ඇමැති තොණ්‌ඩමන්ට විරෝධය පා
නුවරඑළියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු වැඩවරති


මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

පශූ සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගන් තොණ්‌ඩමන් මහතා විසින් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතාට ඉකුත් (14දා) දින අභූත චෝදනා නඟමින් බැණ වැදී තර්ජනය කළේ යෑයි කියන සිද්ධියකට විරෝධය දක්‌වමින් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවයේ නියුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු ඊයේ (18දා) දින සේවයෙන් බැහැරව සිටීම නිසා එම වෛද්‍ය කාර්යාලවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි දහස්‌ ගණනක්‌ රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ.

මධ්‍යම පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති නුවරඑළිය, කොටගල, ලිඳුල, බගවන්තලාව, මස්‌කෙළිය, අඹගමුව, මතුරට, නව තිස්‌පනේ, වලපනේ, හඟුරන්කෙත, කොත්මලේ, රාගල හා නුවරඑළිය නගර සභාව යන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 13 ක ඊයේ (18දා) දින මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසයි. කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස්‌ මූලස්‌ථානයේදී ඉකුත් (14දා) දා තොණ්‌ඩමන් ඇමැතිවරයා ප්‍රධානත්වයෙන් පැවැති හදිසි ආපදා රැස්‌වීමේදී කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ සේවය නිසි ලෙස ඉටු නොකරන බව පවසමින් තොණ්‌ඩමන් ඇමැතිවරයා විසින් වෛද්‍ය නිලධාරි ජගත් අබේගුණරත්න මහතාට බැණ වැඳී ස්‌ථාන මාරුවක්‌ ලබා දීමට කටයුතු කරන බවට පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි රැස්‌වීමක්‌ කැඳවා අමාත්‍යවරයා වෛද්‍යවරයාගෙන් සමාව ගතයුතු බවට මාධ්‍ය නිවේදනයක්‌ද නිකුත් කර තිබිණි.

මෙම තත්ත්වය සමග කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය (16 දා) සිට වසා දමා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවක්‌ පවත්වා ඇතත් එයටද මේ වනතෙක්‌ නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඊයේ (18දා) දිනයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සේවයෙන් වෛද්‍යවරු බැහැරව සිටීමට තීරණය කළ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධව විශේෂ රැස්‌වීමක්‌ පවත්වන බව පවසන වෛද්‍ය නවීන්ද සොයිසා මහතා, කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය ජගත් අබේගුණරත්න මහතා තව දුරටත් එම ස්‌ථානයේම සේවයේ රැඳී සිටීම සඳහා අමාත්‍ය ආරුමුගම් තොණ්‌ඩමන් මහතා විසින් ආරක්‍ෂාව ලබා දෙන බවට පොරොන්දුවක්‌ දිය යුතු බව වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.