වකුගඩු රෝගයට විසඳුම් සෙවීමේ
වැදගත්කම ජනපති පෙන්වා දෙයි


වකුගඩු රෝගයට විසඳුම් සෙවීමට දේශීය වෛද්‍ය විද්‍යාව සහ බටහිර වෛද්‍ය විද්‍යාව එක්‌ව කටයුතු කිරීම වැදගත් යෑයි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.

ජාතික අවශ්‍යතාවයක්‌ සේ සලකා එහිදී සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම අමාත්‍යාංශයකම සහායද ඒ සඳහා හිමි විය යුතු බව කියා සිටියේය.

උතුරුමැද පළාත පමණක්‌ නොව උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු පළාත් එක සේ සලකා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය පසුගියදා (6 දා) අරලියගහ මන්දිරයේදී රැස්‌වූ අවස්‌ථාවේදීය.

උතුරුමැද පළාතේ පැතිර යන හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීම සඳහා වූ ක්‍රියා මාර්ග, සැලැස්‌ම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව විසින් නිර්දේශිත 2014 සඳහා වූ යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරිණි.

හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය අනුරාධපුර ප්‍රදේශයට අමතරව කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලද ව්‍යාප්ත වෙමින් පවතින බව මෙහිදී අනාවරණය කෙරිණි.

සෑම වසර හතරකට වරක්‌ මෙම රෝගීන් ප්‍රමාණය දෙගුණයක්‌ වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දුන්නේය. වයස්‌ භේදයකින් තොරව කුඩා ළමුන් අතරද මෙම රෝගය ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

කෘෂි රසායනික භාවිතය වකුගඩු රෝගයට ප්‍රබල හේතුවක්‌ව පවතින බැවින් එය ක්‍රමවත්ව අඩු කිරීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කළුහීනටි, මඩතවාලු, පච්චපෙරුමාල් වැනි දේශීය සහල් වර්ග වකුගඩු රෝගයට ඖෂධයක්‌ වන බැවින් ඉදිරියේදී උතුරුමැද පළාත තුළ එම සහල් වර්ග ප්‍රචලිත කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව 2014 මහ කන්නයේදී උතුරුමැද පළාතේ අක්‌කර 50,000 ක පමණ මෙම දේශීය වී වගාවන් සිදු කිරීමට නියමිත අතර ඒ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්‌ විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.