෙන්ඩර් කිනම් හෝ දොaෂයක්‌ පෙන්වා අවලංගු කිරීම නිසා ගතවන කාලය තුළදී වෛද්‍ය සැපයීම් අංශය සතු ඖෂධ නිමාවට පත්වේ. එවිට ඖෂධ හිඟයක්‌ ඇතිවේ.

ටෙන්ඩර් මගඩිය නිසා දැන් ඊතයිල් ඇල්කොහොල් බෝතල් නවදහසක හිඟයක්‌ මෙරට රෝහල් පද්ධතිය තුළ නිර්මාණය වී ඇත. ඒ නිසා ටෙන්ඩර් කැඳවනතුරු බලා නොසිට වහා මේ හිඟය නැති කළ යුතුය. කළහැකි එකම දේ ටෙන්ඩර් මිලට වඩා වැඩි මිලට ඒවා මිලට ගැනිමය.

ටෙන්ඩර් පටිපාටිය ඔස්‌සේ මිලදී ගත්තා නම් එක බෝතලයකට වැය වන්නේ රුපියල් 1800 ක මිලකි. එවිට ඊතයිල් ඇල්කොහොල් ලීටර් 2.5 බෝතල් 9000 සඳහා වැය වන්නේ රුපියල් එක්‌කෝටි හැටලක්‍ෂයකට ආසන්න මුදලකි.

නමුත් මේ වනවිට මෙම බෝතල් නවදහස එකක්‌ රුපියල් 9985 ක මිලකට පෞද්ගලික සමාගමකින් මිලට ගැනීමට සූදානම් වෙමින් සිටී. ඒ සඳහා රුපියල් කෝටි නමයකට ආසන්න මුදලක්‌ වැය වනු ඇත. ඒ අනුව ටෙන්ඩර් මිලට වඩා රුපියල් කෝටි අටකට ආසන්න මුදලක්‌ වැඩිපුර ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවේ.

දැනටමත් රුපියල් 9985 බැගින් වූ ඊතයිල් ඇල්කොහොල් ලීටර් 2.5 බෝතල් 503 ක්‌ මිලට ගෙන ඇතැයිද අනාවරණය වේ. ඒ සඳහා රුපියල් ලක්‍ෂ පනහක්‌ අදාළ සමාගමට ගෙවා තිබේ. එහෙත් රුපියල් 1800 ක මිලට එම බෝතල් 503 මිලට ගත්තා නම් ගෙවීමට සිදුවන්නේ රුපියල් නව ලක්‍ෂයකි. රුපියල් හතළිස්‌ ලක්‍ෂයට වඩා වැඩිමුදලක්‌ මේ අනුව දැනටමත් වැඩිපුර ගෙවා තිබේ.

මෙවන් මහා පරිමාණ වංචා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිරන්තරයෙන්ම සිදුවන්නකි. සෞඛ්‍ය ලොක්‌කෝ මේ පිළිබඳ මුනිවත රකිනුයේ එක්‌කෝ ඖෂධ මාෆියාකරුවන්ට සහ දූෂිත නිලධාරීන්ට බියේය. නැතිනම් මේ වංචා ඔස්‌සේ ලැබෙන මුදලින් කුට්‌ටියක්‌ මේ ලොකු ලොක්‌කන්ගේ බැංකු ගිණුම්වලටද බැර වන නිසාවෙනි.

මේ දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමේ භාරදූර වගකීම සහ අභියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වෙත පැවරී ඇත. ඉහත ඊතයිල් ඇල්කොහොල් මගඩිය ගැන ද ලේකම්වරිය වෙත මේ වනවිටත් විවිධ පාර්ශ්වයන් විසින් පැමිණිලි කර ඇති බවට සැකයක්‌ නැත. මේ මගඩිය පිටුපස සිටින නිලධාරීන් අතර.... පෙරමුණ ගෙන සිටින්නේ කාන්තාවක්‌ බවද නව ලේකම්වරියට පැමිණිලි ලැබී ඇතැයි සිතමු.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරින්ගේ වංචා දූෂණ පිළිබඳ තවත් තොරතුරු රැසක්‌ අප සතුය. ඒවා සෞඛ්‍ය ලොක්‌කන්ද නොදන්නා තොරතුරු නොවේ. එහෙත් මේ දූෂිත තක්‌කඩියන් තවමත් එම තනතුරුවල වැජඹෙමින්.. කිසිදු බාධාවකින් තොරව සිය කාර්යය යහතින් කරගෙන යති. ලොකු ලොක්‌කන්ගේ ආශිර්වාදයද මැද තවදුරටත් මේ දූෂිතයන්ට අහිංසක ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන මුදල් ගිල දැමීමට ඉඩ දෙනවාද තීරණය නව සෞඛ්‍ය ලේකම්වරියට භාරය.

අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.