මලය රට ආශ්‍රිත ජනාවාසකරණය

බලංගොඩ මානවයා, ආචාර්ය පී. දැරණියගලගේ සිතුවමකි.

ආචාර්ය තුසිත මැන්දිස්‌
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාව වර්ග සැතපුම් 25,332 කින් සමන්විත දිවයිනකි. භූ භෞතික පිහිටීම අනුව පහත් බිම් කලාපය හා මධ්‍ය කඳුකරය වශයෙන් පැහැදිළි ලෙස කොටස්‌ දෙකකින් යුක්‌තවේ (Cooray(1984). සම්භාව්‍ය සාහිත්‍ය මූලාශ්‍රය මධ්‍ය කඳුකරය හඳුන්වා ඇත්තේ මලය, මලයරට්‌ඨය, මහා මලයරඨය හා ගිsරි මණ්‌ඩලය වශයෙනි. (සෙනෙවිරත්න, 1996) අප රටේ ඉතිහාසය අධ්‍යයනයේදී අවධානයට ලක්‌ නොවූ භූමියක වශයෙන් හැඳින්විය හැකි මලය රට වර්තමාන පුරාවිද්‍යා පර්යේෂණවල ප්‍රතිඵලය මත ඉතා වැදගත් මානව ජනාවාස කරණය පිළිබඳ සාධක අනාවරණය වන හා පුරා භෞතික සම්පත් පරිහරණයට අදාළ වැදගත් තොරතුරු රාශියකින් හෙබි භූමියක්‌ වශයෙන් හඳුනාගත හැකිය.

මධ්‍ය කඳුකරය ආශ්‍රිත ආදීතම ජන පදිංචි වීමේ මෝස්‌තරය පිළිබඳ විමර්ශනය කිරීමේදී එම තත්ත්වය ප්‍රාග් ඓතිහාසික අවධියේ සිට ආරම්භ වන බව වසර දෙසීයකට වැඩි කාලපරාසයක්‌ තුළ සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලින් පැහැදිළි වේ. 1885 වර්ෂයේදී ඊ. ඊ. ග්‍රීන් (E.E. Green) විසින් සිදුකළ ගවේශනවලදී ගම්පොළ හා පේරාදෙණිය ප්‍රදේශවලින් ප්‍රාග් ඓතිහාසික මානවයන් භාවිත කරන ලද ශිලා මෙවලම් සොයා ගැනීමේ සිට (Sarasin 1926 Deraniyagala in 1992) මේ දක්‌වා ඉතා විශාල ප්‍රමාණයක්‌ ප්‍රාග් ඓතිහාසිකච මානව සැකිලි මෙන්ම මානව කෘතක සාධක සොයා ගෙන තිබේ. දැනට හඳුනා ගෙන තිබෙන සාධකවලට අනුව මධ්‍ය කඳුකරයේ ආශ්‍රිත පැරණිතම මානව ජනාවාස වීම් ප්ලයින්ටෝසින අවධියේ මධ්‍ය පුරාශිලා යුගයේ (Middle Palaeolithic) සිදුවී තිබෙන බව ප්‍රබල ලෙස විශ්වාස කරනු ලැබේ. පී. ඊ. පී. දැරණියගල විසින් රත්නපුර තැත්පතුව (Rathnapura Bed) ආශ්‍රිතව සොයාගෙන තිබෙන වානර මානවයකුට අයත් දත් සාධක හා එම මානවයා භාවිත කරන ලද්දැයි විශ්වාස කරන ශිලා මෙවලම් සාධක අනුව අදින් වසර 80,000 කට පමණ පෙර මධ්‍ය පුරාශිලා අවධියේදී මානව ජනාවාස වීම් රත්නපුර තැත්පත්තුවෙන් සොයාගත හැකි වී තිබේ. කාල පරාසයට අදාළව පුළුල් මානව සාධක සොයාගෙන නොමැති වුවත් මධ්‍ය කඳුකරයේ මානව ක්‍රියාකාරීත්වය ඉතා ඈත අතීතයට ගමන් කරන බව ඉන් හඳුනා ගත හැකිවේ. (Deraniyagala 1958) බලංගොඩ සංස්‌කෘතිය ලෙස පී. ඊ. පී. දැරණියගල අර්ථ දක්‌වන මෙම සංස්‌කෘතියේ ජීවත් වූ මානවයා නිර්මාණය කරන ලද පෙබලු උපකරණ (Pebble tool) හා න්‍යෂ්ඨීන් (Core) හා පලතුරු උපකරණ (Flake) අනුව බලංගොඩ මානවයා තම ජීවනෝපාය සරිකර ගැනීම සඳහා භාවිත කරන ලද මෙවලම් නිපදවීමට ස්‌වභාවික සම්පත් ලෙස තිරුවානා (Quartz) හා කහඳ (Chertz) වර්ග යොදා ගැනීම ද කැපී පෙනේ (ibid). විශේෂයෙන්ම පරිසරය මත තම ජීවන රටාව ගොඩනැන් වූ මෙම මානවයා තමා අවට පරිසරයේ ඇති දැඩි භාවය හා තියුණු මුවහත් භාවයෙන් යුත් මෙවලම් නිපදවීමට අවශ්‍ය ස්‌වභාවික අමුද්‍රව්‍ය වසර 80,000 කට පෙර කාලයේ හඳුනා ගැනීම ද මෙහිදී වැදගත් වන අතරම මානව පරිණාමය තුළදී ඉන්පසු යුගයට ප්‍රවිශ්ට වීමට ඉතා වැදගත් අඩිතාලමක්‌ ඉන් තබා ඇති බව පෙන්වා දිය හැකිය.

මධ්‍ය කඳුකරය ආශ්‍රිත පුරා සමාජ හා සම්පත් පරිහරණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මීළඟට ප්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා අවධිය (Mesolithic) ඉතාම වැදගත් වේ. අදින් වසර 40,000 කට පෙර සිට ක්‍රියාත්මක වූ මේ සංස්‌කෘතියට අදාළ තොරතුරු රාශියක්‌ මධ්‍ය කඳුකරයෙන් වාර්තා වී තිබේ. ඒ අතරින් කුරුවිට බටදොඹ ලෙන, කිතුල්ගල්බෙලි ලෙන, බෙල්ලන්බැඳි පැලැස්‌ස, රාවණා ඇල්ල හා කෑගල්ල අසල දොරවක හා අලු ලෙන තුළින් මධ්‍ය ශිලා මානවයාට අයත් ජීවනෝපාය හා ජනාවාස තත්ත්වය හඳුනා ගැනීමට අවකාශ ලැබීම තුළින් මධ්‍ය කඳුකරය එම වකවානුව තුළ බලංගොඩ මානවයාට කොතරම් ආකර්ශනීය කලාපයක්‌ වූවාදැයි පැහැදිළි වේ.

අදින් වසර 40,000 ක්‌ තරම් ඈතට දිවෙන ඉතිහාසයක්‌ ඇති කුරුවිට පිහිටි බටදොඹලෙන තුළින් මානවයා මෙන්ම ඔහුට අයත් මානව කෘතක සාධක රාශියක්‌ වාර්තා වී තිබේ. (මනමේන්ද්‍රආරච්චි ( 2012) බටදොඹලෙන ආශ්‍රිතව වාර්තා වූ ජනාවාස ස්‌ථර වලින් මෙසොලිතික මානවයාට අයත් සැකිලි සාධක අදින් වසර 28500 හා 16000 අතර කාලයට අයත් බවට කාලය නිර්ණය වී තිබේ. පොදුවේ බලංගොඩ මානවයා ලෙස ව්‍යවහාර කරන මෙම මානව පරපුරට අයත් මානව සාධක මධ්‍ය කඳුකරයට අයත් තවත් වාසස්‌ථාන ලෙස සැලකෙන කිතුල්ගල බෙලිලෙනෙන් අදින් වසර 13,000 කට පෙරත් බෙල්ලන්බැඳි පැලැස්‌සෙන් අදින් වසර 6500 කට අයත්ව හඳුනාගෙන තිබේ. කුරුවිට බටදොඹලෙනෙන් විවිධ කාලපරාස නියෝජනය වන ලෙස ලැබී ඇති මානව සැකිලි ප්‍රමාණය 38 ක්‌ වන අතර බෙල්ලන් බැඳි පැලැස්‌ස එළිමහන් වාසස්‌ථානයෙන් පුද්ගලයන් දොළොස්‌දෙනකුට අයත් සාධක හඳුනාගෙන තිබේ. මධ්‍යශිලා අවධිය වන විට හෝමෝ සේපියන් බලන්ගොඩ එන්සින් (Home
Sapeance Balangodaensis) වශයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයා මධ්‍යකඳුකර කලාපය තුළ වසර 40000 කට පෙර සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් ආ බව පැහැදිළි වේ. කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල, බෙලිලෙන, බෙල්ලන්බැඳි පැලැස්‌ස ආශ්‍රිතව වාර්තා වී ඇති මානව සැකිලි භෞතික හා මානව විද්‍යා පර්යේෂණවලට ලක්‌කොට තිබෙන අතර එම පර්යේෂණ ප්‍රතිඵල තුළින් අවම වශයෙන් අදින් වසර 13000 කට පෙර සිට වර්තමාන වැදි පරපුර දක්‌වා ඔවුන් අඛණ්‌ඩ ජාන ප්‍රවාහයක්‌ පවත්වාගෙන ආ බව හඳුනාගෙන තිබේ (Kennedy : 1974 : Kennedy et at : 1987). ශ්‍රී ලංකාවේ මානව පරිනාමය තුළින් මධ්‍ය කඳුකරය ආශ්‍රිතව ජීවත් වූ මධ්‍යශිලා මානවයාගේ ජාන ප්‍රවාහයන් අනුව ඔහු වර්තමාන පරපුරේ මී මුත්තා ලෙස සැලකිය හැකිය. එම නිසා බලංගොඩ මානව ජාන ප්‍රවාහය ශ්‍රී ලංකාවේ ජන සංවර්ධනය සඳහා දිගු කලක්‌ බලපවත්වා ඇති බව ඒ අනුව පැහැදිළිව පෙනේ. එසේම කුරුවිට බටදොඹලෙන පුරාවිද්‍යා සන්දර්භයන්ට අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් නික්‌ම ගිය කාල පරාසයට සමාන වන දත්ත සමග සමකාලීන තොරතුරු එහි පවතින බැවින් ශ්‍රී ලංකාවට පමණක්‌ නොව මුළු ලෝකයටම මධ්‍ය කඳුකරයේ ජීවත් වූ මානවයා වැදගත් වන බව පෙන්වා දිය හැකිය. (මනමේන්ද්‍ර ආරච්චි ( 2012).

මධ්‍යශිලා මානවයා මධ්‍ය කඳුකරයේ ක්‍රියාත්මක කොට ඇති දඩයම් හා එකතු කිරීමේ ආර්ථිකය (Hanting and gathering System) සඳහා සුවිශේෂි මෙවලම් නිෂ්පාදනය කොට ඇත. එහිදී ජ්‍යාමිතික ස්‌වරූපි ක්‍ෂද්‍ර ශිලාමය මෙවලම් (Microlithics) ජ්‍යාමිතික නොවූ බලංගොඩ උල් ආයුධ (Balangoda Point) සුවිශේෂ නිර්මාණ වේ. ඒවා නිපදවීමට තිරුවානා හා කහඳ පාෂාණ ස්‌වාභාවික සම්පත් ලෙස භාවිත කිරීම ද වැදගත් වන අතරම මීට අමතරව සත්ත්ව අං හා අස්‌ථි යොදා ගත් නිර්මාණ රාශියක්‌ ද ඔහු භාවිත කොට තිබීමෙන් මෙන්ම ගිනි දැල්වීමට භාවිත සිදුරු සහිත ගල් හමුවීමෙන් මේ මානවයා තාක්‍ෂණික හා සංස්‌කෘතික ලෙස දියුණුවක්‌ ලබා ඇති බව පැහැදිළිය.

මොසොලිතික සංස්‌කෘතික අවධියේදී මලය රට ආශ්‍රිතව වාර්තා වී ඇති බලංගොඩ මානවයාට අයත් තොරතුරු අතර අවමංගල්‍ය චාරිත්‍ර ද වැදගත් වේ. බටදොඹලෙන කැනීමේදී හමු වී ඇති අදින් වසර 16000 ක්‌ පැරැණි මානව සැකිලි නමා හකුළා වළදමා තිබේ. ඊට අමතරව වසර 12500 කට අයත් ස්‌ථර වලින් ලැබුණ මානව සැකිලි ද නැමූ තත්ත්වයෙන් නැගෙනහිර බටහිර ලෙසට (බටහිරට හිස සිටින සේ) තබා තිබෙනුයේ යාම්තම් හාරාගත් වළකය. මේ තත්ත්වය බෙල්ලන්බැඳි පැලැස්‌සෙන් ද වාර්තා වී තිබේ. (Deraniyaga : 1958,
Deraniyaga : 1992) මෙම කරුණු අනුව බටහිරට හිස නමා වළ දැමීමේ චාරිත්‍රය ද ශ්‍රී ලාංකිකයන් වර්තමානය දක්‌වා රැගෙන විත් ඇත්තේ බලංගොඩ මානවයාගේ චාරිත්‍ර අනුව බව උපකල්පනය කළ හැකිය.

මලය රට ආශ්‍රිත භූ කලාපයේ පුරා මානව ජනාවාසකරණයක්‌ පිළිබඳව අධ්‍යයනයේදී ජන පිරිස්‌ හා සම්පත් අතර ඇති වන්නා වූ සම්බන්ධීකරණයේ ප්‍රතිඵලය පැහැදිළිව හඳුනාගත හැක්‌කේ පූර්ව ඓතිහාසික (Proto
historic) සංස්‌කෘතික අවදියෙනි. මෙම තාක්‍ෂණික සංස්‌කෘතියට අදාළව දැනට වාර්තා වී තිබෙන පැරැණිතම දත්ත දියතලාව හල්දුම්මුල්ල හා උඩ රංචාමඩම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. උඩ රංචාමඩම ප්‍රදේශයෙන් හමුවන මැටිඔරු (Clay cannoi) ක්‍රි. පූ. 1359 කාලය දක්‌වා පැරැණිය (Somadeva 2008). දියතලාව හල්දුම්මුල්ල ඊට වඩා පැරැණි කාලයකට අයත් බව එම පර්යේෂණ මෙහෙය වූ රා- සෝමදේවගේ මතය වී තිබේ. කෙසේ වෙතත් මීට අමතරව මධ්‍ය කඳුකරයේ උතුරු කඳු බෑවුමේ පූර්ව ඓතිහාසික අවධියට සම්බන්ධ ජනාවාස හා සුසාන ස්‌ථාන ඉබ්බන්කටුව, ගලේවෙල, රොටවැව, කණ්‌ඩලම, සීගිරිය ආදී ප්‍රදේශවලින් වාර්තා වී තිබෙන අතර බටහිර කඳු බෑවුමේ පදවිගම්පොළ හා අස්‌මඩලින් වාර්තා වී ඇත.

මධ්‍ය කඳුකරය ආශ්‍රිත පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස, ජීවනෝපාය හා සම්පත් පරිහරණය සම්බන්ධ අධ්‍යයනයන් මහනුවර සිට දඹුල්ල දක්‌වා සිදුවී තිබේ. ඒ අනුව මෙම ප්‍රදේශයේ භෞමික ක්‌ෂේත්‍රය ක්‍රි. පූ. 600 - 200 කාලය තුළ විශේෂ ආකර්ෂණයකට ලක්‌ව ඇති බව පුරාවිද්‍යා පර්යේෂණවලින් තහවුරු වී තිබේ. පූර්ව ඓතිහාසික අවධිය තුළ ද දඹුල්ලේ සිට නාලන්ද හරහා මාතලේ දක්‌වාත් එතැන් සිට මහනුවර දක්‌වාත් වනදුර්ග හා ගිsරිදුර්ගවලින් ගහන ප්‍රදේශයට මිනිසුන් ප්‍රවිශ්ට වන්නේ ඛනිජ සම්පත්වලට පැවති ඉල්ලුම නිසා බව හඳුනාගෙන තිබේ (Seneviratne). විශේෂයෙන්ම මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ඉහළ කලා ඔය නිම්නය දක්‌වා පිහිටි උස්‌භූමි වැටියෙනි. බහුල ලෙස නිධි ගත වූ ඛණිජ සම්පත් පිහිටා තිබේ. භූ විද්‍යා අධ්‍යනවලට අනුව ඉහළ කළා ඔය පද්ධතිය තුළ තිරුවානා, කිරිගරුඬ, ශිස්‌ට්‌, කැල්කනයිස්‌, ග්‍රැනයිට්‌, ගානට්‌, ෙµල්ඩ්ස්‌µdර්, සිල්මනයිට්‌, රිදී, තඹ හා මිනිරන් පිහිටා ඇත (Cooray  1984). මීට අමතරව මෙම භූමිය කුළු බඩු ශාක වර්ධනයට බෙහෙවින්ම හිතකර භූමියක්‌ වේ. විශේෂයෙන් ක්‍රි. පූ. 1000 පමණ වනවිට උතුරු මැද වියළි තැනිතලා භූමිවල වාස භූමි ඇති කරගත් පූර්ව ඓතිහාසික ප්‍රජාව ඉතා සශ්‍රීක කෘෂි භූමි පසුකර ක්‍රි. පූ. 700 පමණ වන විට මධ්‍ය කඳුකරයේ උතුරු බෑවුම තුළ අර්ථ ස්‌ථාවර ජන කණ්‌ඩායම් ලෙස වාස භූමි පිහිටුවා ගනු ලබන්නේ උතුරු මධ්‍ය කඳුකරය තුළ තිබෙන සම්පත් අත්පත් කර ගැනීමට බව පෙන්වා දිය හැකිය. සීගිරිය, ගලේවෙල, රොටවැව, ආනෙකටාව, කණ්‌ඩලම, ඉබ්බන්කටුව වැනි ප්‍රදේශවල පිහිටුවා ගන්නා මෙවැනි ජනාවාස ඉහළ කඳුකර කලාපයේ ඇති අමුද්‍රව්‍ය අත්පත් කොටගෙන හුවමාරු මාධ්‍යක්‌ ලෙස හෝ බෙදාහැරීම් මාධ්‍යයක්‌ ලෙස භාවිත කළ බවට සාධක ඉබ්බන්කටුවේ සිදුකරනු ලැබූ මතුපිට විමර්ශන වලින් තහවුරු වේ. විශේෂයෙන්ම එම ප්‍රදේශයට ආවේණික නොවන තිරුවානා හා කහඳ පාෂාණ එහිදී වාර්තා වී තිබේ. (සෙනෙවිරත්න ( 1996) මේවා ඉහළ කඳුකර කලාපයේ ජනාවාස වල සිට පහත් කඳුකර කලාපයට හුවමාරු මාධ්‍ය ලෙස පැමිණි අමුද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇත. පූර්ව ඓතිහාසික අවධියේ සිදු වූ මෙම ඛණිජ සම්පත් හුවමාරුව සාර්ථක ආකාරයෙන් හඳුනාගත හැක්‌කේ අනුරාධපුර ඇතුල්පුර හා ෙ-තවනයේ සිදුකරනු ලැබූ කැනීම් මගිනි. එම කැනීම්වලදී පූර්ව ඓතිහාසික මට්‌ටමේ ජනාවාස ස්‌ථර වලින් එම ප්‍රදේශයට ආවේනික නොවන ඛණිජ වර්ග වන ඇමතෙස්‌ත, කහඳ, රබහ, චන්ද්‍රකාන්ත පාෂාණ, පළිඟු, තෝරමල්ලි හා ජැස්‌පර් ආදී ඛණිජ වර්ග හමු වී තිබේ (Deraniyagala 1972, Seneviratne මැන්දිස්‌ 2009) විශේෂයෙන්ම අනුරාධපුර නාගරික ප්‍රදේශයේ එම අවධියේ ඛණිජ පාෂාණවල බහුල භාවිතයන්, මැණික්‌ කැපීමේ වැඩ, රත්‍රන් හා තඹ ආදී ලෝහ කර්මාන්තවල බහුල භාවිතය පෙන්නුම් කිරීම මගින් මහනුවර හා මාතලේ සානුවේ සිට සම්පත් හුවමාරුව මැනවින් සිදුවූ බව පැහැදිළිවේ. සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දෙන ආකාරයට මහනුවර සිට මාතලේ සානුව දක්‌වා ප්‍රාථමික යකඩ යුගයේ සිට ක්‍රියාත්මක වූ මාර්ග පද්ධති මහවැලි නිම්නයේ සිට හුලංගමුව, යටවත්ත, ගල්ලෙන්වත්ත, අළුවිහාර, තල්ගහගොඩ, අස්‌ගිරිය, යටවත්ත, ගනේගෙදර, සූළුපනාවනු විහාරය, නීලගම, රැසිගම සිට දඹුල්ල දක්‌වා ගමන්කොට ඇත. (Seneviratne 1996).

මධ්‍ය කඳුකරය ආශ්‍රිතව පූර්ව ඓතිහාසික අවධියේ සිදුවූ සම්පත් පරිහරණ ක්‍රියාවලිය මහා පරිමාණ ආකාරයෙන් කළඑළි බැසීම සිදුවන්නේ මින් පසුව එළඹෙන තාක්‍ෂණික සංස්‌කෘතික අවධිය වන මුල් ඓතිහාසික (Early historic) අවධියෙනි. විශේෂයෙන්ම මහනුවර මාතලේ නාලන්ද හා කෑගල්ල ආශ්‍රිතව ස්‌ථානගත ව ඇති මුල් ඓතිහාසික අවධීන්ට අයත් (ක්‍රි. පූ. 3-1) පූර්ව බ්‍රාහ්මී අභිලේඛණවල අන්තර්ගතය තුළින් පුරාණ සමාජ හා එම සමාජ ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුකරනු ලැබූ ක්‍රියාවලිය හඳුනාගත හැකිය. තෙල්දෙණියට නුදුරු බඹරගල ආශ්‍රිතව හමුවන එක්‌ ශිලා ලිපියක පොචනිරCධ නම් ප්‍රාදේශීය පාලකයකු පිළිබඳව සඳහන් වේ.

එසේම මහනුවරට නුදුරු ගුරුදෙණියේ පිහිටි ගෝනවත්ත නම් ස්‌ථානයේ පිහිටා ඇති තවත් පූර්ව බ්‍රහ්මී අභිලේඛනයක මචුඩික නමැති පාලකයකු පිළිබඳ සඳහන් වේ. එසේම නාලන්දාවට නුදුරු දමෙඩ ඔයෙන් ලැබෙන තවත් ශිලා ලිපියක මචුඩිකරCධ මහාචුඩික රජු ලෙස සඳහන් පාලකයකු පිළිබඳ සඳහන් වේ. (IC Vol. 1:No 814 No:813, No : 830) ඉහත සඳහන් වන මචුඩි හෝ මහාචුඩික යන්නෙන් මහා මැණික්‌ භාරකරු ගම්‍ය වන බව සුදර්ශන් සෙනෙවිරත්නගේ මතයවේ. (Seneviratne 1996) ඔහු පෙන්වා දෙන්නේ මහනුවර හා මාතලේ සානුව ආශ්‍රිත පාලනය මෙහෙය වූ පොච්රාජ පරම්පරාව හා මචුඩික රාජ පරම්පරාව මධ්‍ය කඳුකර කලාපයේ මැණික්‌ ගල් කර්මාන්තය ආශ්‍රිත තම පාලන බලය මෙහෙය වූ හා ඒවා අත්පත් කරගෙන බෙදාහරින ලද පිරිස බවය. එමෙන්ම ගම්පොළට නුදුරු වේගිරිය දේවාල ප්‍රදේශයෙන් ලැබෙන මුල් බ්‍රහ්මී අභිලේඛන වල මණිකර, චූඩ, දඨික යන නම් සඳහන් වේ. මණිකර යන්නෙන් මැණික්‌ කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන් ද දඨික යන්නෙන් දළ කැටයම් කර්මාන්තයේ යෙදුන කාර්මිකයන්ද ගම්‍ය වන බැවින් මහනුවර හා මාතලේ සානුව තුළ මුල් ඓතිහාසික අවධියේ එම සමාජ පරිසර සම්පත් සංවිධානාත්මකව භාවිත කළ බව පෙනේ (IC Vol. i:No 807) මේ බව වැඩි දුරටත් තහවුරු වන්නේ මාතලේ උඩුපිහිල්ලෙන් මෑතදී සොයාගත් ගෝලාකාර හැඩයෙන් යුත් මැටි පුවරුවල හිනිමං සලකුණු සමග තිශ යන්න පිළිබඳව සඳහන් වී තිබීමෙනි (සෙනවිරත්න 1996). එසේම ඇබුල්අබේ මුල් ඓතිහාසික අවධියට අයත් තවත් ශිලා ලිපි කිහිපයක අයතිශ පිළිබඳව සඳහන් වේ. එම ලිපියට අනුව පාචිනරCධගේ පුත් අයතිශ ලෙස දක්‌වා තිබේ. එමෙන්ම තවත් ලිපියක පාචිනරCධගේ මුනුපුරු වූ අයතිශ ගැන සඳහන් වේ. පරණවිතාන පෙන්වා දෙන ආකාරයට බබරගල ලිපියේ පොවනිරCධ හා ඇබුල් අබේ පචිනරCධ යන නම්වල සමානතා ඇති බැවින් එම පරපුර එකම පරම්පරාවක්‌ විය හැකි බව පෙන්වා දී ඇත. (IC Vol. I:No 807) කෙසේ වෙතත් ලෙස්‌ලි ගුණවර්ධනයන්ගේ මතය වන්නේ එය පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රදේශ දෙකක ක්‍රියාත්මක වූ පාලකයන් විය හැකි බවයි. මොවුන් බොහෝ විට මැණික්‌, තලාතු, මිණිරන් හෝ ඛණිජ පාෂාණ ආශ්‍රිත කාර්මික කටයුතු සිදුකර ඇති බව සුදර්ශන් සෙනවිරත්නගේ මතය වේ. (Seneviratne : 1996).

ඉහත කාරණාවලට අමතරව මුල් ඓතිහාසික අවධියේදී ලෝහ සම්පත් පරිහරණයට අදාළ තොරතුරු ද මුල් බ්‍රාහ්මි ශිලා ලිපිවල සඳහන් වේ. ඒ අතර බබරගලින් හමුවන ශිලා ලිපියක ඇති කොළගම යන්නෙන් ලෝකුරුවන්ගේ ගම ඉන් හැඟවෙන බව සෙනවිරත්නගේ මතයයි. කොල් යන්නෙන් ද්‍රවිඩ භාෂාවෙන් ලෝහ හැඳින්වීමට භාවිත කරන වචනයක්‌ ගම්‍ය වන බැවින් කොළගම ලෝකුරුගම වශයෙන් අර්ථ දැක්‌විය හැකි බව සෙනවිරත්න පෙන්වා දෙයි (Seneviratne : 1996) එසේම බඹරගල හා තදාශ්‍රිත ප්‍රදේශයේ භූ සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලැබූ භූ විද්‍යා අධ්‍යනය මගින් එම ප්‍රදේශයේ තඹ හා රිදී පවතින බව සොයාගෙන ඇත. එමගින් තවදුරටත් තහවුරු වන්නේ මෙවැනි සම්පත් පිහිටි ප්‍රදේශ පුරාණයේ සිටම එම කර්මාන්තවල නියෑලුණු පිරිස්‌ මැනවින් හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ ඇති ඛණිජ සම්පත් පෙළපත් ප්‍රධානීන්ගේ අධිකාරි බලය යටතේ ග්‍රාම නගර හරහා මහා නගර වෙත ප්‍රවාහනය වී ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ. ඒ සඳහා මුල් ඓතිහාසික යුගයේදී මෙවැනි සම්පත් බෙදාහැරීමට පුග හෝ ශ්‍රේණි වැනි ඒකාබද්ධ මණ්‌ඩල ක්‍රියාත්මක වූ බව මාතලේ කුඩාගල ලිපියේ සඳහන් පූග, ගෝණකගල හා වැලඑල්ලු ගොඩකන්දෙන් සොයාගත් ශිලා ලිපිවල සඳහන් වන පුග වැනි විශේෂ ඒකාබද්ධ මණ්‌ඩල වැදගත් වේ. පුගය වෙළෙ¹ම බලපවත්වන ප්‍රදේශයේ මිනිසුන්ගේ විවිධ කර්මාන්ත හා වෙළෙ¹ම් සොයා බැලූ ආයතනයක්‌ බව මහින්ද කරුණානායක විස්‌තර කොට ඇත. (කරුණානායක 1967)

මේ ආකාරයට මධ්‍ය කඳුකරයේ ඛණිජ සම්පත් හා අනෙකුත් සම්පත් ඒකාබද්ධ මණ්‌ඩල ඔස්‌සේ රැස්‌කොට අනෙකුත් නගර හෝ ග්‍රාම වෙත බෙදා හැරීම සඳහා හුවමාරු යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වී තිබේ.

එම යාන්ත්‍රණය අභිලේඛනවල හා සාහිත්‍ය මූලාශ්‍රවල කඩ කණ්‌ඩ, කඩක වශයෙන් හඳුන්වා ඇත. දඹුල්ල ප්‍රදේශයේ හමුවන මුල් බ්‍රහ්මී අභිලේඛනවල උපරිකඩ (IC Vol. i:No 837) පිළිබඳ සඳහන් වේ. මෙහිදී කඩ යන්නෙන් ගම්‍ය වන්නේ වෙනස්‌ පාරිසරික භූ රූපන සහිත සම්පත් කලාප සමග සම්බන්ධ වන නිශ්චිත භූමි ප්‍රදේශයක්‌ බව සුදර්ශන් සෙනෙවිරත්නගේ මතය වේ (Seneviratne : 1996). ඔහු පෙන්වා දෙන්නේ ක්‍ෂුද්‍ර තත්ත්වයකදී කඩ යන්නෙන් කන්දක්‌ හෝ කපොල්ලක්‌ ගමක්‌ වූ අතර මුල් ඓතිහාසික අවධියේදී එම ස්‌ථාන සම්පත් එකතුකරන හා භාරගන්නා මධ්‍යස්‌ථාන ලෙස වර්ධනය වී ක්‍රියාත්මකව ඇති බවයි. (එම) ඒ අනුව කඳුකර කලාපය හා එය යා කරන ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන සම්පත් බෙදාහැරීම් මධ්‍යස්‌ථාන මගින් කඳුකරයේ හා අනෙකුත් ප්‍රදේශ සමග සම්පත් හුවමාරුවීම නිශ්චිත යාන්ත්‍රණයක්‌ මත සිදුවූ බව මැනවින් පැහැදිළිවේ. ඒ අනුව මූලාශ්‍රවල හුදකලා විවේකී ප්‍රදේශ ලෙසින් පුලින්ද, ව්‍යාධ, මිලක්‌ඛ, උපචරක, වනචරක ආදී ශිෂ්ඨත්වයට පත් නොවූ ජනතාවන් ජීවත් වූ ප්‍රදේශ ලෙස දක්‌වා ඇති මධ්‍යම කඳුකරය ප්‍රාග් ඓතිහාසික අවධියේ සිට ක්‍රමානුකූලව ශ්‍රී ලංකාවේ මානව ජන සංස්‌කෘතිය, සම්පත් පරිහරණය හා සම්පත් හුවමාරුව විවිධ තාක්‍ෂණික අවධි ඔස්‌සේ ඓතිහාසික යුගය දක්‌වා රැගෙන ආ වැදගත් භූ පාරිසරික ප්‍රදේශයක්‌ බව පුරාවිද්‍යා අධ්‍යයන අනුව හඳුනාගෙන තිබේ.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

-- Cooray P.G

1984 The Geology of Sri Lanka,
Notional Museums of Sri Lanka, Publication
- Deraniyagala P.E.P
1958, The Pleistocene of Ceylon
Ceylon National Museums, Natural
History Series, Printed at the Government Press, Ce
- Deraniyagala S.U
1992 The Prehistory of Sri Lanka, Pts I, II, Colombo,
Servey Department
- Kennedy K.A.R
1974, The Palaeo - demography of Ceylon - a Study o
Continue of a Population form Prehistoric to mo
Ghosh eds (1974) 95 - 113
Kennedy K.A.R, Deraniyagala S.U, W.J. Roertje
T.Disotell
1987, Upper Pleistocene Fossil Hominids form Sri L
Journal of Physical Anthropology 72:441:61

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.