ඩෙංගු රෝගය ගැන දැනුවත් වන්න

මේ වනවිට ඩෙංගු රෝගීන් දිස්‌ත්‍රික්‌ක කිහිපයකින් වැඩිපුර වාර්තා වෙමින් පවතී. ඩෙංගු රෝගීන් වාර්තා වුවද එමගින් සිදුවන මරණ අවම කර ගැනීමට ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවීම අවශ්‍ය වේ. බොහෝ විට ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ වලින් බහුතරයක්‌ සිදුවන්නේ ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාදවීම නිසාය.

එමෙන්ම රෝගය වළක්‌වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සම්බන්ධයෙන්ද මහජනතාවගේ අවධානය මෙන්ම නිරන්තර උනන්දුවද අත්‍යාවශ්‍ය වේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් සකස්‌ කරන ලද මහජනතාව දැනුවත් කිරීමේ අත්‍යාවශ්‍ය තොරතුරු අඩංගු ලිපියක්‌ මේ සමග පළ කෙරේ.

ඩෙංගු රෝගය දැනට ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන වෛරස්‌ රෝගයකි.

1. උණ.

2. හිස රදය හා ඇස්‌ යට වේදනවා.

3. ඔක්‌කාරය හා වමනය.

4. මස්‌පිඬු හා සන්ධි වේදනාව

5. මූණ හා අත්පා රත් පැහැ ගැන්වීම විශේෂයෙන්ම දරුවන්ගේ සහ පැහැපත් සමක්‌ ඇති වැඩිහිටියන්ගේ මෙම තත්ත්වය දක්‌නට ලැබේ.

6. සමේ රතු පැහැ පළු හටගැනීම මෙම රෝගයේ ප්‍රධාන ලක්‌ෂණවේ. එම් රෝග ලක්‍ෂණ රෝග දෙකකට වඩා පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්‌ හෝ රජයේ රෝහලක්‌ වෙත යොමු විය යුතුය.

වෛද්‍යවරයා විසින් රෝගියා සම්පූර්ණ රුධිර පරීක්‍ෂාවකට ලක්‌ කරනු ඇත.

එමගින් රෝග විනිශ්චය පහසුවේ.

ඩෙංගු රෝගය ඉක්‌මනින් හඳුනා ගැනීමෙන් සංකූලතා මෙන්ම ජීවිත හානිද වළක්‌වා ගත හැක.

අප සියලු දෙනා ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත්වීම ඉතාම වැදගත්ය.

ඩෙංගු රෝගය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද වැළඳිය හැක

ඩෙංගු රෝගීන් කෙරෙහි වඩාත් සැලකිලිමත් වියයුත්තේ උණ බැස යාමත් සමගය.

ඩෙංගු උණ සහ ඩෙංගු රක්‌තපාත උණ මුල් අවස්‌ථාවේ දී එක සමාන ලක්‌ෂණ පෙන්නුවද, ඩෙංගු රක්‌තපාත රෝගීන් ක්‍රමයෙන් අවදානම් රෝග ලක්‌ෂණ පෙන්නුම කළ හැක. මෙම අවදානම් රෝග ලක්‌ෂණ වනුයේ

1. උදරයේ අධික වේදනාව.

2. නොනවත්වා පවතින වමනය.

3. අත් පා සීතල වීම.

4. විදුරුමස්‌ වලින් සිදුවන අසාමාන්‍ය රුධිරවහනය.

5. නොරිස්‌සුම් සහගත බව හා මලානික බව.

6. මුත්‍රා පිටවීම අඩුවීම, අවදානම් රෝග ලක්‍ෂණ වේ.

මෙවැනි අවදානම් රෝග ලක්‌ෂණ සාමාන්‍යයෙන් තුන්වන දිනයෙන් පසු බොහෝ විට දක්‌නට ලැබේ. එවැනි අවස්‌ථාවල රෝගියා නොපමාව රෝහල්ගත කළ යුතුය.

පහත සඳහන් විශේෂිත කාණ්‌ඩවලට අයත් පුද්ගලයන් හට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක කරන විට මුල් අවදියේදීම රෝහල් ගත කිරීම ඉතාමත්ම වැදගත්ය.

1. වයස අවුරුද්දට අඩු ළදරුවන්

2. වයස 70 වැඩි පුද්ගලයින්

3. අධිබර සහිත රෝගීන්

4. ගර්භණී මවුවරුන්

5. නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. එවැනි පුද්ගලයන් මුල් අවධියේදීම රෝහල්ගත කිරීම වඩාත් සුදුසුවේ.

රෝග ලක්‌ෂණ පිළිබඳව දැනුවත් වීමෙන් සහ ඒවා ඉක්‌මනින් හඳුනාගෙන වෛද්‍යවරයා වෙත යොමුවීමෙන් සංකූලතා අවම කර ජීවිත හානිය වළක්‌වා ගත හැකිය.

ඩෙංගු රෝගීන් විමර්ශනය කිරීමේදී රෝගීන් බහුතරයක්‌ රෝගී තත්ත්වයට පත්ව ඇත්තේ තම නිවෙස හා අවට බෝ වූ මදුරුවන්ගෙන් හෝ පාසලේදි හෝ රාජකාරි ස්‌ථානයේදී බෝවූ මදුරුවන්ගෙන්ය.

ඒ තත්ත්වය වළක්‌වා ගැනීමට ප්‍රජා දායකත්වය අත්‍යාවශ්‍ය සාධකයකි.

එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන නිරන්තරව පරීක්‍ෂා කිරීමෙන් හා ඒවා විනාශ කිරීමෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කරගත හැක.

ඩෙංගු මදුරුවාට හිතකර මෙවන් පරිසරයක්‌ නිර්මාණය කර දෙන්නේ අප විසින්මය. ඩෙංගු මදුරුවන් බහුතරයක්‌ බෝවෙන්නේ ඉවතලන භාජනවල එක්‌වන වතුර මගින්ය.

ඊට අමතරව පාවිච්චියට ගන්නා ජලය එක්‌රැස්‌ කරන භාජන, ටයර්, අලංකාරයට සාදා ඇති පොකුණු වැනි දේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය.

ඩෙංගු මර්දනයට සහාය වීම ඔබ අප සැමගේ සාමුහික වගකීමකි.

පසුතැවිල්ලට ඉඩ නොතබමු. ඩෙංගු මදුරුවා පරිසරයෙන් තුරන් කරමු.

සෞඛ්‍ය ආමාත්‍යංශයේ නිවේදනයකි
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.