දිනකට අලුත් ඩෙංගු රෝගීන් 300ක්‌!
රජයේ රෝහල් පරීක්‍ෂණ මඟඅරී

අජිත් අලහකෝන් සහ ඒමන්ති මාරඹේ

ඩෙංගු අධිවසංගත තත්ත්වයකට පත්ව තිබුණත් ඩෙංගු රෝගීන් සඳහා සිදුකෙරෙන ප්‍රධාන පරීක්‍ෂණ දෙකක්‌ මේ වනවිට රජයේ රෝහල්වල සිදු කිරීම අතහැර දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින ඉරිදා සංග්‍රහය" ට වාර්තා වේ.

මේ වන වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිනකට ඩෙංගු රෝගීන් 200 - 300 ත් අතර සංඛ්‍යාවක්‌ වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තත්ත්වය මෙසේ වුවද ඩෙංගු වෛරසය ශරීරගතව ඇත්දැයි යන්න පරීක්‍ෂා කිරීම සඳහා සිදු කෙරෙන "ඇන්ටිපේන්" පරීක්‍ෂණ සහ ඩෙංගු වෛරසය රුධිරයට ඇතුළු වූ පසු ඊට එරෙහිව සෑදෙන ප්‍රතිදේහ පිළිබඳ සෙවීම සඳහා සිදු කෙරෙන ඇන්ටිබොඩි පරීක්‍ෂණය මෙසේ රෝහල්වල සිදු නොකෙරෙන බව පැවසේ.

අදාළ පරීක්‍ෂණ පිටතින් සිදු කරගෙන එන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරන අතර ඒ සඳහා පෞද්ගලික රසායනාගාර විසින් රුපියල් 5000 කට ආසන්න මුදලක්‌ අය කරන බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මුදලින් කොටසක්‌ රෝහලේ අදාළ වෛද්‍යවරයාට ලැබෙන බවට ද චෝදනා එල්ල වේ.

ඉහත පරීක්‍ෂණ දෙක රෝහල්වලින් සිදු කෙරෙන්නේ නම් රුපියල් 150 ක්‌ වැනි සුළු මුදලක්‌ වැය වන නමුත් ඊට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය රෝහල් වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උනන්දු නොවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩෙංගු කල්තියා හඳුනා ගැනීමට සිදු කෙරෙන මෙම පරීක්‍ෂණ රෝහල් වෙතින් සිදු නොකිරීම, නිසි අවස්‌ථාවේදී රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට බාධාවක්‌ව ඇත.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්‌වා ඩෙංගු රෝගීන් 13,000 ක්‌ පමණ දිවයින පුරා වාර්තා වී ඇති අතර රෝගීන් පනහකට ආසන්න සංඛ්‍යාවක්‌ මරණයට පත්ව ඇත.

ඩෙංගු රෝගීන් වැඩියෙන් වාර්තා වන්නේ බස්‌නාහිර පළාතෙන් වන අතර පසුගියදා කොළඹ මහනගර සභාව මගින් කොළඹ නාගරික බලප්‍රදේශයේ සිදු කළ සමීක්‍ෂණයකට සහභාගි වූවන්ගෙන් සියයට 90 ට ඩෙංගු වෛරසය ශරීරගතව ඇතැයි ද සොයාගෙන ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.