රජයේ රෝහලේ 'ලැබ්' තියෙද්දී ප්‍රයිවට්‌ 'ලැබ්' වලට
සල්ලි ගෙවන අහිංසක ලෙඩ්ඩු


සෑම දිනයකම රජයේ රෝහල්වල නොමිලයේ සිදු කළ හැකි රෝගීන්ගේ රුධිර හා මුත්‍රා පරීක්‍ෂණයන් ඇතුළු රසායනාගාර පරීක්‍ෂණයන් 1000 කට අධික සංඛ්‍යාවක්‌ වෛද්‍ය නිර්දේශය මත පුද්ගලික රසායනාගාර වෙත යෑවෙන බව රජයේ වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණ විද්‍යාඥ (එම්.එල්.ටී.) සංගමය පසුගියදා අනාවරණය කළේය. එම ඇතැම් පරීක්‍ෂණයන් පුද්ගලික රසායනාගාරවලදී සිදු කිරීමේදී රුපියල් 1000 කට අධික මුදලක්‌ ගෙවීමට රෝගීන්ට සිදු වන බවද හෙළි වී තිබේ.

නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව වැනි රටක මෙසේ නොමිලයේ රජයේ රෝහල් හරහා සිදු කළ හැකි රසායනාගාර පරීක්‍ෂණයන් රෝගීන්ට පෞද්ගලික අංශයෙන් මුදල් ගෙවා සිදු කර ගන්නා ලෙස පැවැසීම කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයකි. අනෙක්‌ අතට දුර බැහැර ප්‍රදේශයක සිට රෝහල් වෙත පැමිණෙන රෝගියකුට එසේ රුධිර හෝ මුත්‍රා පරීක්‍ෂණයක්‌ පිටතින් කරගෙන එන ලෙස නිර්දේශ කළ විට රසායනාගාර බිල්පතට අමතරව එහි යැම සඳහා අමතර ප්‍රවාහන ගාස්‌තුවක්‌ ගෙවීමටද රෝගියාට සිදුවේ.

රජයේ ප්‍රධාන රෝහල්වලට දිවා හා රාත්‍රී කාලයන්හි ඇතුළත් කෙරෙන රෝගීන්ට එම රෝහල් තුළම සිදු කළ හැකි සරල රුධිර පරීක්‍ෂණයන් පවා පිටතින් සිදුකර ගන්නා ලෙස වෛද්‍යවරුන් රෝගීන්ගේ ඥතීන්ට නියම කිරීම සුලභ දසුනකි. එම පරීක්‍ෂණයන් රජයේ රෝහල් තුළ සිදු කෙරෙනවා නේදැයි විමසූ විටදී වෛද්‍යවරු බොහෝ විට පවසනුයේ රෝහල් රසායනාගාරයේ පරීක්‍ෂණ වාර්තා නිසි කලට වාට්‌ටුවලට නොඑන බව හා එම පරීක්‍ෂණ සාම්පල යෑවූ විට ඒවා රසායනාගාර ශිල්පීහු ගණන් නොගන්නා බවකි.

එහෙත් රජයේ ප්‍රධාන රෝහල්වල වෛද්‍ය රසායනාගාරයන් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව කවුරුත් දන්නා දෙයකි. එසේ නම් මෙම රෝගීන්ගේ මුදල් හා ශ්‍රමය ගසා කෑම අයුක්‌තිසහගත නොවන්නේද? ඇතැම් රජයේ රෝහල් සායනවල ත්ත්තවයද මෙයට දෙවැනි නොවේ. එම සායනවල ප්‍රධාන වෛද්‍යවරුන් රජයේ රෝහල් තුළ සිදු කෙරෙන සංකීර්ණ රුධිර හා මුත්‍රා පරීක්‍ෂණයන් පෞද්ගලික අංශයෙන් කරගෙන එන ලෙස රෝගීන්ට නියම කරනුයේ රජයේ රෝහලේ සිදු කෙරෙන එම පරීක්‍ෂණයන්හි තත්ත්වය පෞද්ගලික අංශයේ තරම් ගුණාත්මක නොවන බවට එම පරීක්‍ෂණයන් හෑල්ලුවට ලක්‌ කරමිනි.

එනමුදු සත්‍ය තත්ත්වය නම් රජයේ රෝහලක වෛද්‍ය රසායනාගාරයන් තුළ සේවය කරනු ලබන වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණ විද්‍යාඥයන් (එම්.එල්.ටී.) පෞද්ගලික රසායනාගාරවල සේවය කරන එම ශිල්පීන්ට වඩා සුදුසුකම් අතින් මෙන්ම හැකියාවෙන්ද උසස්‌ මට්‌ටමක සිටින බවයි. රජයේ රෝහල් රසායනාගාරයක එම්.එල්.ටී. නිලධාරියකුට රුධිර පරීක්‍ෂණ වාර්තාවක අන්තර්ගත දැ රෝගීන්ට විස්‌තර කර දීමට වුවද හැකි වුවත් පෞද්ගලික රසායනාගාරයක එම ශිල්පියකු එසේ කිරීමට කිසිවිටකත් ඉදිරිපත් නොවේ.

රජයේ රෝහල්වල සිදු කළ හැකි මෙම රසායනාගාර පරීක්‍ෂණයන් මෙසේ ඉවක්‌ බවක්‌ නොමැතිව පෞද්ගලික රසායනාගාර වෙත යෑවීම කලක සිට සිදු කෙරෙන මාµsයාවක්‌ බවට මේ වන විට පත්ව තිබේ. එහිදී වාට්‌ටුවේ සිටින රෝගියාගේ රුධිර හෝ මුත්‍රා සාම්පල රෝගියකු ඥතියකු අත පෞද්ගලික අංශය වෙත යෑවීමෙන් එම නිර්දේශිත පත්‍රිකාවෙහි අත්සන හෝa නම සඳහන් අයට පෞද්ගලික රසායනාගාරයෙන් මුදල් ලැබෙන බවට වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණ විද්‍යාඥ සංගමය චෝදනා කර සිටී.

ජාතික රසායනාගාර ප්‍රතිපත්තියක්‌ රට තුළ ක්‍රියාත්මකව තිබුණේ නම් මෙම තත්ත්වය මඟ හරවාගෙන රෝගී ජනතාවට රජයේ රෝහල් හරහාම නොමිලයේ අදාළ පරීක්‍ෂණයන් සිදුකර ගත හැකි වාතාවරණයක්‌ නිර්මාණය කළ හැකි බව එම සංගමය අවධාරණය කර සිටී. එහෙත් අවාසනාවට 2009 - 2012 අතර කාල සීමාවේදී වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණ විද්‍යාඥ සංගමයේ සෙසු පාර්ශවයන්ගේද අදහස්‌ හා යෝජනා සහිතව සකස්‌ කෙරුණු ජාතික රසායනාගාර ප්‍රතිපත්තිය මේ වන විට හමස්‌ පෙට්‌ටියට දමා තිබීම නිසා එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමද අසීරු තත්ත්වයකට පත්ව තිබේ.

වසර 2012 දී මෙම ප්‍රතිපත්තිය කැබිනට්‌ මණ්‌ඩලය වෙතද ඉදිරිපත් කෙරුණද පෞද්ගලික අංශයේ බලපෑම මත එය ඉවත් කෙරුණු බවට සෞඛ්‍ය බලධාරීන් තමන්ට පැවැසූ බව වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණ විද්‍යාඥ සංගමයේ සභාපති ජානක නිශාන්ත මහතා පවසයි. එකී ප්‍රතිපත්තිය සකස්‌ කිරීමේ දී තම සංගමය විසින් රජයේ රෝහල්වල රසායනාගාර පහසුකම් පුළුල් කිරීම, අත්‍යවශ්‍ය රසායනාගාර පහසුකම් පැවැතියදී රෝගීන්ගේ නිදර්ශක පරීක්‍ෂාවට පුද්ගලික රසායනාගාර වෙත යෑවීම වැළැක්‌වීම, අධික මිල ගණන් අය කරමින් රසායනාගාර පරීක්‍ෂණයන්ගෙන් රෝගීන් ගසා කෑම නවතාලීම සහනශීලී මිල නියාමනයක්‌ ඇති කිරීම, රසායනාගාර සේවයේ නියුතු අවිධිමත් පිරිස්‌ හා හොර රසායනාගාර පරීක්‍ෂා කිරීම ඇතුළු යෝජනා 50 ක්‌ ඉදිරිපත් කළ බව ඔහු කියා සිටී.

මෙකී කරුණු හා විද්වත් හා මහජන අදහස්‌ ද ලබා ගෙන වසර තුනක්‌ මුළුල්ලේ සකස්‌ කළ රසායනාගාර ප්‍රතිපත්තිය හුදෙක්‌ පෞද්ගලික රසායනාගාරවල බලපෑම මත හමස්‌ පෙට්‌ටියට යෑවීම ජාතික අපරාධයක්‌ බව නොකිවමනාය. මෙහිදී වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණ විද්‍යාඥ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන ආකාරයට ඉහත කී රසායනාගාර ප්‍රතිපත්තියටද ජාතික ඖෂධ ප්‍රතිපත්තියට වූ දේම සිදු වන ලකුණු පහළ කරමින් සති එකහමාරකට පමණ පෙර සිට පෞද්ගලික රසායනාගාර හිමියන්ගේ අනුදැනුම ඇතිව අලුත් රසායනාගාර ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමේ වෑයමක්‌ පවතී. මෙම තත්ත්වය රෝගීන්ගේ පැත්තෙන් නම් යහපත් වූවක්‌ නොවේ. දැනටමත් පෞද්ගලික රසායනාගාරයන් රෝගීන්ගෙන් රෝගී පරීක්‍ෂණයන් සඳහා අධික ලෙස මුදල් ගසා කෑම සිදු කරමින් සිටී. රසායනාගාරයෙන් රසායනාගාරයට පරීක්‍ෂණ සඳහා අය කරන මුදල වෙනස්‌ වන අතර මෙය නිසි මිල පාලනයක්‌ නොමැතිකමේ ප්‍රතිඵලයන්ය.

අනෙක්‌ රෝගීන්ගේ රුධිර හා මුත්‍රා පරීක්‍ෂණයන් සිදු කරනු ලබන හොර රසායනාගාරයන් හතු පිපෙන්නාක්‌ මෙන් නගර හා ගම් ආශ්‍රිතව බිහිව ඇති බව අසන්නට ලැබේ. මේවායේ රුධිර සාම්පල ලබා ගැනීමට භාවිත කරන සිරින්ජරයේ සිට භාවිත වන කිසිදු උපකරණයක්‌ නියමිත ප්‍රමිතියක නොපවතී. අවසානයේ මෙවැනි මධ්‍යස්‌ථානයකින් රුධිර පරීක්‍ෂණයක්‌ සිදු කර ගැනීමට යන රෝගියකුට එහි භාවිත වන උපකරණවල තත්ත්වය බාල වීම නිසා ඒඩ්ස්‌ වැනි සමාජ රෝගවලට ගොදුරු වීමට පවා සිදුවන තත්ත්වයක්‌ පවතී. එකම සිරින්ජර් කටුව රෝගීන් කිහිපදෙනකුට භාවිත කිරීම මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීමට හේතු වේ.

මෙරට බිහිවන හොර වෛද්‍ය රසායනාගාරයන් පිළිබඳ පරීක්‍ෂා කිරීම හා ඒවායේ ගුණාත්මක තත්ත්වය විමසා බැලීම සඳහා වෙනම අංශයක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පැවැතියද හොර රසායනාගාර බිහි වීමේ අඩුවක්‌ නම් දක්‌නට නොමැත.

මෙකී තත්ත්වය වළක්‌වාලීම සඳහා දැනට හමස්‌ පෙට්‌ටිය තුළ දමා ඇති ජාතික වැදගත්කමකින් යුත් ජාතික රසායනාගාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට දැන්වත් බලධාරීන් පියවර ගත යුතුය. හුදෙක්‌ පුද්ගලික අංශයේ උවමනා එපාකම් ඉටු කිරීමට වඩා රෝගී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව සැලකිලිමත් වන්නේ නම් එය සිදු කිරීම අසීරු නොවේ. වසර තුනක්‌ මුළුල්ලේ සකස්‌ කර අවසන් කළ රසායනාගාර ප්‍රතිපත්තියට ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අත්වූ ඉරණම අත් නොවේවා යි යන්න මෙරට ලක්‍ෂ සංඛ්‍යාත රෝගී ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනය වනවා නොඅනුමානය.

* ඒමන්ති මාරඹේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.