වෛද්‍යවරුන් යනු දෙවිවරුන් හා සමානයෝය. අප සැමට ඔවුන් අත්‍යවශ්‍යය. එහෙත් මේ දෙවිවරුන්ගෙන් කොටසක්‌ පෙරේතයන් වූ විට කුමක්‌ කළ යුතුද? ඔවුන් ඉන් මුදාගැනීම සැමගේ වගකීමය.

පසුගිය කාලය තුළ රජයේ වෛද්‍යවරුන්ගේ ක්‍රියා පිළිවෙළ ගැන බලන්න. අපි කුඩා කල "දත් හෙදියන්" නමින් සේවක කණ්‌ඩායමක්‌ විය. ඔවුන් අප ළඟටම පැමිණ අපගේ දත් ගැන සොයා බැලීය. අද එම සේවය නැත. එදා නොමිලයේ ලැබුණු එම සේවාව ලබාගැනීම සඳහා අද දත් දොස්‌තර මහතාට රුපියල් දහසක්‌ පමණ ගෙවීමට සිදුවේ. දත් හෙදි සේවය අහෝසිවීම රජයේ වෛද්‍යවරුන්ගේ හපන්කමකි.

මෑතක්‌ වනතුරුම "ලියාපදිංචි සහකාර වෛද්‍ය" නම් වෛද්‍යවරු පිරිසක්‌ වූහ. ඉතා කලාතුරකින් රෝහලක දැනටද සිටිය හැකිය. උපාධි වෛද්‍යවරයාට වඩා ගැමියන්ගේ ඇසුර ලබන සහකාර වෛද්‍යවරයා ගැමියන්ගේ ඇවතුම්-පැවතුම් හා චර්යා රටා ගැන හොඳින් දනී. එනිසා උණ හෙම්බිරිස්‌සාව, බඩේ අමාරු වැනි සුළු අසනීපවලට බෙහෙත් ගැනීමට උපාධි වෛද්‍යවරයාට වඩා සහකාර වෛද්‍යවරයා ඉතාම සුදුසු විය. එහෙත් එම වෛද්‍ය කණ්‌ඩායම රෝහලින් ඉවත් කිරීමට රජයේ වෛද්‍යවරු ක්‍රියා කළහ. ඉන් ගැමියාට සිදු වූ පාඩුව විශාලය. අනෙක්‌ අතට පුද්ගලික වෙදකමේදී, උපාධි වෛද්‍යවරයාගේ ගාස්‌තුව ලියාපදිංචි වෛද්‍යවරයා මෙන් දෙගුණයකට වඩා වැඩිය.

පවුල් සෞඛ්‍ය සේවිකාවක්‌ පුහුණු කිරීමට වැයවන්නේ හෙදියක්‌ පුහුණු කිරීමට වැයවන මුදලින් 1/3 ක්‌ බව රජයේ වෛද්‍යවරු කියා සිටිති. එහෙත් 'දත් හෙදියක්‌' පුහුණු කිරීමට වැයවන්නේ දත් දොස්‌තර කෙනෙක්‌ ඇතිකිරීමට වැයවන මුදලින් කීයෙන් පංගුවද යන්න ගැන හෝ ලියාපදිංචි/ සහකාර වෛද්‍යවරයකු පුහුණු කිරීමට වැයවන්නේ උපාධි දොස්‌තර මහතකු නිපදවීම සඳහා වැයවන මුදලින් කීයෙන් පංගුවද යන්න ගැන කතා නොකරයි.

අලුත්ම කතාව හෙද සේවය අහෝසි කිරීමයි. ශල්‍යාගාරවල සහ රෝහල් තුළ ඇති යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම සඳහා හෙදියන් හැර වෙනත් සේවක පිරිසක්‌ බඳවා ගත යුතු බව වෛද්‍ය නිලධාරීන් කියා සිටී. ඊළඟ පියවර වනු ඇත්තේ දැනට වාට්‌ටුවක සිටින වෛද්‍යවරු සංඛ්‍යාව තුන් හතර ගුණයකින් ඉහළ දමා ගැනීමය. එවිට හෙදියන් අවශ්‍ය නැත. එම රාජකාරිය ද වෛද්‍යවරුන් විසින්ම කළ හැකිය.

දැනට රජයේ රෝහල්වල සිදුකරන එක්‌ස්‌රේ, ලේ පරීක්‍ෂාවන් වැනි පරීක්‍ෂණ කටයුතු ද පෞද්ගලික අංශයට පැවරීම ඊළඟ පියවර වනු ඇත. එයට වෛද්‍යවරු ඉතා කැමැතිවනු ඇත. එසේ වූ විට සම සෞඛ්‍ය සේවාවන් හෝ සම සෞඛ්‍ය පාඨමාලා හෝ අවශ්‍ය නොවනු ඇත. දැනට අක්‍ෂිකාච බද්ධ කිරීමේ දී කාචය මිලට ගැනීමට සිදුවන්නේ වෛද්‍යවරයා නිර්දේශකරන වෙළෙඳ සලෙනි. මෙයට හේතුව ඕනෑම නූගත් ගැමියෙක්‌ පවා හොඳින් දනී.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් කල්පනා කරනු ඇත්තේ වෛද්‍ය සංගම් තමන්ට පක්‍ෂපාත බැවින් හෙදියන් එලවා දමා තමන් ආරක්‍ෂා කරගනු ඇති බවයි. දැනට කතා බහේ ඇති "පවුලේ වෛද්‍යවරයා" ගැන කල්පනා කර බලන විට, නුදුරු අනාගතයේදී ග්‍රාම සේවක කොට්‌ඨාසයකට එක බැගින් රජයේ වෛද්‍ය කාර්යාල බිහිවී පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ක්‍ෂේත්‍ර කටයුතු එම කාර්යාල වෙත පවරාගෙන පවුල් සෞඛ්‍ය සේවය අහෝසි කළත් පුදුම විය යුතු නැත.

සැබැවින්ම රජයේ වෛද්‍යවරු මේ හැසිරීම ගැන ලැ-ජා විය යුතුය. අප, අපගේ සෞඛ්‍ය පිළිබඳ බලය පවරා ඇත්තේ ඡන්දයෙන් පත් වූ රජයට විනා වෛද්‍යවරුන් වෙත නොවේ. සම සෞඛ්‍ය පාඨමාලා කාලය අවු. 4 බව තීරණය කළේ ශිෂ්‍යයන් නොව ඉතා උගත් වෛද්‍යවරුම විය. එහෙත් රජයේ වෛද්‍යවරුන්ගේ තර්ජනය නිසා එය අවු. 3 කළ බව ඇමැතිවරුම කියා සිටී. අපගේ රජයටද විලි ලැ-ජාවක්‌ නැති බව පෙනේ.

මෙම වෛද්‍ය ත්‍රස්‌තවාදයට මුහුණ දිය හැක්‌කේ කෙසේද? "දැන් හෙදි සේවාව" අහෝසිකරන විට, ලියාපදිංචි/ සහකාර වෛද්‍යවරු ඇස්‌-කන් පියාගෙන සිටින ලදී. "ලියාපදිංචි/ සහකාර වෛද්‍ය සේවය" අවසන් කරන විට හෙදියන් ඇස්‌ කන් පියාගෙන සිටින ලදී. දැන් පැමිණ ඇත්තේ ඔවුන්ගේ වාරයයි.

රජයේ සෞඛ්‍ය සේවයේ සිටින වෛද්‍යවරු" හැර අනෙක්‌ සියලු සේවාවන් එකමුතු විය යුතුය. තම තමන් අතර ඇති ප්‍රශ්න තමන් අතර සාකච්ඡා කර විස¹ගත යුතුය. සියලුම සේවක කොට්‌ඨාස එකමුතු කළ නොහැකිවූවත් හැකිතරමක්‌ එකමුතුකර එක්‌ සංවිධානයකට එක්‌කළ යුතුය. ඖෂධවේදීන්ට උසස්‌වීම් නොදීම ඔවුන්ගේ පමණක්‌ ප්‍රශ්නයක්‌ නොකර සියලුම සේවක කොට්‌ඨාස ඒ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. ඒ අන්දමට කම්කරුවාගේ සිට හෙදිය දක්‌වා සියලු සේවක කොට්‌ඨාස එක්‌ව විරෝධය දක්‌වතොත් වෛද්‍ය ත්‍රස්‌තවාදයෙන් ගැලවිය හැකිය.

එසේ නොවුවහොත් තව ටික කලකදී වෛද්‍යවරු සහ කම්කරුවන් පමණක්‌ සිටින රෝහල් දැක ගැනීමට අපට හැකිවනු ඇත.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද හන්දිවල උපවාස කිරීමට අමතරව මෙම වෛද්‍ය ත්‍රස්‌තවාදය ගැන ජනතාව දැනුවත් කළ යුතුය. මේ සඳහා ගෙන්-ගෙට ගොස්‌ කරුණු කියා සිටියද වඩාත් සුදුසුය. වෛද්‍යවරු අත්‍යවශ්‍යය. එහෙත් ඔවුන් පිළිබඳව වූ ගෞරවය සමාජයෙන් වේගයෙන් ඉවත්වෙමින් පවතී.

විමලදාස වතුදුර

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.