පාදෙනිය යළි සභාපති

අජිත් අලහකෝන්

ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස වැඩි ඡන්දයෙන් සිව්වැනි වරටත් තේරී පත්විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංග මයේ වාර්ෂික නිලවරණය පෙරේදා (28 දා) පැවති අතර එහිදී ඡන්ද 2660 ක්‌ (95% ක්‌) ලබා ගනිමින් වෛද්‍ය පාදෙනිය මහතා (කොළඹ රිඡ්වේ ආර්යා (ළමා රෝහල) සභාපති ලෙස පත්විය.

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සමග සභාපති ධුරය සඳහා තරග කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි (ජාතික රෝහල) වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා ලබාගෙන තිබෙන්නේ ඡන්ද 138 ක්‌ පමණි.

මෙම නිලවරණයේදී සියලුම තනතුරු සඳහා මෙවරද වෛද්‍ය පාදෙනිය මහතාගේ කණ්‌ඩායම තේරී පත්වීම විශේෂයකි. ඒ අනුව ලේකම් වශයෙන් වෛද්‍ය ලසන්ත ජිනදාස (කළුබෝවිල රෝහල) ඡන්ද 2574 ක්‌ (95%), භාණ්‌ඩාගාරික ලෙස වෛද්‍ය නාත් විඡේසූරිය (කරාපිටිය රෝහල) ඡන්ද 2498 ක්‌ (92%) ලබා ගනිමින් ජයග්‍රහණය කළහ.

විධායක සභාවේ සාමාජිකයන් හයදෙනකු සහ මධ්‍යම කාරක සභාව සාමාජිකයන් විසිදෙනකු නිතරගයෙන් තේරී පත්වූහ. ඒ අනුව වෛද්‍ය නවීන් ද සොයිසා (නාගොඩ), වෛද්‍ය නලින් ආරියරත්න (ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය, වෛද්‍ය නලින්ද හේරත් (වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය) සහ වෛද්‍ය කංචන බුලන්කුලම (මහනුවර ශික්‍ෂණ රෝහල) සහකාර ලේකම්වරු ලෙසද, සංස්‌කාරක ලෙස වෛද්‍ය සායි නෙරංජන් (කළුබෝවිල) සහ උප සංස්‌කාරක ලෙස වෛද්‍ය සමන්ත ආනන්ද (ජාතික රෝහල) යන අය විධායක සභාවට නිතරගයෙන් පත්ව සිටිති.

ලේකම් ධුරය සඳහා තරග කළ වෛද්‍ය රුචිර සරණපාල මහතා (කාසල් වීදියේ කාන්තා රෝහල) ඡන්ද 143 ක්‌ සහ භාණ්‌ඩාගාරික ලෙස තරග කළ වෛද්‍ය ටී. කුමාරස්‌වාමි මහතා (ජාතික රෝහල) ඡන්ද 208 ක්‌ ලබා ගනිමින් පරාජයට පත් වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.