සිරිල් මැතිව් වෙනුවෙන් කේ.පී දුන් සාක්‌ෂිය
කවුද කොටියා.?


මෙරට දෙකඩ කර, දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා දියත් කළ දේශපාලන ව්‍යාපාරයේ සමාරම්භක නායකයා වූ එස්‌. ඡේ. වී. චෙල්වනායගම් සහ ඔහුගේ පරපුරේ බෙදුම්වාදීන් සිය අරමුණ ජයගැනීම සඳහා අවිය කර ගත්තේ උපවාස, සත්‍යග්‍රහ, හර්තාල් වැනි සටන් උපක්‍රමයන්ය.

එහෙත්, උපවාසයෙන්, සත්‍යග්‍රහයෙන්, හර්තාලයෙන් දිනාගත නොහැකි වූ දෙමළ ඊළම දිනා ගැනීම සඳහා පිස්‌තෝල, තුවක්‌කු, බෝම්බ වැනි ගිනි අවි දෙමළ බෙදුම්වාදීන් විසින් සිය සටනට එක්‌කර ගෙන ඇත්තේ 1970 දශකයේ මුල් භාගයේදීය.

එලෙස ගිනි අවියෙන් දෙමළ ඊළම දිනා ගැනීමේ සටන දියත් කළ පසු පළමුවෙන්ම වාර්තා වූ සිදුවීම වන්නේ කැස්‌බෑවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ එවකට නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස ද කටයුතු කළ සෝමවීර චන්ද්‍රසිරි මහතා යාපනය ප්‍රදේශය තුළ කළ සංචාරයක්‌ අතරතුරදී ඔහුගේ මොටර් රථයේ බෝම්බයක්‌ තැබීමයි. එම සිදුවීම සිදුවී ඇත්තේ 1970 ජුලි මස 13 වන දිනයේදීය. ඉන් අනතුරුව 1971 මාර්තු මස 11 වන දිනයේ දී එවකට බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට ක්‍රියාශීලීව සහයෝගය දැක්‌වූ ඇල්ප්‍රඩ් දුරෙයිඅප්පාගේ මෝටර් රථය යාපනය දෙවන හරස්‌ වීදියේ නවතා තිබිය දී, එම රථය තුළද බෝම්බයක්‌ තබා ඇත. එම බෝම්බය පුපුරා රථයට හානි සිදුවූ නමුත් කිසිදු ජීවිත හානියක්‌ සිදුවී නොමැත. එලෙස දුරයිඅප්පාගේ මෝටර් රථයට බෝම්බයක්‌ තබා ඔහු ඝාතනය කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වූවත් 1975 ජුලි මස 27 වන දින තවත් තිදෙනකු සමග කෝවිලක්‌ වෙත ගමන් කරමින් සිටියදී රිවෝල්වරයකින් වෙඩි තබා එතුමා ඝාතනය කර ඇත.

ඒ ආකාරයට බොහෝ ඝාතන සිදුවී ඇති අතර, ඒ අතර එක්‌සත් ජාතික පක්‌ෂයේ, ශ්‍රී ලකා නිදහස්‌ පක්‌ෂයේ, ලංකා සමසමාජ පක්‌ෂයේ, කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ සාමාජිකයන් පමණක්‌ නොව දෙමළ දේශපාලන පක්‌ෂවල නායකයන්ද සිටිති. එපමණක්‌ නොව දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ සහ ත්‍රස්‌තවාදී කටයුතුවල නිරත වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලූ අපරාධ පරීක්‌ෂක බැස්‌තියන්පිල්ලේ, උප පරීක්‌ෂක පොන්නම්පලම්, සාජන්ට්‌ බාලසිංහම්, පොලිස්‌ රියදුරු සිරිවර්ධන ඇතුළු පිරිස 1978 අප්‍රේල් 07 වන දින මුරුන්කන්හිදී වෙඩි තබා ඝාතනය කර ඇත. බැස්‌තියන්පිල්ලේ ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමට අමතරව දෙමළ ජනවර්ගයට අයත් පොලිස්‌ නිලධාරීන් විශාල සංඛ්‍යාවක්‌ද සන්නද්ධ බෙදුම්වාදීන් විසින් ඝාතනය කර ඇත.

මෙම ඝාතනයන් පිළිබඳව පාර්ලිමේන්තුව තුළ දී පවා දිගින් දිගටම සාකච්ඡා වී ඇතත්, මෙම සන්නද්ධ බෙදුම්වාදය පිළිබඳව පාර්ලිමේන්තුව තුළදී කරුණු සහිතව දිගින් දිගටම කරුණු දක්‌වා ඇත්තේ 1977 දී බලයට පැමිණි එක්‌සත් ජාතික පක්‌ෂයේ ආණ්‌ඩුවේ කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සිරිල් මැතිව් මහතාය.

1979 මැයි 21 වන දින හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන ආකාරයට, සන්නද්ධ දෙමළ බෙදුම්වාදීන් පිළිබඳව සිරිල් මැතිව් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙසේය. "කෝපායිහි ගරු මන්ත්‍රීතුමා (එන්. කදිරවේලුපිල්ලෙයි) පළමුවෙන්ම කියන්නට යෙදුණා කොටි සංවිධානය කියා එකක්‌ නැහැ කියා. එයා දන්නේ නැතැයි කිව්වා. එහෙම එකක්‌ ගැන. කොටි සංවිධානය ගැන එයාට දැනගන්නට වුවමනා නම්, එයා කණ්‌ණාඩියක්‌ ඉදිරියට ගිහින් බැලුවොත් එයාට පෙනෙයි, කොටියා කවුද කියා. කොටි සංවිධානය මෙහෙය වන්නේ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ බව මේ රටේ ජනතාව පිළිගෙන තිබෙනවා. මේ ත්‍රස්‌තවාදී ජාතිවාදී කුලවාදී සංවිධාන මගින් මේ අය අදහස්‌ කරන්නේ, උතුරේ ජනතාව මර්දනය කරගෙන ත්‍රස්‌තවාදී ක්‍රියා මගින් මුළු මහත් ජනතාවම බිය වැද්දීමටයි."

(සිරිල් මැතිව් මහතා මෙම අදහස්‌ ප්‍රකාශ කර ඇත්තේ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 16 දරණ, ද්‍රවිඩ ලංකා විමුක්‌ති කොටි හා වෙනත් සමාන සංවිධාන තහනම් කිරීමේ පනත, සංශෝධනය කිරීම සඳහා පැවති විවාදයේ දීය. තොරතුරු සිරිල් මැතිව් මහතාගේ කවුද කොටියා පොතෙන් උපුටා ගන්නා ලදී.)

කවුද කොටියා පොතේ සඳහන් වී තිබෙන ආකාරයට 1978 මැයි 19, අගෝස්‌තු 08, 1978 දෙසැම්බර් 19, 1979 අප්‍රේල් 04, 1979 ඔක්‌තෝබර් 04 යන දිනවලදි පාර්ලිමේන්තුවේ පැවති විවාද වලදි කොටි සංවිධානය ඇතුළු සන්නද්ධ සංවිධාන විසින් සිදුකරන අපරාධ පිටුපස ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සිටින බව චෝදනා කර ඇත. නමුත් එම සෑම විවාදයකදීම එම පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම්, සිවසිත්තම්බරම් ඇතුළු නායකයන් එම චෝදනා ප්‍රතික්‌ෂේප කර ඇත.

එහෙත් එම චෝදනාවන් සනාථ කරන සාක්‌ෂියක්‌, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ තීරණාත්මක පුද්ගලයකු වූ, කොටි සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව මෙන්ම අවි සැපයුම් කරුවා ලෙසද කටයුතු කළ කුමරන් පද්මනාදන් විසින් සපයා ඇත. කුමරන් පද්මනාදන් 2014 ජුනි 08 වන දින දේශය පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, දුරෙයි අප්පා ඝාතනය කළ වේළුපිල්ලේ ප්‍රභාකරන්ව යාපනයේ මයිලඩ්ඩි ප්‍රදේශයේ සිට බෝට්‌ටුවකින් ඉන්දියාවට රැගෙන යැමට සැලසුම් කළ බවයි. එමෙන්ම එම සම්මුඛ සාකච්ඡාවේදී පද්මනාදන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පොතුවිල් කනගරත්නම්ට වෙඩි තියල මරන්න ක්‍රියා කළේ අමිර්තලිංගම් විසින් බවයි. පොතුවිල්හි දෙවන මන්ත්‍රීවරයා වූ සී. කනගරත්නම් ද 1978 ජනවාරි 27 වන දින වෙඩි තබා ඝාතනය කළ බව සිරිල් මැතිව් මහතා ඉහතින් සඳහන් කළ පාර්ලිමේන්තු විවාද වලදී සඳහන් කර ඇත.

එහෙත් එම සෑම චෝදනාවක්‌ම එම අවස්‌ථාවේදීම දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයා විසින් ප්‍රතික්‌ෂේප කර ඇත. නමුත් දැන් කුමරන් පද්මනාදන්ම කවුද කොටියා යන්න ප්‍රකාශ කර ඇත.

Ö එරික්‌ ගාමිණී ජිනප්‍රිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.