බස්‌නාහිර ඩෙංගු මැඩීමට
හමුදා මෙහෙයුම හෙට සිට තෙදිනක්‌


සිරිමෙවන් කස්‌තුරිආරච්චි

බස්‌නාහිර පළාතේ ඩෙංගු මර්දනය සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ මෙහෙයුමක්‌ හෙට (20දා) සිට ක්‍රියාත්මක කරන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවැසීය.

හෙට (20දා) සිට 22 දා දක්‌වා දින 03 ක්‌ සිදුකෙරෙන මෙම ඩෙංගු මර්දන මෙහෙයුමට යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවෝ සමග පොලිසිය සිවිල් ආරක්‍ෂක බළකාය සහ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන, සෞඛ්‍ය, අධ්‍යාපන පළාත් පාලන, පරිසර, නීතිය හා සමාය යන අමාත්‍යාංශද සහභාගි වෙති.

බස්‌නාහිර පළාතේ කොළඹ, කළුතර, ගම්පහ යන දිස්‌ත්‍රික්‌කවල තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 84 ක නිවාස හා පරිශ්‍රයන් 1,04708 ක්‌ පරීක්‍ෂාවට ලක්‌ කරමින් මෙම ඩෙංගු මර්දන මෙහෙයුම ක්‍රියාත්මක වන අතර, කොළඹ, කළුතර, ගම්පහ දිස්‌ත්‍රික්‌ක සඳහා පිළිවෙළින් යුද, නාවික හා ගුවන් හමුදා කණ්‌ඩායම් සහභාගි වෙති. පොලිස්‌ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් සහ වෛද්‍ය, පරිපුරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු සෞඛ්‍ය සේවා නිලධාරීන්ද මෙම මෙහෙයුමට සහභාගී වෙති.

පසුගිය සමයේ රජයේ සහ පොදු ස්‌ථාන ශුද්ධ පවිත්‍ර කිරීම වැනි ඩෙංගු මර්දන ව්‍යාපෘති සඳහා ත්‍රිවිධ හමුදාව සහභාගි වුවද, මෙවැනි සැලසුම් සහගත පුළුල් ඒකාබද්ධ ඩෙංගු මර්දන මෙහෙයුමක්‌ සඳහා සහභාගී වන ප්‍රථම අවස්‌ථාව මෙය බවද බ්‍රිගේඩියර් වනිගසුරිය පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.