මුල් පුටුවේ දත් දොස්‌තර අමාත්‍යංශයේත් දත් ගලවයි

මහියංගණ - රංජිත් කරුණාවීර

බදුල්ල දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලැබූ ස්‌ථාන මාරුවීම් මගහැර සිටීම සඳහා ඔහු විසින් මෙතෙක්‌ කල් නොතිබූ අලුත් තනතුරක්‌ නිර්මාණය කර ගනිමින් සේවයේ යෙදෙන බවත් වසර 10 කට අධික කාලයක්‌ එම ස්‌ථානයේ සේවයේ යෙදී ඇති බවත් ඔහු විසින් නිර්මාණය කරගෙන ඇති අලුත් සේවා තනතුරේද වසර 4 කට අධික කාලයක්‌ සේවය කරන බවට අනාවරණය වෙමින් පවතී. නව තනතුර සඳහා ඌව පළාත් ආණ්‌ඩුකාරවරයාගේද අනුමැතිය ලැබී නොමැති අතර එසේ තිබියදී මෙතරම් කාලයක්‌ මෙම නතතුරේ කෙසේ සේවය කළේද යන්න පිළිබඳ විමතියට කරුණකි.

අවස්‌ථා කිහිපයකදී ස්‌ථාන මාරුවීම් ලැබුණද මෙම වෛද්‍යවරයා පෙර සිටි තනතුරේ අතිරේක ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරි යෑයි අලුත් නතතුර සාදා ගෙන ගැටලුවකින් තොරව වැටුප් ලබමින් වසර ගණනාවක්‌ සේවයේ යෙදී ඇත. මෙම වෛද්‍යවරයා පෙර සිටි තනතුර සඳහා වර්තමානයේ වෛද්‍යවරියක්‌ කටයුතු කරන අතර එම වෛද්‍යවරියට ඇගේ රාජකාරි නිසි අයුරින් ඉටු කිරීමට නොහැකිව ඇත්තේ මෙම වෛද්‍යවරයාගේ තනතුර හා නිරන්තරයෙන් ඇඟිලි ගැසීම් හේතුවෙනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් දැනුවත් නොවීම හා ඒ සම්බන්ධයෙන් සොයා බලා රාජකාරිය නොකිරීම පිළිබඳවද, විවිධ උප්පරවැට්‌ටි යොදමින්, ස්‌ථාන මාරුවීම් මඟහරිමින් වසර 10 කට වඩා එකම ස්‌ථානයේ සේවය කරයි. මෙම දන්ත වෛද්‍යවරයා පිළිබඳ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ දන්ත චිකිත්සකවරියන් හා දන්ත ශල්‍ය වෛද්‍යවරු සියලුදෙනාගේ දැඩි අප්‍රසාදය පළ කර සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.