උපන් දේශයට නොමැකෙන
සේවයක්‌ කළ ආචාර්ය නිශ්ශංක විඡේරත්න

(හිටපු දිසාපතිවරයෙකු වුත් ප්‍රවීණ සිවිල් නිලධාරී මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරය දැරූ හිටපු අමාත්‍යවර නැසීගිය ආචාර්ය නිශ්ශංක විඡේරත්න මහතාගේ 90 වැනි ජන්ම දිනය ඉකුත් 14 දාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි)

නිදහස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යධූරය ඉසිලූ ඩී. එස්‌. සේනානායක ශ්‍රීමතාණන්ගේ දෙවැනි කැබිනට්‌ මණ්‌ඩලයේ ස්‌වදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ තනතුර දැරූ ශ්‍රීමත් එඩ්වින් විඡේරත්න මහතාගේ සහ ලීලාවතී පෙතියාගොඩ මැතිණියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය ලෙස ආචාර්ය නිශ්ශංක විඡේරත්න මහතා මෙලොව එළිය දුටුවේ වර්ෂ 1924 ජුනි 14 වෙනි දිනදීය. වාමාංශික දේශපාලනයේ පතාක යෝධයෙකු වූ ප්‍රවීණ තානාපති නිලධාරී තිස්‌ස විඡේරත්න මහතා එක්‌සත් රාජධානියේ මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ දොස්‌තර කුඩා විඡේරත්න යන අය මෙතුමාගේ සහෝදර දෙපළ විය. මින් තිස්‌ස විඡේරත්න මහතා විවාහ වූයේ අනුරාධපුර ප්‍රසිද්ධ බුලන්කුලම පවුලේ විශාකා බුලන්කුලම මෙනවිය සමගය. ඇය ඩී. සී. සේනානායක මහතාගේ මිනිබිරියක්‌ විය.

කීර්තිමත් සිවිල් නිලධාරියෙකු, පරිපාලකවරයෙකු, දියවඩන නිලමේවරයෙකු, බෞද්ධ නායකයෙකු මෙන්ම පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සහ තානාපතිවරයෙකු ලෙස විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් මවු බිමටත්, බෞද්ධ ආගමටත් විශාල සේවයක්‌ කළ අවංක පුද්ගලයෙකු ලෙස නිශ්ශංක විඡේරත්න මහතාගේ නාමය ලක්‌ ඉතිහාසයට එක්‌ වේ.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ඇලෙක්‌සැන්ඩ්‍රා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද විඡේරත්න මහතා ඉන් පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක්‌ ලබා ගනිමින් සිය අධ්‍යාපන කටයුතු අවසන් කරන ලදී. අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු ලංකා සිවිල් සේවයට ඇතුළත්ව උසස්‌ තනතුරු රැසක්‌ම ඉතා කාර්යක්‍ෂම අන්දමින් මොහු විසින් ඉටු කළේය. අනුරාධපුර මහ දිසාපති වශයෙන් පත්වු එතුමා අනුරාධපුර සංරක්‍ෂණ මණ්‌ඩලයේ සභාපති වශයෙන් විශාල කාර්යභාරයක්‌ ඉටු කරන ලදී. නටබුන් නගරයක්‌ව පැවැති අනුරාධපුර නගරය ශුද්ධ නගරයක්‌ බවට පත් කළේ ද, විඡේරත්න මහතාය. සිරිමා බෝ සමිඳුන්ගේ ආරක්‍ෂාවට සහ වත්පිළිවෙත් සංවිධානය පිළිබඳව ඔහු නිතර අවධානය යොමු කර ඇති අතර, අටමස්‌ථානයේ දියුණුවට ඔහු කටයුතු කළේය. සංස්‌කෘතික ත්‍රිකෝණය ඇති කිරීම එතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයකි.

රඹුක්‌කන මීදූම වලව්වේ නීටා දුල්ලෑව මෙනෙවිය සමග 1954 වසරේ අතිනත ගත් විඡේරත්න මහතා පුතුන් තිදෙනෙකුගේ සහ දියණියකගේ ආදරණීය පියා විය. වැඩිමහල් පුතු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තනතුර වසර විස්‌සක්‌ හෙබවූ නෙරන්ජන් විඡේරත්න මැතිතුමාය. අනුරාධ දුල්ලෑව විඡේරත්න මහතා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. මනෝ විඡේරත්න මහතා හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම ඇමතිවරයෙක්‌ ද විය. එකම දියණිය විවාහ වී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ප්‍රභූ පවුලකිනි.

1975 වර්ෂයේ දී සමස්‌ථ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බඳු වු ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුරට මෙතුමා තෝරා පත්කරගත් පසු ශ්‍රී දළදා වහන්සේගේ වතාවත් ඔහු විසින් නොපිරිහෙලා ඉටු කරන ලදී.

පිය ආභාෂයෙන් දේශපාලන ක්‍ෂේත්‍රයට පිවිසුනු විඡේරත්න මහතා 1976 වසරේ දී දැදිගම එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පත් කරන ලදී. 1977 වසරේ පැවැති මහ මැතිවරණයේදී ඔහු දැදිගම ආසනයට එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා වශයෙන් තරග වදින ලද අතර, එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ මේ රටේ කෘතහස්‌ත දේශපාලඥයෙකු වූ අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායක ශ්‍රීමතානන් ය. විඡේරත්න මහතා දැදිගම ආසනය ජය ගැනීමට සමත් විය.

ඡේ. ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන ඇමතිවරයා හා අධිකරණ ඇමතිවරයා වශයෙන් පුරා වසර දහයක්‌ ඔහු සේවය කළේය. පිරිවෙන් පනත හා සංඝාධිකරණ වැනි පනත් පාර්ලිමේන්තුව මගින් සම්මත කරවා ගැනීමට එතුමාට හැකිවිය. ඒ හැරුණුවිට අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය චීන රජයේ උපකාර මත පිහිටුවාලීමට ද එතුමාට හැකි විය.

මෙසේ රටට ඵලදායී සේවාවක්‌ කළ මෙම යුග පුරුෂයා 1989 වසරේ මහ මැතිවරණයට ඉදිරිපත් නොවී ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ලැබීය. ඉන් අනතුරුව සෝවියට්‌ සමාජවාදී ජනරජයේ තානාපති වශයෙන් ඔහු කලක්‌ කටයුතු කරන ලදී. තමන් උපන් දේශයට ණය නොවී එයට අභිමානවත් සේවාවක්‌ ඉටු කළ දක්‍ෂයෙකු වූ ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විඡේරත්න මැතිතුමා වර්ෂ 2007 දී තමන් ආදරය කළ ශ්‍රී ලාංකික ජනතාවගෙන් සදහටම සමුගන්නා ලදී. මෙම කෘතහස්‌ත දේශපාලඥයාට උතුම් වූ නිවන් සුවය ප්‍රාර්ථනය කරමි.

මහ ලේවායේ සුගතපාල වේරදූව

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.