සංස්‌කරණය : නාරද නිශ්ශංක

බර්ටි ගුණසේකර: නිසල කැමරාවේ මතකය දිග හැරුම



ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකරයන්ගේ ඡායාරූප ජීවිතයට තිස්‌ වසරක්‌ පිරීම නිමිත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යායේ සෞන්දර්ය හා රංගකලා පීඨය හා සෙංකඩගල ඡායාරූප කවය සංවිධානය කරන උපහාර උළෙල 11 දා සවස 4ට පැවැත්වේ.

මෙම උළෙලට සමගාමීව ඔහු විසින් ඡායාරූපගත කළ විවිධ ක්‍ෂේත්‍රවල සම්මානනීය පුද්ගලයන්ගේ සේයාරූ එකතුවක්‌ එදින සිට දෙසතියක්‌ තුළ ප්‍රදර්ශනය කෙරේ.

මෙහිදී බර්ටි ගුණසේකර විසින් සාහිත්‍ය සිනමා ඡායාරූප වශයෙන් මුල් කර ලියන ලද ලිපි සහ රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ඔහු විසින් කරන ලද අනගි සේවාවන් සම්බන්ධ ලිපි ලේඛන ද ඊට අමතරව විවිධ තරාතිරමේ විද්වතුන් විසින් ඔහුගේ ඡායාරූපමය සේවාව සහ වෙනත් ඡායාරූප විෂය සම්බන්ධව ලියන ලද ලිපි අඩංගු උසස්‌ ග්‍රන්ථයක්‌ 'අනන්ත වූ දෙරන සරා' නමින් එළිදක්‌වනු ලැබේ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහභාගි වේ. උත්සවයේ ආරාධිත දේශනය ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්න මහතා විසින් සිදුකරයි. විශේෂ දේශනය 'හන්තානෙ කතාව' සිනමා පටයෙන් බර්ටි ගුණසේකරයන් සමග සම තිර රචනයෙන් දායක වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් විසින් පවත්වයි.

'අනන්ත වූ දෙරන සරා' නමින් බර්ටි ගුණසේකරයන් පිළිබඳ ලියෑවුණු ග්‍රන්ථය හේමන්ත අනුරසිරි සහ අතුල සමරකෝන් විසින් සංස්‌කරණය කර ඇති අතර, සෙංකඩගල ඡායාරූප කවය වෙනුවෙන් නීතිඥ විජිත වික්‍රමරත්න සුසන්ත කන්දද්දරගේ සහ වෛද්‍ය රංජිත් පල්ලේගම විසින් මෙම උළෙල සංවිධානය කර ඇත.
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.