ඇමැති තොණ්‌ඩමන් බැණවැදුණයි විරෝධය පා
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාලය වැසීමෙන් රෝගීහු පීඩාවට

සටහන මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

හැටන්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතාට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්‌ඩමන් මහතා විසින් ඉකුත් (14 දා) බැණවැදී තර්ජනය කළේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණයක්‌ මත කොටගල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (16 දා) සිට වසා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ රෝගී ජනතාව දැඩි අසීරුතාවට පත් වූහ.

කොටගල ලංකා කම්කරු කොංග්‍රස්‌ මූලස්‌ථානයේදී ඉකුත් (14 දා) තොණ්‌ඩමන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආපදා

රැස්‌වීමකදී කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ සේවය නිසි ලෙස ඉටුනොකරන බව පවසමින් තොණ්‌ඩමන් අමාත්‍යවරයා විසින් වෛද්‍ය නිලධාරිවරයාට බැණවැදී ස්‌ථාන මාරුවක්‌ ලබා දීමට කටයුතු කරන බව කියනු ලැබූ සිද්ධියක්‌ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි රැස්‌වීමක්‌ කැඳවා අමාත්‍යවරයා වෛද්‍යවරයාගෙන් සමාව ගතයුතු බවට මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කර තිබිණි.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය (16 දා) දින වසා දමා එම ඉල්ලීමට තොණ්‌ඩමන් අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ඇති සියලුම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ද වසා වැඩ වර්ජනයක්‌ ආරම්භ කරන බවට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගෙන තිබූ තීරණය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ (16 දා) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත කුඩා ළමයින් රැගෙන ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි දෙමව්පියන් කියා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වසා දැමීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් එය කඩිනමින් විවෘත කර රෝගී ජනතාවට ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන ලෙසත්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.