රෝද පුටුවක්‌ මත හිඳිනා ලෝකයේ සුන්දරම මිනිසෙක්‌...

මේ හමුව විටෙක අප විස්‌මයටත් ආනන්දයටත් පත් කරවයි. හාත්පස පිරී ඇත්තේ සුළං පොදක්‌ තරමටම සැහැල්ලු වූ කෙළිබර සිනාවෙන්ය. උතුරා යන ලෙන්ගතු කමකින් යුතු මියුරු සාද කතාවෙන්ය. රාජගිරියේ වැලිකඩවත්ත පාරේ පැරණි පන්නයේ අලංකාර නිවසක දී ලෝකයේ සුන්දරම මිනිසා රෝද පුටුවක හි`ද හමුවනු ඇතැයි අප මොහොතකුදු විශ්වාස කළේ නැත. කලකිරීමක්‌ පිළිබ`ද හැ`ගීම් මාත්‍රයක්‌ නැති, පශ්චාත්තාපයක්‌ පිළිබ`ද සේයාවක්‌ නැති, තමාට අනුකම්පා කරන ලෝකය දෙස මුවගට නැගුණු සරදම් සිනාවකින් යුතුව බැලිය හැකි මේ සො`දුරු මිනිසා රෝද පුටුව මත හැසිරෙමින් සිටින්නේ දකින අපටත් ඉරිසියා හිතෙන ආකාරයටය. ඒ හැසිරීම විටෙක රෝදපුටුවක ඉ`දින්නට නොලැබීම ගැන අප තුළ පශ්චාත්තාපයක්‌ ඇතිකරවන්නට සමත්ය.

දෑත් දෙපා අවස`ගව අප ඉදිරිපිට රෝදපුටුවේ සිටින මේ මිනිසා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබ`ද විශේෂ උපාධිධාරියෙකි. ජාත්‍යන්තර වෙළෝදපළ දිනාගත් කෘතහස්‌ත ව්‍යාපාරිකයෙකි. නීතිඥයෙකි. ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකි. එපමණක්‌ නොව ඌව පළාතේ වැඩ බැලූ ප්‍රධාන අමාත්‍යවරයෙකි. තවමත් ඌව පළාත් සභාව හොබවනා කීර්තිමත් දේශපාලකයෙකි.

ඔහු ගැන තවත් කතා තිබේ. උපන් දා සිට රෝද පුටුවේ හැදී වැඩී නීතිඥයෙක්‌ ලෙස දිවුරුම් දුන් ප්‍රථම ශ්‍රී ලාංකික නීතිඥයා ඔහුය. විකිපීඩියා නිදහස්‌ විශ්වකෝෂයට අනුව ඌණතා සහිතව ඉපදී දේශපාලනයට පිවිස මහජන ඡන්දයෙන් තේරීපත්වූ, දැනටත් ක්‍රියාකාරී දේශපාලනය කරනු ලබනා ආසියාවේ සිටින එකම දේශපාලඥයාත් ඔහුය.

විස්‌මය දනවන පෞරුෂයක්‌ හා අධිෂ්ඨානයක්‌ සහිත, උපතින් ලද ඌණතා අභිබවනය කර ජීවිතය දිනාගත් මේ දර්ශීය මිනිසා සෙනරත් අත්තනායකය. මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ රතුගලට නුදුරු බිබිල පිටිකුඹුර ගමේ ප්‍රභූ පවුලක උපදින සෙනරත් අත්තනායකගේ පියා එවකට මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේය. දි. මු. ජයරත්න, වාසුදේව නානායක්‌කාර, මහින්ද රාජපක්‌ෂ සමග 1970 දී පාර්ලිමේන්තුවට පත්වන ජයවර්ධන අත්තනායක මන්ත්‍රීවරයා සෙනරත් අත්තනායකගේ පියාය. ජයවර්ධන අත්තනායකයන් ස්‌වකීයයන්ගේ කටුක දේශපාලන පීඩාවන්ට හා ගර්හාවන්ට ලක්‌වෙමින් සිටියේ වර්ෂ 1997 දී පාර්ලිමේන්තු ගර්භය තුළදීම හෘදයාබාධයකින් මිය ගියේය. එතැන් සිට අප්‍රමාණ බාධක මැද දේශපාලනයට පිවිසෙන සෙනරත් අත්තනායක ජීවිත ගමනේ රෝද පුටුවෙන් පැමිණි දුර ගැන අප සමග මෙසේ කතා කරන්නේය.

මගෙ අම්මා ගුරුවරියක්‌. තාත්තා පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. එයා ජයවර්ධන අත්තනායක. නංගියි මල්ලියි දෙන්නෙක්‌ මට හිටියා. ළමා කාලය ගැන ලස්‌සන මතක මට තිබුණෙ නෑ. මගේ හැම මතකයකම තියෙන්නෙ එක්‌කො ඇඟපුරා තෙල් ගාගෙන ඉන්නවා. නැත්නම් ඉස්‌පිරිතාලෙක ඉන්නවා. නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක්‌ ළඟ ඉන්නවා. අවුරුදු නවය වෙනකම් ඉස්‌කෝලෙ යන්න බැරිවුණා. මගෙ නංගි ගියෙ මියුසියස්‌ එකට. එයා එයාගෙ හැම පාඩමක්‌ම ඉස්‌කෝලෙ ඇරිලා ඇවිත් මට කියලා දුන්නා. මම මුලින්ම ඉස්‌කෝලෙ යන්නෙ 4 වැනි පන්තියට.

තාත්තගෙ සම්බන්ධකම් මත මාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරන්න ඔහුට හැකි වුණා. ඒත් මුල්කාලෙ මගෙ පාසලේ මතකය මුළුමනින්ම කටුක එකක්‌. මම පන්ති කාමරයට සම්පූර්ණ ආගන්තුකයෙක්‌. මම යන්නෙ රෝදපුටුවෙ. ඒ දවස්‌වල මට ප්‍රතිකාර කළේ දෙමළ වෛද්‍යවරයෙක්‌. ඔහුගේ නිවසේ තමයි මා නැවතී හිටියෙ. මා පන්තියට රැගෙන ආවෙ ඔහු. මා වඩාත් කතා කළේ දෙමළ. මා වටේ හිටියෙ ඉංග්‍රීසියෙන් කතා කරන පිරිසක්‌. ඔවුන් මාව කොන් කළේ නැතත් ඔවුන්ගෙ කුඩා සමාජයට මා ගැලපුනේ නෑ.

ඒ කාලෙ මම හැමදාම පන්තියෙ අන්තිමයා. මට කිසි දෙයක්‌ මතක තියාගන්න බැරිවුණා. මං හිටියෙ හුදකලා වෙලා. ඒත් කාලයත් එක්‌ක පරිසරය වෙනස්‌ වුණා. හයේ පන්තිය වෙනකොට මා හතළිහක්‌ ඉන්න පන්තියේ 25 වැනියා වගේ වෙන්න ගත්තා. පහේ පන්තියෙන් පස්‌සෙ ඉස්‌කෝලෙ හොස්‌ටල් එකේ නැවතුනාම මගේ මානසික පරිසරය වෙනස්‌ වුණා. හොස්‌ටල් එකේ හිටිය සියලු දෙනාම දුර බැහැර ප්‍රදේශවලින් ශිෂ්‍යත්වය පාස්‌ වෙලා ආපු පිරිසක්‌. ඒ පිරිස අතරෙ මා තනිවුනේ නෑ. ඔවුන් කවදාවත් මා අබ්බගාතයෙක්‌ විදිහට සැලකුවෙ නෑ. මගේ ආදරණීය යාළුවන් කවදාවත් මා වෙනස්‌ පුද්ගලයෙක්‌ විදිහට සැලකුවේ නෑ. පාසලේ නවය පන්තිය විතර වෙනකොට මට මගේ ආබාධිත තත්ත්වය අමතක වෙලා තිබුණා. මා එපමණම මානසිකව ශක්‌තිමත් වුණා. මානසිකව ශක්‌තිමත් කෙනෙක්‌ ආබාධිතයෙක්‌ නොවන බව මා තේරුම් ගත්තා. මට තේරුණා රෝද පුටුවෙන් පන්තියට රැගෙන යන දරුවෙක්‌ වෙච්ච මට මගේ ජීවිතය ගොඩදාගන්න තියන එකම මාර්ගය ඉගනීම කියලා. මට සරසවියට යන්න අවශ්‍ය වුණා. ඒ ආබාධිත අයෙක්‌ සඳහා ලැබෙන ප්‍රසාද ලකුණු ලබාගෙන නොවෙයි. සාමාන්‍ය ළමයි එක්‌ක තරග කරලා සාමාන්‍ය ළමයෙක්‌ විදිහට සරසවියට යන්නයි මට ඕන වුණේ. මා උසස්‌පෙළ සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත වුණා. වාණිජ විශේෂවේදී උපාධිය මා විසින් තෝරාගත්තා. 1988 වෙනකොට මා සිටියෙ සරසවියෙ. ඒ කාලෙදි රටේ ඇතිවෙලා තිබුණ කැරැල්ල නිසා සරසවි වසා දැම්මා. ඒ කාලය තුළ මා නීති විද්‍යාල ප්‍රවේශය සමත් වෙලා නීති විද්‍යාලයට ඇතුළත් වුණා.

ඇත්තටම මගේ ජීවිතේ ඉතාම වැදගත් හැරවුම් ලක්‌ෂ්‍ය තීරණය වෙන්නෙ මේ කාලෙදි. ඒ හැරවුම තමයි හීනෙන්වත් දේශපාලනය කරන්න නොහිතපු මා දේශපාලනයට යොමු කළේ. ඒ කතාව මතකයට නැගෙන්නෙ මේ විදිහට. මගේ අප්පච්චි 1977 මැතිවරණයෙන් පැරදුනා. නැවත ඔහු 1989 මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ කාලය රටේ ඇතිවෙච්චි ඉතාම නරක කාලයක්‌. අපි අවුරුදු හතක්‌ සරසවියෙ ගතකරපු පිරිසක්‌. මේ කාලෙදි මං සරසවිය ඇතුළෙ කිසිම දේශපාලනයක්‌ කළේ නෑ.

මේ අතරෙ 1989 ඡන්දෙනුත් අප්පච්චි පැරදුනා. මගෙ හිතට මේක මහා බරපතළ විදිහට බලපෑව. මම පවුලෙ වැඩිමලා. අප්පච්චිගෙ ලොකු පුතා. මම ආබාධිත නිසා අප්පච්චිගෙ දේශපාලයනට උදව් කරන්න බැරිවුණා කියන පසුතැවීම මගෙ හිතේ තිබුණා. ඒ හින්දා අප්පච්චි පරදිනවා කියන දේ මට වධ දුන්නා. එතකොට අද අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා දි. මු අප්පච්චිගෙ හොඳ යාළුවො. මේ අය 1970 දි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් එකට පාර්ලිමේන්තු ගිය කණ්‌ඩායම. ඒ කාලෙ දි. මු. ඇමැතිතුමාට කොළඹ ඉන්න ගෙයක්‌ තිබුණෙ නෑ. හිටියෙ අපේ ගෙදර. මේ අයගෙ ආභාසය මට තරුණ අවධියෙදිම ලැබුණා. මමත් ලෑස්‌ති වුණා මගේ තාත්තගෙ දේශපාලනයට උදව් කරන්න.

මගේ ආබාධිතකම වෙනම කතාවක්‌. ඒත් මට පෙනවන්න ඕන වුණා මගේ ආබාධිතකම හින්දා අප්පච්චි පරදින්න ඕන නෑ කිsයලා. අප්පච්චිගෙ ඡන්ද ව්‍යාපාරයට මං සද්ද නැතිව සූදානම් වුණා. සරසවියෙ ඉන්න කාලෙදි මං පටන් ගත්තා ප්‍රෙස්‌ එකක්‌. මම මගේ අප්පච්චි දිනවන්න සූදානම් වෙමින් හිටියා. මගේ ආබාධිතකම වෙන කතාවක්‌. මට පෙන්වන්න ඕන නෑ මගේ ආබාධිතකම හින්දා අප්පච්චි පරදිනවා කියලා.

අප්පච්චිගෙ දේශපාලන ජීවිතය දැන් බරපතළ විදිහට කඩාගෙන වැටිලා. දැන් කොතනින් හරි ආයෙත් පටන්ගත යුතුව තිබුණා. මේ අතරෙ 1993 අප්පච්චි ආවා පළාත් සභා මැතිවරණයට. මේ වෙනකොට මං සරසවියෙන් අවුට්‌ වෙලා. දැන් මා අප්පච්චිගෙ කැම්පේන් එකට සහයෝගය දක්‌වන්න එන්නෙ උපාධිධාරී නීතිඥයෙක්‌ විදිහට. මං ඒ කැම්පේන් එක කළා. අප්පච්චි පළාත් සභාවට තේරුණා. ඒ එක්‌කම 1994 පාර්ලිමේන්තු මැතිවරණය පටන් ගත්තා. අප්පච්චි පළාත් සභාව දිනාගත්තෙත් හරි අමාරුවෙන්. එතකොටත් එයා ලිස්‌ට්‌ එකේ පස්‌ වෙනියට ආවෙ. එහෙම කෙනෙක්‌ කොහොමද පාර්ලිමේන්තු දිනන්නෙ වගේ හැ`ගීමක්‌ පක්‌ෂයේ ඇතුළෙන්ම ඇති කළා. දැන් අප්පච්චිගෙ මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම මෙහෙයවන්නෙ මා විසින්.

මේ ඔක්‌කොම මට හො`ද අභියෝග. ඒ වෙනකොට මම ඕනෑම අභියෝගයට මුහුණ දෙන්න ශක්‌තිමත්. මට ප්‍රෙස්‌ එක තියනවා. මට ඕන සල්ලි මගේ ළ`ග තියනවා. ඒ මැතිවරණ ව්‍යාපාරයේ පෝස්‌ටරයේ ඉ`දලා හැමදේම සැලසුම් කළේ මම. 1994 මැතිවරණයෙන් අපි දිනුවා.

දැන් අප්පච්චි මන්ත්‍රී. මම මගේ වැඩ කළා. මට තිබුණෙ ව්‍යාපාර කරන්න. මම තමයි මුළු කොළඹටම කිරි බෙදුව මිල්කෝ එකේ ඒජන්ට්‌. ලොරි තියනවා 10 විතර. මිනිස්‌සු සීයක්‌ විතර වැඩ කළා. ඔය අතරෙ 1997 අප්පච්චි පාර්ලිමේන්තුවෙ ඉන්නකොටම නැති වුණා. ඊටපස්‌සේ අපට දේශපාලන ලොකු බලාපොරොත්තුවක්‌ හෝ අනාගතයක්‌ තිබුණෙ නෑ. හැබැයි එතකොට මොන විදියෙන් හරි සුමේධා ජයසේන ඇමැතිතුමිය සහ ජගත් පුෂ්පකුමාර ඇමැතිතුමා එවකට හිටිය ජනාධිපතිතුමියට කිව්වා අපේ පවුලෙ කෙනෙක්‌ 1999 පළාත් සභා මැතිවරණයට දාන්න ඕන කියලා. ඒ අයට මා පිළිබඳව අපේ ඡන්ද පදනම පිළිබඳව විශ්වාසයක්‌ ඇතිවෙලා තිබුණා. මා ආබාධ සහිතව රෝද පුටුවෙ යන්නෙ. උපන්ගෙයි ආබාධිතයෙක්‌ අපේ ඉතිහාසයෙ කිසිම අවස්‌ථාවක දේශපාලනය කරලා නෑ. එහෙම එකෙකුට දේශපාලනය කරන්න පුළුවන්ද දන්නෙත් නෑ. දාලා දිනයිද දන්නෙත් නෑ. ඔයා මාව උස්‌සලා බිම තිබ්බොත් මට මුකුත් කරන්න බෑ. ඒත් 1999 දී පළාත් සභා මැතිවරණයට මට නොමිනේෂන් ලැබුණා. ඒ වනවිට මට ඉතාම පහසු වුණා. දේශපාලනය කරන්න. දිස්‌ත්‍රික්‌කයේ කට්‌ටිය මාව හ`දුනාගෙන හිටියා අප්පච්චිගෙ කැම්පේන් එක කරපු හින්දා. මා ආපහු මුල ඉ`දන් පටන් ගත්තා.

1999 පළාත් සභා මැතිවරණයෙන් දිස්‌ත්‍රික්‌කයේ දෙවෙනියා විදිහට මා දිනුවා. මට පළාත්සභා ඇමැතිකමක්‌ ලැබුණා. වනසම්පත් පශු සම්පත් හා කෘෂිකර්ම ආදී වශයෙන්ම විෂයන් ගණනාවක්‌ මගෙ යටතේ තිබුණා. ඔන්න මම දේශපාලනය පටන් ගත්තා. ඒ වනවිට මම තමයි ලංකාවෙ රෝදපුටුවෙන් ගිහින් දිවුරුම් දුන්න පළමු නීතිඥයා දැන් තව කෙනෙක්‌ ඉන්නවා. තව කට්‌ටිය එකතුවෙයි. මම තමයි ලංකාවෙ පළමු වතාවට රෝදපුටුවෙන් ගිහින් දේශපාලනය කරලා, ඇමැතිකම් ලබාගෙන, මහ ඇමැතිකමෙත් වැඩ බැලුවෙ. ඒ 1999 හා 2004 කාලය.

ඒ ආපු ගමන දිහා දැන් හැරිල බලනකොට ගොඩක්‌ ජාති හිතෙනවා. මේ මුළු දේශපාලන ජීවිතයේම මගේ ගෞරවය හිමිවිය යුතු පිරිසක්‌ ඉන්නවා. මුලින්ම මා වෙනස්‌ පුද්ගලයෙක්‌ සේ නොසලකා ගොඩනැගූ මගේ අම්මා අප්පච්චි හා පවුලෙ අයව. මගේ පාසලේ හා සරසවියේත් ගම් තුලානේත් මිත්‍රයන්ව.

අද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කතා කරන්නෙ සියල්ලට පොදු පරිසරයක්‌ ගැන. අන් අය වෙන් නොකොට මානුෂික ආබාධයකින් තොරව ගෞරවපූර්වකව සලකන පරිසරයක්‌ ගැන දැන් ඔවුන් කතා කරනවා. සහස්‍ර ඉලක්‌ක වලට තිබුනෙ නැති ඒවා ඔවුන් ගිය අවුරුද්දෙයි කතා කරන්න පටන් ගත්තෙ. නමුත් මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන නායකත්වයෙ පටන් සාමාන්‍ය මිනිස්‌සු දක්‌වා වූ සියලුදෙනා මීට දශකයකට පෙරත් නොවෙනස්‌ව මට සැලකුවා. මේ කිසිකෙනෙක්‌ මගේ ආබාධිත තත්ත්වය ගැන නෙමෙයි බැලුවෙ. පුද්ගලයෙක්‌ ලෙස මගේ හැකියාව. මට ඡන්දෙ දීලා මාව මේ තත්ත්වයට ගන්න. මොනරාගල මිනිස්‌සුන්ගෙ මානසිකත්වය මොනතරම් ඉහළ වෙන්න ඕනද කියන එක මා තවම කල්පනා කරනවා.

මා පුළුවන් දේ පුළුවන් කියලා කළා. බැරි දේ බෑ කිව්වා. මිනිස්‌සුන්ගෙ ගෞරවය ආරක්‌ෂා කළා. 2004 හා 2009 මැතිවරණ වලින් මා ආයෙ දිනුවා. අවුරුද්දෙන් අවුරුද්ද මගේ ඡන්ද ප්‍රමාණය වැඩිවුණා. 2009 වෙනකම් මා මගේ කාලෙ වෙන්කළේ සාමාන්‍ය දේශපාලකයෙක්‌ විදිහට වැඩ කරන්න. ළිං හදන්න. බෝක්‌කු හදන්න. වැව් හදන්න. ප්‍රජාශාලා හදන්න. එත් 2009 පස්‌සෙ තනිකරම මම හිතන විදිහ වෙනස්‌ වුණා. ඊට පස්‌සෙ අපි වැඩිපුර වැඩකරන්න පටන් ගත්තා . මගේ නෝන නීතිඥවරියක්‌. අපි ජීවිතේ වැඩිකොටසක්‌ වෙන් කරන්නෙ ආබාධ සහිත අය වෙනුවෙන්. මේ වෙනකොට මගේ ව්‍යාපෘති යෝජනාවකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් දකුණු ආසියාවේ පළමු ආබාධිත හා වැඩිහිටි හිතකාමී නගරය ලෙස වැල්ලවාය නගරය සංවර්ධනය වෙමින් තියනවා. එහි සැලැස්‌ම මගෙ. මේ ව්‍යාපෘතියෙ අයිතිය මට. ඒක මං කරගෙන යනවා. මේ එක්‌කම මා කිවයුතුයි මට මේ සියලු දේ කරන්න ලැබෙන්නෙ මගේ ප්‍රධාන අමාත්‍යතුමා නිසා බව.

මේවගේ ව්‍යාපෘති කරල මට ඡන්දෙ ලැබෙන එකක්‌ නෑ. ඒත් දේශපාලනය කරනකොට අපටත් යමක්‌ තියෙන්න ඕන. මා හිතන්නෙ ඒ විදිහට. පළාත් සභාව තුළ අප 10 ක්‌ දිනලා ඉන්නවා. මේ දහදෙනාම ජනතා විශ්වාසය දිනාගෙන ගිය අය. මේ සියලුදෙනා එක්‌ක මම කටයුතු කරන්නෙ අවබෝධයෙන්. පළාත් සභාව ඇතුළේ හැමෝම මට ආදරෙයි. මගේ දේශපාලන ජීවිතයේ මා සමගම හිටිය මගේ ආදර සගයෙක්‌ තමයි විජිත බේරුගොඩ. ඔහු ගියපාර පාර්ලිමේන්තුවට පත් වුණා. මේ කිසිම කෙනෙක්‌ මා අසරණයි කියලා උදව් කරන අය නෙමෙයි. කරගෙන යන වැඩ වලට උදව් කරන කට්‌ටිය.

හේ රෝදපුටුව මත සැහැල්ලුවෙන් ඇලවී සිය නොවැඩුන දෑත් ඔසවා සිනාවකින් යුතුව කතාව හමාර කරන්නේය. මේ සුවිශේෂී පුද්ගලයා මේ දුර්ගන්ධය සහිත දේශපාලන ගොහොරුවට නොබැස සිටියානම් කොපමණ අපූරුදැයි වරෙක සිතේ. ඔහුගේ දෑස්‌ දෙස බලමි. ඒ දයානිශ්‍රිත බැල්ම විනිවිදින සුළුය. ඒ බැල්මෙහි ඇත්තේ තමා අවට සරණා දෑත් දෙපා සහිත අසරණයන් කෙරෙහි උපන් අනුකම්පාවදැයි මම තවම කල්පනා කරමි.

ජානක ලියනආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.