ඇත්තම ඩෙංගු මර්දනය කරන්න බැරි ඇයි

ළමුන්, තරුණයන් හා වැඩිහිටියන් 11,000 කට අධික සංඛ්‍යාවක්‌ මෙම වසර තුළදී රෝගාතුර කළ ඩෙංගු උණ තවමත් දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ මෙම වසරේද වාර්තාවී ඇත්තේ හා වාර්තා වෙමින් පවතිනුයේ බස්‌නාහිර පළාතෙනි. මෙම තත්ත්වය හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතු සඳහා එම පළාත තුළ පවතින රජයේ පාසල් 148 ක්‌ තාවකාලිකව වසා දැමීමටද පළාත් සභා බලධාරීහු පියවර ගත්හ.

ඩෙංගු උණ, නගර - ගම් භේදයකින් තොරව පැතිර යද්දී සුපුරුදු පරිදි බලධාරීන් එහි වගකීම එකිනෙකා මත පටවමින් ප්‍රකාශ නිකුත් කිරීමත් මහජනයා තම නිවාස ගෙවතු ශුද්ධ පවිත්‍ර කර නොගනිමින් ඩෙංගු මදුරුවන්ට බෝවීමට සුදුසු පරිසරයක්‌ නිර්මාණය කරමින් සිටීමත් මෙම දිනවල දක්‌නට ලැබෙන සුලබ දසුනක්‌ව ඇත.

මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ ඩෙංගු උවදුර මර්දනය කිරීම අසාර්ථක වීමත් ඩෙංගු මදුරුවා මිනිස්‌ ලේ උරා බොමින් තවදුරටත් රජ කිරීමත් පමණි. ප්‍රජාව, පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මර්දනය කළ යුතු ඩෙංගු වසංගතයේ වර්තමාන තත්ත්වය එයයි.

මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයක්‌ම පාහේ ආවරණය වන පරිදි ඩෙංගු වසංගතය පැතිර යමින් තිබේ. ඩෙංගු මදුරු කීටයින් බෝවී සිටින ආකාරය පිළිබඳව කීට විද්‍යා සහකාර නිලධාරීන් විසින් සවිස්‌තරාත්මක සමීක්‍ෂණ වාර්තා සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දුන්නද ඒ අනුව යමින් ඩෙංගු මර්දනය කිරීමක්‌ නම් දක්‌නට නොලැබේ.

ධුමායනය (දුම් ගැසීම), බීටීඅයි බැක්‌ටීරියාව ඉසීම, වැනි ඩෙංගු මදුරුවන් සම්පූර්ණයෙන් මර්දනය කළ නොහැකි අසාර්ථක මදුරු මර්දන ක්‍රමයන් ක්‍රියාත්මක කරමින් තම මඩිය තර කර ගන්නා නිලධාරීන් හේතුවෙන් මේ වන විට ඩෙංගු වසංගතය සිඟන්නාගේ තුවාලයක්‌ බවට පත්ව තිබීම ෙ€දජනකය.

මේ වන විට ඩෙංගු මර්දනය වෙනුවෙන්ම බිහි වූ ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයකුත් ජනාධිපති කාර්ය සාධන බලකායකුත් ක්‍රියාත්මකව පවතී. එහෙත් මෙම ආයතන ඩෙංගු මරණ වාර්තා වන අවස්‌ථාවලදී හා ඩෙංගු වසංගතයක්‌ පවතින විටකදී පමණක්‌ කරලියට පැමිණ වසංගත තත්ත්වය අඩු වූ විටදී නැවතත් අක්‍රීය බවට පත්වනු දක්‌නට ලැබේ. ජනතාවගේ යහපත උදෙසා වසර පුරාම ක්‍රියාත්මක වන අඛණ්‌ඩ ඩෙංගුමර්දන වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට තිබෙන එම ආයතන මේ අයුරින් ක්‍රියා කිරීම කනගාටුවට කරුණකි.

සැබැවින්ම ඩෙංගු රෝගය මිනිසා විසින් ඇතිකරගත් රෝගී තත්ත්වයකි. "ඊඩ්ස්‌ ඊජිප්ටයි" හා "ඊඩ්ස්‌ ඇල්බොපික්‌ටස්‌" යන ඩෙංගු මදුරුවන් බෝවනුයේ මිනිසුන් විසින් ඉවත ලන පොල්, තැඹිලි කෝම්බා, හිස්‌ ටින්, ප්ලාස්‌ටික්‌ කෝප්ප පොලිතින් වැනි මාධ්‍යයන්හී එකතුවන පිරිසිදු වැසි ජලයේය. එවැනි මාධ්‍යයන් තැනින් තැන පරිසරයට නිරාවරණය වන අයුරින් නොදමා ඒවා විනාශ කිරීමට පියවර ගන්නේ නම් මෙවැනි ඩෙංගු වසංගතයක්‌ පිළිබඳව අපට කතා කිරීමටවත් අවස්‌ථාවක්‌ නොලැබෙනු ඇත.

එහෙත් ස්‌වභාවයෙන්ම මිනිසා තුළ පවතින අලසකාරී ස්‌වභාවය මත තවමත් අප විසින් ඉහත කී ඩෙංගු මදුරුවන් බෝවීමට මඟ පාදන මාධ්‍යයන් නිවෙස්‌ හා ගෙවතුවලත් මහා මාර්ග දෙපසත් යොදමින් ඩෙංගු මදුරුවන්ට බෝවීමට සුදුසු වාතාවරණයක්‌ නිර්මාණය කිරීමට කටයුතු කරනු ලැබේ. අවසානයේ මෙහි ඇති භයානකකම පසක්‌ වනුයේ තම නිවසේ සාමාජිකයෙකුට ඩෙංගු රෝගය වැළඳී රෝහල්ගත කළ විටකදී හෝ රෝගයට ගොදුරුව මියගිය විටදීය.

එහෙත් ඒ වන විට සියල්ල සිදුවී අවසානය. එවැනි තත්ත්වයක්‌ නිර්මාණය වීමට ප්‍රජාව පමණක්‌ නොව පළාත් පාලන ආයතනද සෘජුව හෝ වක්‍රව දායකත්වය සපයයි. බොහෝ පළාත් පාලන ආයතන ඩෙංගු වසංගතයක්‌ තම බල ප්‍රදේශය තුළට පැමිණ තිබියදීත් එම වසංගතය මර්දනය කිරීම සඳහා නිසි පියවර නොගන්නා බවට චෝදනා පවතී.

ජනතාව විසින් බදු ගෙවනු ලබද්දීත් කාණු ශුද්ධ පවිත්‍ර නොකිරීම හා කැළි කසළ නිසි පරිදි ඉවත් නොකරනු ලබන පළාත් පාලන ආයතන ඩෙංගු මර්දනයේදීත් උදාසීන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බවට මහජනතාව විසින් මැසිවිලි නඟනු දක්‌නට ලැබේ. එහෙත් කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නම් මෙයට වඩා හාත්පසින්ම වෙනස්‌ අයුරින් ක්‍රියාත්මක වනු දක්‌නට ලැබේ. කලක්‌ ගෙන් ගෙට ගොස්‌ ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පවතින්නේදැයි සොයා බලමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන නොපවතින නිවාස ඇගයීම සඳහා හරිත තරු නිවාස ව්‍යාපෘතිය නමින් වූ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලද්දේද එම දෙපාර්තමේන්තුවයි. තවද කොළඹ නගරය තුළ පවතින නිවාස හා ආයතන වටලා ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පවත්වාගෙන යන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමද කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කලක සිටම කරගෙන යනු ලබන වැඩපිළිවෙළකි.

හිටපු කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩපිළිවෙළට නව අංගයන් එක්‌ කිරීමට වත්මන් කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විඡේමුණි මහතා කටයුතු යොදා තිබේ. ඒ අතර කොළඹ නගරයේ නාගරික කොට්‌ඨාස 47 කට ඩෙංගු පාලන නිලධාරීන් නමින් තම බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දන කටයුතු මෙහෙයවීම සඳහා බලයලත් විශේෂිත නිලධාරීන් 47 දෙනකු පත් කිරීමයි. මෙම නිලධාරීන් හට ධූමායන යන්ත්‍රයක්‌ ඇතුළු ඩෙංගු මර්දන කටයුතු සඳහා අවශ්‍ය සියලු උපකරණ ලබාදීමටද සැලසුම් කර ඇති අතර ලබන සතියේ සිට මෙම නිලධාරීන් පත් කිරීම සිදුකරන බව වෛද්‍ය විඡේමුණි කියයි. කොළඹ නගරයේ ජීවත් වන වැසියන්ට තම බල ප්‍රදේශය තුළ ඩෙංගු පැතිර යාමත්, ඩෙංගු රෝගියෙකු සිටින බව හෝ ඩෙංගු බෝවන ස්‌ථාන පවතින බව මෙම පාලන නිලධාරියාට දැනුම් දුන් විගස එම නිලධාරීයා කොට්‌ඨාසයේ දේශපාලන නායකයින්ගේද සහාය ඇතිව ඩෙංගු මර්දන කටයුතු සිදුකරනු ලබන බව වෛද්‍ය විඡේමුණි සඳහන් කර සිටී.

දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වන කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම නව වැඩසටහන ජාතික මට්‌ටමින් අනෙක්‌ ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය නිලධාරීහු පියවර ගත යුතුය. කලක්‌ කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නගරය තුළ බීටීඅයි බැක්‌ටීරියාව ඩෙංගු මර්දනය සඳහා යොදා ගන්නා බව හෙළි වීමෙන් පසු බීටීඅයි බැක්‌ටීරියාව රුපියල් මිලියන ගණනක්‌ වැය කරමින් විශාල වශයෙන් මෙරටට ගෙන්වා ගත් ආකාරය දක්‌නට ලැබිණි.

එහෙත් එසේ ගෙන්වූ බීටීඅයි බැක්‌ටීරියාව ඩෙංගු මර්දනය සඳහා යොදාගන්නවාට වඩා සිදුවූයේ කල් ඉකුත් වන තෙක්‌ ගබඩාවල ගබඩා කර තැබීම බව නොරහසකි. අවසානයේදී එම බීටීඅයි බැක්‌ටීරියාව මෙරටට ගෙන්වීමේදී සිදුකළ ටෙන්ඩර් කැඳවීම්වලින් සෞඛ්‍ය බලධාරීහු බොහොමයක්‌ කොමිස්‌ මුදල් උපයා ගත්තද එයින් මුදල් නාස්‌තියක්‌ මිස ජනතාවට හෝ රටට වූ යහපතක්‌ නැති බව පෙනී යයි.

බීටීඅයි බැක්‌ටීරියාව මගින් පමණක්‌ ඩෙංගු මදුරුවන් මර්දනය කළ නොහැකි බව දැන දැනත් මුලින් එම බැක්‌ටීරියා දියරය ගෙන්වූ බලධාරීහු පසුගිය වසරේදී බීටීඅයි බැක්‌ටීරියා ස්‌ඵටික ගෙන්වීමටද මුදල් වැය කර තිබිණි. එහෙත් මේ වන විටද එම බැක්‌ටීරියා ස්‌ඵටික ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා යොදා ගන්නා බවට වාර්තා වී නොමැත.

ඩෙංගු මර්දන කටයුතු සඳහා යෑයි පවසමින් ධූමායන යන්ත්‍ර මෙරටට ගෙන්වීමේ ටෙන්ඩරයකින් විශාල වශයෙන් කොමිස්‌ මුදල් ඉපයූ නිලධාරීන් ගැනද පසුගිය කාලයේ වාර්තා විය. මේ අයුරින් ඩෙංගු මර්දනය ගැන කතා කරමින් එවැනි මර්දනයක්‌ සිදු නොකර තම මඩිය පමණක්‌ තර කර ගන්නා නිලධාරීන් සමග ඩෙංගු මර්දනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම බෙහෙවින් අසීරු වී තිබේ. ඒ තරමටම ඩෙංගු රෝගයෙන්ද මුදල් ආකර මවන සෞඛ්‍ය බලධාරීහු සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ සිටීමෙන් පෙනී යනුයේ ජනතාව ඩෙංගු රෝගයට ලක්‌ව මිය ගියද ඩෙංගු මර්දනය මුවාවෙන් ධන ආකරයන් මැවීමට තරම් සමත් නිලධාරීන් මෙම ක්‍ෂේත්‍රය තුළ සිටින බවයි.

ඒමන්ති මාරඹේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.