බෞද්ධ ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය අම්බස්‌තලය

පුන්‍යා චාන්දනී ද සිල්වා

තුන්වැනි ධර්ම සංගායනාව පැවැත්වීමෙහි ලා ප්‍රධානත්වය ලබා දුන් මොග්ගලීපුත්ත තිස්‌ස තෙරුන්වහන්සේ සහ ධර්මාශෝක රජතුමා විදේශයන්හි බුදුදහම ප්‍රචාරය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවට මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ ඉට්‌ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්‌ඩුක උපාසක පිටත් කොට එවන ලදී. අම්බස්‌තල කඳු මුදුනින් එදා ආරම්භ වුණ සිංහල ශිෂ්ටාචාරයේ ගමන්මග නිසාම අම්බස්‌තලය බෞද්ධ ශිෂ්ටාචාරය මුල් කර ගෙන වැදගත් ස්‌ථානයක්‌ බවට පත්ව ඇත.

සොලොස්‌මස්‌ථාන අතරින් එකක්‌ සේ සැලකෙන මිහින්තලය "අම්බස්‌තලය" හෙවත් අඹතලය යන නමින් හඳුන්වනු ලැබේ. අඹ වනාන්තරයකින් සුසැදි නිසාම මේ හඳුන්වන ලද මිහින්තලය පසුකාලයේදී මිස්‌සක පර්වතය, ෙච්තියගිරි හෙවත් සෑගිරි යනුවෙන් හඳුන්වා ඇත. මහාවංශය සඳහන් අන්දමට දේවානම්පියතිස්‌ස රජතුමා විසින් (ක්‍රි . පු 250 - 210) ෙච්තියගිරියෙහි බෝධියක්‌ රෝපණය කරවා ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණය කරන ලදී. ලඡ්ජතිස්‌ස රජතුමා ( ක්‍රි. පු 119 - 109 ) සෑගිරි වෙහෙර වටා සෙල් පවුරක්‌ ඉදි කරන ලදී. කූටකන්න තිස්‌ස රජතුමා විසින් (ක්‍රි . පු( 44 - 22) පොහෝ ගෙයක්‌ තනවා ඒ ඉදිරියෙන් සෙල් දාගැබක්‌ සහ බෝධිsයක්‌ රෝපණය කරන ලදී. භාතිකාභය රජතුමා විසින් (ක්‍රි.පූ 22 - 07) සෑගිරියේ භික්‌ෂුන්වහන්සේලා දහසකට නිතිපතා දන් පිරිනමන ලදී. මහානාග රජතුමා විසින් (ක්‍රි . පූ 07 - 19 ) අම්බස්‌තලයෙහි මහසෑයක්‌ ඉදි කොට එයට වාහල්කඩ සතරක්‌ වටකොට වීථියක්‌ කරවා ගිරිභණ්‌ඩ පුජාව පවත්වන ලදී. කනිරජානු හෙවත් කිණිහිරි දළ (ක්‍රි. ව 263 - 273) සෑගිරියෙහි පොහෝ ගෙයි රාජද්‍රොහී භික්‌ෂුන් වහන්සේලා වෙනුවෙන් දඬුවම් පනවා ඇත.1 වෙනි ජෙට්‌ඨතිස්‌ස (ක්‍රි. ව 263-273) රජතුමා මිහින්තලාවෙහි භික්‌ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් කාළමන්තික වැව ඉදිකරන ලදී. (මහාවංශය, 35 පරි, 36,49,51 ගාථා)

දෙවැනි දප්පුල (ක්‍රි.ව 815-831) රජතුමාගේ සේනා නම් සෑගිරියෙහි කටුසෑයද, ජයසේන ගිරි විහාරයද කරවා ගම්වරයක්‌ සහිතව පුජා කළ අතර දෙවැනි සේන රජතුමා (ක්‍රි.ව. 853-887) ෙච්තියගිරියෙහි ගිලන්හලක්‌ විවෘත කළ බවත් මහාවංශය සඳහන් කරයි.

මිහින්තලාවට යන පැරණි ගමන් මාර්ගය මිහින්තලා භූමියේම කොටසකි. මෙම පියගැට පෙළෙහි සමහර පියගැට කැපු ගලෙන් සහ සමහරක්‌ පිහිටි ගලෙන් නිර්මාණය වී ඇත. කන්ද පාමුල සිට සන්නිපාතශාලාව පිහිටා තිබෙන මැදමළුවට පියගැට 1480 කි. දෙවැනි අදියර එතැන් සිට අම්බස්‌තල දාගැබ දක්‌වාය. තුන්වන අවස්‌ථාව එතැනින් මහසෑයටයි. පියගැට පෙළ නැග ළගා වෙන්නේ කණ්‌ඨක චෛත්‍යටයි.

කණ්‌ඨක ෙච්තිය

ක්‍රි.ව 1934 වසරේ මෙම ස්‌ථානයේ ථුපයක්‌ ඉදි කිරීමට පෙරාතුව මෙම ස්‌ථානය කඳු ගැටයේම කොටසක්‌ ලෙස පිහිටා තිබුනි.මෙම ථුපය "කිරිබඩපවු දාගැබ" ලෙසින්ද ව්‍යවහාරයේ පැවැති බවට අදහසක්‌ ඇත.මේ අසල පිහිටි ලෙන් ලිපියක සඳහන් අන්දමට මෙම ථුපය කණ්‌ඨක ථුපය ලෙසින්ම භාවිතා වී ඇත. චෛත්‍යයේ සතර දිසාවට මුහුණ ලා වාහල්කඩ සතරකි. මේවා ගඩොලින් නිර්මාණය වී ඇති අතර මුහුණත හුනුගල් අල්ලා ඇත. මෙයින් වඩාත් අලංකෘතව ඇත්තේ දකුණු සහ නැගෙනහිර වාහල්කඩයි.

වාහල්කඩ දෙපස වූ කැටයම් කරන ලද ගල් කුණු දෙක බැගින් ඇත. මේවා ගල්කමින් මෙන්ම මානව, සත්ව රූපවලින් නිර්මිතව. නැගෙනහිර වාහල්කඩ ගල් කණු මත ඇත් රූපද, උතුරේ සිංහ රූප, දකුණේ ගොන් රූප ඇත. මේවා සතර දිශාව නිරූපණයට යොදා ගෙන ඇත. කණ්‌ඨක චෛත්‍ය අසල නැගෙනහිර කඳු බෑවුමේ ඇති ලෙන් භික්‌ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉදි කරන ලද මුල්ම ආරාමයි.

අටසැට ලෙන්

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන භික්‌ෂුන් වහන්සේලාගේ පරිහරණය උදෙසා දේවානම්පියතිස්‌ස රජතුමා විසින් ලෙන් හැට අටක්‌ ඉදි කරන ලදී. මෙම ලෙන් පිහිටා තිබෙන්නේ කණ්‌ඨක චෛත්‍යය පිහිටි භුමි භාගයේය. මෙහි සඳහන් ලෙන් ලිපියක සඳහන් අන්දමට දේවානම්පියතිස්‌ස රජතුමා විසින්ද , ඔහුගේ භාර්යාව සහ සොහොයුරු උත්තිය රජ විසින්ද රජ පවුලේ සාමාජිකයන් හා සැදැහැවතුන් විසින් මෙම ලෙන් සතර දිගින් පැමිණෙන නොපැමිණෙන භික්‌ෂුන් වහන්සේලා වෙනුවෙන් පුජා කොට ඇත.

සිංහ පොකුණ

විසිතුරු කැටයමින් නිර්මිත මෙම පොකුණේ සිංහ මුඛයෙන් ජලය පිටවෙන දිය පිහිල්ලකි.කණ්‌ඨක චෛත්‍ය හා සන්නිපාත ශාලාව අසල වැඩ විසු භික්‌ෂුන් වහන්සේලාගේ පැන් පහසුව සහ ස්‌නානය වෙනුවෙන් මෙම පොකුණ ඉදි වී ඇත. මෙහි සිංහයා පසු පාද දෙකෙන් සිට ගෙන සිටින අතර ජලය නිකුත් වෙන්නේ සිංහයාගේ මුඛයෙන්ය. මේ වෙනුවෙන් ජලය ලබා ගෙන ඇත්තේ මෙම පෙදෙසට ඉහලින් පිහිටි නාග පොකුණෙන්ය. මැටියෙන් යොදා ගත් නළ යොදා ගෙන ඇත. පිහිටි ගලෙන් භාගයක්‌ කොටා ඉතිරි කොටස ගලෙන් බැඳ හතරැස්‌ පොකුණක්‌ ලෙස නිර්මාණය කර ඇති අතර පොකුණ වටා සිංහ, ඇතා, නළුවා වීණා වාදකයා ආදි රූප නෙළා ඇත. දැනට අතිශයින් විනාශයට පත් සිංහ පොකුණේ දැක ගන්නට ඇත්තේ නටබුන් පමණි.

නාග පොකුණ

පෙණ පහක නාග රූපයෙන් අලංකාර වී ඇති මෙම පොකුණෙන් ඉහළ සිට ගලා ගෙන එන ජලය එක්‌රැස්‌ කරනු ලැබේ. චුලවංශයේ සඳහන් අන්දමට මෙම පොකුණ පළමුවැනි අග්ගබෝධි (ක්‍රි. ව 571 - 604) රජතුමා විසින් සෑගිරියෙහි කරවන ලදී. මිහිඳුහිමියන් මෙම පොකුණෙන් ස්‌නානය කළ බවත් සඳහන්ය.මිහිඳු සෑයට නැගෙණහිර දිසාවෙන් පිහිටි මෙම පොකුණෙහි දිය නියං කාලයේදිවත් නොසිඳෙන බව කියෑවේ.

ඉදිකටු සෑය

ශ්‍රි ලංකාවේ දක්‌නට ලැබෙන දුර්ලභ ගනයේ ස්‌ථුපයකි. මෙහි දාගැබ් දෙකක්‌ද ,ගල් පොකුණක්‌ සහ ආරාමයක නටබුන්ද වේ. දාගැබ් දෙකෙන් විශාල වූ ඉදිකටු සෑය හතරැස්‌ ගල් වේදිකාවක්‌ මත ඉදි කොට ඇත. මෙහි පැත්තක දිග අඩි 40 ක්‌ පමණ වේ.වේදිකාව පොළව මත සිට අඩි 5. 6 ක්‌ උසට බැඳ ඇත. මෙයට නැගීමට පියගැට පෙළක්‌ ඇති අතර එය දෙපස කොරවක්‌ ගලක්‌ සහ සඳකඩ පහණකි. වේදිකාව ගල් අතුරා සකස්‌ කොට ඇත.

දාන ශාලාව

මිහින්තලාවේ භික්‌ෂුන් වහන්සේලාගේ සංවිධාන හා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සිදු වූයේ මෙම ස්‌ථානයේය.ඒ මිහින්තලා පුවරු ලිපියෙහි සඳහන්ය. පියගැට පෙළින් සැදි ප්‍රධාන මාර්ගයද , ප්‍රාකාර බැම්මකින් වටවුන ප්‍රධාන දොරටුවකින්ද සමන්විත තැනිතලාවකි. එහි වම්පස දාන ශාලාව විය.

මහාසෑය

මිහින්තලා කන්ද මුදුනෙහි දිස්‌ වෙන මහ සෑය මහා දාඨක මහානාග රජතුමා (ක්‍රි. ව 07 - 19) විසින් ඉදි කරන ලදී. මහාවංශයෙහි මෙම සෑය අම්බුළු දාගැබ නමින් හඳුන්වනු ලැබේ. මෙම දාගැබ අඩි 45 ක්‌ උසින් යුක්‌ත අතර පාදම අඩි 130 කි.

මිහිඳුසෑය

දේවානම්පියතිස්‌ස රජතුමාගේ බාල සහෝදර උත්තිය රජතුමා විසින් ඉදි කරවන ලද්දකි. ලංකාවේ මුල්ම දාගැබ් අතරින් එකක්‌ වෙන මෙය ක්‍රි . පූ දෙවැනි සියවසේදී ඉදිකරන ලද අතර පසුකාලයකදී ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදු කොට ඇත.මිහිඳු මහ රහතන් වහන්සේගේ අභාවයෙන් පසු භෂ්මාවශේෂ මෙහි තැන්පත් කරන ලදී.

අම්බස්‌තල දාගැබ

ගල් කණු වළලු දෙකකින් වට වුණ මෙම දාගැබ මිහින්තලයේ උඩමලුවේදී නෙත ගැටෙන ස්‌මාරකයයි. බුදුරජණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේදී මෙම ස්‌ථානයේ ධ්‍යානයට සමවැද සිට ඇත. මෙම ශෛල චෛත්‍යට ඉහළින් ෙච්තියඝරයක්‌ හෙවත් වටදා ගෙයක්‌ ඉදි කොට ඇත. මහාවංශයේ සඳහන් අන්දමට කණ්‌ඨක තිස්‌ස රජතුමා විසින් ෙච්තියඝරයක්‌ ඉදි කරන ලද අතර ගෝඨාභය රජතුමා විසින් ප්‍රතිසංස්‌කරණය කරන ලදී.

මිහිඳු රජතුමාගේ පුවරු ලිපිය

මිහින්තලා ආරාමයේ පාලනය පිළිබඳව නීතිරීති ඇතුළත් මෙම පුවරු ලිපිය පිහිටා ඇත්තේ ඇතුළු වෙන දොරටුව දෙපසය.

දා ගෙය

දාන ශාලාවට ඉහළින් මළුවක පිහිටි විහාරයයි. මෙය ධාතු මන්දිරය හෙවත් දා ගෙයයි. චතුරශ්‍රාකාර ගොඩනැඟිල්ලක්‌ වූ මෙහි ඉහළ මාලයක්‌ පිහිටි අතර මේ වන විට එය විනාශ වී ගොස්‌ ඇති අතර ගල්කණු කීපයක්‌ දැන් ඉතිරිව ඇත. සර්වඥ ධාතුන් ඉහළ මාලයේද, පිළිම ගෙය පහළ මාලයේ ද තැන්පත් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ආරාධනා ගල

පොසොන් පුර පසළොස්‌වක පොහොය දින මුව දඩයමේ ගොස්‌ සිටි තිස්‌ස රජතුමාට මිහිඳු මහ රහතන් වහන්සේ විසින් අමතන ලද්දේ මෙම පර්වතය මුදුනෙහි සිටය. සුමන සාමණේරයන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනයට සවන් දෙනු පිණිස දෙවියන්ට ආරාධනා කරන ලද්දේ මෙම පර්වතයේ සිට හෙයින් මෙම ගල ආරාධනාගල ලෙසින් ප්‍රසිද්ධ විය.

මිහිඳු ගුහාව

මිහිඳු හිමියන් භාවනාවේ යෙදුන මෙම ස්‌ථානය ගලකින් ආවරණය වුණ ගල් තලාවකි. මෙහි ඔප වැටුන ගල් ආසනයක්‌ ඇති අතර මෙම ස්‌ථානය මිහිඳු ගුහාව නමින් හඳුන්වනු ලැබේ.

ආරෝග්‍ය ශාලාව

දෙවන සේන (ක්‍රි.ව 912 - 929) රජතුමා විසින් ෙච්තියගිරියෙහි ආරෝග්‍යශාලාවක්‌ ඉදි කරන ලදී. 5 වැනි කාශ්‍යප සහ සේන නම් අමාත්‍යවරයා විසින් තවත් ආරෝග්‍යශාලා දෙකක්‌ ඉදි කරන ලදී.මහාවංශයෙහි සඳහන් අන්දමට සෑම ගම් දහයක මණ්‌ඩලයකට වෛද්‍යවරයෙක්‌ පත් කොට ඔවුන්ට වෛද්‍ය පොත්පත් ලබා දෙන ලදී. මිනිසෙකුගේ ප්‍රමාණයේ බෙහෙත් ඔරු මෙහි දක්‌නට ඇත. මෙම ආරෝග්‍යශාලාව කොටස්‌ දෙකකින් යුක්‌ත විය. උතුරේ පිහිටි ගොඩනැගිල්ල නේවාසික රෝගීන් වෙනුවෙන්ය. මැද මිදුලේ චතුරශ්‍රාතාර ගොඩ නැගිල්ල බුදු ගෙයකි. දකුණු දිසාවට ඇත්තේ ප්‍රධාන ගොඩනැගිල්ලට සම්බන්ධ දාන ශාලාවක්‌ , බෙහෙත් ගබඩාවක්‌ , උණු පැන් ස්‌නානය වෙනුවෙන් කාමරයක්‌ ආදි අංගයි. පුරාවිද්‍යාත්මක කැණීම්වලදී මැටි සහ නිල් පැහැති බරණි දෙකක්‌ හමු වී තිබේ.

කළුදිය පොකුණ

භික්‌ෂුන් වහන්සේලාට ආරණ්‍ය සේනාසනයක්‌ වූ නිසල පරිසරයක කළුදිය පොකුණ පිහිටා ඇත.මෙය අඩි දෙසියයක දිගින් සහ අඩි හැත්තෑවක පළලින් යුක්‌තය. ගස්‌වැල්වල අඳුර දිය මත පතිත වූ නිසා කළුදියපොකුණ නමින් හඳුන්වනු ලැබේ.

සන්නිපාතශාලාව

පැරණිs කාලයේ භික්‌ෂුන් වහන්සේලාගේ පොහොය කටයුතු සංවිධානය සහ වෙනත් සංඝයා වහන්සේලාගේ ජිවිතය වෙනුවෙන් වු අදහස්‌ සන්නිවේදනයන් පැවැත්වෙන ලද ස්‌ථානයයි. ආරාමයේ අධිපතිත්වය දරන භික්‌ෂුන්වහන්සේ මෙම රැස්‌වීමේ මුලසුන දරන ලදී. උන්වහන්සේගේ ආසනය, ශාලාව මැද පිහිටි අතර සමචතුරශ්‍රාකාර ගොඩනැඟිල්ලේ පැත්තක දිග අඩි 63 කි. මෙම ස්‌ථානය විවේක ගන්නා මෙන්ම භෝජන ශාලාව ලෙසින් ද භාවිතා වී ඇත. මෙහිදී සිදු වෙන කටයුතු ගැන විස්‌තරයක්‌ සය වෙනි මිහිඳු රජතුමාගේ සෙල් ලිපියෙහි සඳහන්ව ඇත.

කඳුපාමුල ආරාම

ආරෝග්‍යශාලාව සහ පියගැට පෙළ අතර ප්‍රාකාරයකින් සමන්විත වුණ පැරණි ආරාම ගොඩනැඟිල්ලකි. චතුරශ්‍රාකාර මෙම ගොඩනැඟිල්ල වර්ග අඩි 125 ක්‌ පමණ වේ. නිරිත සහ ගිනිකොන දිගින් අතුරු ප්‍රාසාද දෙකකි. ඇතුළු වෙන ස්‌ථානයේ දොරටුපාල රූප, මකර රූප, නාග දොරටුපාල, මකර කොරවක්‌ගල රූප සහිත සෝපානයන්ය.වම්පස වූ ආරාම ගොඩනැඟිල්ලෙහි දක්‌නට ලැබෙන නෂ්ටාවශේෂයන් අතර පිළිම ගෙයක සහ පිරිවෙනක තොරතුරු දැන ගැනීමට ලැබේ.

ඇත් වෙහෙර

මිහින්තලා පර්වතයේ උස්‌ම කන්දේ පිහිටා ඇති වෙහෙරයි. ඇත් විහාරය යන අදහසින් ඇත් වෙහෙර යන්න යෙදී ඇත. නාග පොකුණේ සිට ඉහළට නගින විට හමු වෙන මෙම ඇත් වෙහෙර ප්‍රමාණයෙන් කුඩා දාගැබකි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.