සංස්‌කරණය : නාරද නිශ්ශංක

A තුමාටත්, පලාමල්ලටත් පාඨකයන් ආදරෙයි..
- ප්‍රවීණ කාටුන් ශිල්පි තලංගම ජයසිංහ

A තුමා,පලාමල්ල කාටුන් පොත් 10 වැනිදා එළිදැක්‌වේ


තලංගම ජයසිංහ....., කවියට, චිත්‍ර කතාවට, කාටුනයට ඇල්ම දක්‌වන කා අතරත් ජනප්‍රිය නමක්‌. දිනපතා ලංකාදීප පත්‍රයේ පළ වන .A තුමා' සහ 'පලාමල්ල' ඔස්‌සේ තලංගම ජයසිංහ මේ දිනවල වඩාත් වැඩියෙන් පාඨකයන් අතරට ගමන් කරමින් සිටී.

මෙතෙක්‌ කලක්‌ පළවූ, .A තුමා' මෙන්ම පලාමල්ල කාටුන් එක තැනක හිඳ එක හුස්‌මට කියවා බලා රස විඳීමට පාඨක සිත් තුළ කලක පටන් ඇත්තේ ආශාවකි. ඒ ආශාව නිසාම ඇතමුන් තලංගම ජයසිංහට බල කළේ .A තුමා' සහ 'පලාමල්ල' පොත් ලෙස මුද්‍රණය කරන ලෙසටය.

"ඇත්තටම බොහෝ දෙනෙක්‌ ඔය ඉල්ලීම කළා. බන්දුල පද්මකුමාර මහතා තමයි මුලින්ම යෝජනා කළේ. මේ කාටුන් පොත් දෙකක්‌ විදියට එළිදක්‌වන්න කිසිම අදහසක්‌ තිබුණේ නෑ. ඒත් පාඨක ඉල්ලීමට ගරු කරමින් .A තුමා' හා පලාමල්ල" මුද්‍රිත පොත් දෙක මෙම 10 වැනිදා සවස 3.00 ට ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී එළිදක්‌වනවා......." තලංගම ජයසිංහ ශිල්පියා අප සමග කීවේය.

තලංගම ජයසිංහ මේ වන විට ළමා පොත් 10 ක්‌, කවි පොතක්‌, අනගාරික ධර්මපාල චරිතය, බලංගොඩ ආනන්ද මාහිමි චරිතය මෙන්ම චිත්‍ර කතා පොත් පහක්‌ ද පළ කර ඇත. එක්‌දහස්‌ නවසිය පනස්‌ හතේ සිට අනූ අට දක්‌වා ලේක්‌හවුස්‌ ආයතනයේ සේවය කළ හේ "මධුර" චිත්‍රකතා පත්තරයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද වසර දහ අටක්‌ කටයුතු කර ඇත.

"මගේ මුල්ම චිත්‍රකතාව පළ වුණේ 1954 වසරේදී "දිනමිණ" පත්‍රයේ ඒ "චිත්‍රා" නමිනි. ඉන් පස්‌සේ 'සිළුමිණට' 'ඇටසැකිල්ල' 'මිනිස්‌ දඩයම' වගේ ජනප්‍රිය චිත්‍රකතා ඇන්දා..." ඔහු යළි කීවේය.

තලංගම ජයසිංහ එදා, මධුර පත්තරයට නිර්මාණය කළ වියරු මුහුද" චිත්‍රකතාව ඇසුරින් පසු කලෙක එච්. ඩී. ප්‍රේමරත්නයන් විසින් චිත්‍රපටයක්‌ නිර්මාණය කළේය. ඒ "සප්ත කන්‍යා" නමිනි. එපමණක්‌ නොවේ ඔහුගේ "ලොකු තාත්තා" සෙනෙහසක කඳුළු චිත්‍ර කතා ද සිනමාවට නැඟිණි.

තලංගම ජයසිංහගේ චිත්‍රකතාවල මෙන්ම කාටුන්වල අදහස්‌ ද ඔහුගේමය.

එක්‌දස්‌ නවසිය පනහෙ ඉඳලා මම පුවත්පත්වලට කවි ලියුවා. හේමපාල මුනිදාසගේ "සිංහලේ" පත්තරයටත් මම 1951 දී කවියක්‌ ලියුවා. දිනමිණ සරස්‌වතී මණ්‌ඩපයට මම යෑවූ කවි සියල්ලම එදා මීමන ප්‍රේමතිලකයන් පළ කළා. මා ලියූ කෙටිකතා සිළුමිණ සහ ජනතා පත්තරවල පළ කළා. ඒ කාලේ මම "විලම්භීත", "මනස්‌ගාත" නමින් සිළුමිණ පත්තරේට කාටුන් ඇන්දා. "විජිත" කියන අන්වර්ථ නමින් සියරට පත්තරේටත් සිරිමාවෝ මැතිනියගේ ආණ්‌ඩුව කාලේ දේශපාලන කාටුන් ඇන්දා... තලංගම ජයසිංහ ප්‍රවීණ ශිල්පියා අතීත මතක සටහන් යළි ආවර්ජනය කළේ එසේය.

තලංගම ජයසිංහගේ .A තුමා' සහ "පලාමල්ල" මෙම 10 වැනිදා එළිදකින්නේ සූරිය ප්‍රකාශනයන් ලෙසිනි. සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක සහ ජාතික රූපවාහිනියේ සභාපති විමල් රූබසිංහ යන මහත්වරු මෙම උත්සවයේ ප්‍රධානත්වය උසුලති.

.A තුමා'ට මෙන්ම "පලා මල්ලටද" ආදරය කරන පාඨකයන්ට මෙම 10 වැනිදා සවස 3.00 ට කොළඹ නිදහස්‌ මාවතේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයට එන්නැයි තලංගම ජයසිංහ ප්‍රවීන ශිල්පියා විවෘත ආරාධනයක්‌ කර සිටී.

- අලහකෝන්
ඡායාරූප- නිශාන් එස්‌ ප්‍රියන්ත
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.