රාගම හෙදියෝ රාජකාරියෙන් යති

අජිත් අලහකෝන්

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය පෙරේදා (30 දා) ඇති වූ ගැටුම හේතුවෙන් රාගම රෝහලේ හෙදියන් ඊයේ (01 දා) සාමාන්‍ය සේවා කටයුතුවලින් ඉවත්ව හදිසි ප්‍රතිකාර කටයුතුවලට පමණක්‌ සහභාගි වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් සාමාන්‍ය රෝගීන්ගේ සැත්කම් මෙන්ම ගැබිනි මවුවරුන්ගේ සීසර් සැත්කම් ද ඊයේ සිදු නොකෙරුණු බවත් හෙදියන් බොහෝ දෙනකු සේවයට වාර්තා කර රාජකාරි කටයුතුවලින් බැහැරව සිටි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

රාගම රෝහලේ තත්ත්වය පිළිබඳ විමසීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා සම්බන්ධ කර ගැනීමට අප දුරකථන ඇමතුම් කිහිපයක්‌ ලබාගත්ත ද ඔහු ආසනයේ නොමැති බව කාර්යාල සේවකයෙක්‌ පැවසූහ. අධ්‍යක්‍ෂවරයාගේ ජංගම දුරකථන අංකය ලබාදීම ද ප්‍රතික්‍ෂේප කළ ඔවුහු මාධ්‍යයෙන් කතා කළොත් තමන්ට ඇමතුම ලබා නොදෙන්නැයි අධ්‍යක්‍ෂවරයා පැවසූ බව ද කීහ.

හදිසි ප්‍රතිකාර කටයුතු හැර රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන් ඊයේ අඩාල වී තිබූ අතර රෝගීන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවට ලක්‌වූ බව ද ඉහත ආරංචි මාර්ග "දිවයින" ට සඳහන් කළේය.

අප මේ පිළිබඳව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය සේවා කටයුතු පමණක්‌ රෝහල තුළ සිදු කිරීමට හෙදියෝ සූදානම් බවයි.

පෙර දිනයේදී හෙදියන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්‍ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ගැටුමෙන් තුවාල ලබා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හෙදියන් නිසි ප්‍රතිකාර නොලැබීම නිසා රෝහලෙන් පිටව ගොස්‌ පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබන තත්ත්වයට පත්ව ඇති බවත් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ තම සංගමයේ සාමාජිකත්වය දරන හෙද හෙදියන් වර්ජනය කර නැති බවය. වර්ජනය නොකළත් රාජකාරිය සඳහා යැමට ඔවුන්ට සුදුසු වාතාවරණයක්‌ රෝහල තුළ තාමත් නැතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ. හෙදියන් ඕනෑම අවස්‌ථාවක සේවයට යැමට සූදානම් වුවද කිසිදු බාධාවකින් තොරව හා යහපත් මානසිකත්වයකින් රාජකාරිය කිරීමේ පසුබිමක්‌ රජය විසින් සකස්‌ කර දිය යුතු බව ද ආනන්ද හිමියෝ කීහ.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය "දිවයින" ට ප්‍රකාශ කළේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් රාගම රෝහලේ සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු කරන බවය.

සූතිකාගාරය තුළ හෙදියන් නැතත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් රාජකාරි කටයුතු සිදුකරන බව ද ආරක්‍ෂාව සම්බන්ධ ගැටලුවක්‌ ද තම සාමාජිකයන්ට නැතැයි ද ඇය ප්‍රකාශ කළාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.