සංස්‌කරණය : නාරද නිශ්ශංක

අමරණීය 'ජෝති'


අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාලයන් දිවියෙන් සමුගෙන 2014.07.07 වන දිනට වසර 27 කි. අදත් සුව හසක්‌ රසික රසිකාවියන්ගේ ගී පවස සංසිඳවන සදා මතකයේ රැඳුන අමරණීය ගායකයා එච්. ආර්. ජෝතිපාල ය. මියගිය පසු දශක තුනකට ආසන්න කාලයක්‌ ජනතාවගේ හදවත් තුළ සදාඅනුස්‌මරණීය තත්ත්වයට ගායන ශිල්පී ජෝතිපාලයන් පත්ව සිටීම ඔහුගේ පෙර වාසනා බලයක මහිමය නිසා බව සිතිය හැක.

ජෝති ගායන ශිල්පියකු වීමට යොවුන් වියේ සිටම උත්සාහ දරා ඇත්තේ, එකල ජනප්‍රිය ගායකයන්ගේ ගීතවලට ඩෝලක්‌, තබ්ලා වාදනය කරමින් හා බජව් පාටිවල ගීත ගායනා ඉදිරිපත් කරමිනි. ඔහු ගායන දිවිය තුළට පැමිණි ගමන සුන්දර එකක්‌ නොවේ.

ගායකයකු වීමට ජෝතිපාල මහත් කට්‌ටක්‌ කෑවේය. ජෝතිට ප්‍රථමයෙන්ම චිත්‍රපටයක්‌ සඳහා ගීත ගායනා කිරීමේ අවස්‌ථාව ලැබී ඇත්තේ ඉතා දුෂ්කර ව්‍යායාමයකින් පසුවය. ඒ සිරිසේන විමලවීර අධ්‍යක්‍ෂණය කළ "පොඩිපුතා" චිත්‍රපටය සඳහාය. මෙය යුග ගීතයක්‌ වූයෙන් ගායිකාව වී ඇත්තේ එවකට ජනප්‍රිය ශිල්පිණියකි. ජෝතිපාල මෙතැනට ආධුනිකයකු විය. පටිගත කරන මොහොතේ ශබ්ද පරිපාලක කෑගසා මෙසේ පවසා ඇත. "තමුසේ සිංදු කියන කොට මේ රෙකෝඩින් එක දෙදරනවා" කියාය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ජෝතිට එම අවස්‌ථාව අහිමිවී එළියට විසිවීමයි.

ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ ශූරින් මෑතකදී ඒ ගැන සිය අදහස්‌ දක්‌වමින් කියා සිsටියේ මෙසේය. "මා දකින ආකාරයට එදා වරද ජෝතිගේ නෙවෙයි. ඔහුගේ කටහඬ ගීතයට උචිත පරිදි පාලනය කර ගන්න දැනුමක්‌ නැති ශබ්ද පරිපාලකයන්ගේයි."

ජෝති ගායන දිවියට පිවිසියේ මෙවැනි දහසක්‌ බාධක හා කම්කටොළු අතරිනි. පසුව ඔහුගේ ජනප්‍රියතාවයට එදා එල්ල වූ බාධක ආශිර්වාදයක්‌ වූවා යෑයි හැඟේ. ජෝතිගේ ශිල්පීය දක්‍ෂතා ඔහුගේ ගැඹුරු පෞරුෂයේ හඬ සංගීත ක්‍ෂේත්‍රයට උන්නතියක්‌ වන අයුරින් මෙහෙයවීමේ කාර්යභාරය කළ සංගීතඥයන් අතර ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ප්‍රමුඛය.

1970 දශකයේ අද වැනි හතු පිපෙන්නාක්‌ මෙන් එµa. එම්. ගුවන්විදුලි නාලිකා නොතිබිණි. තිබුණේ "ශ්‍රී ලංකා ගුවන් විදුලිය" පමණි. හැත්තෑවේ දශකයේ එවකට පැවැති රජය මගින් දියත් කළ "වගා සංග්‍රාමය" නිසා ගුවන් විදුලියේ ප්‍රධාන තැන ලැබුණේ ප්‍රබුද්ධ ගී හා දේශාභිමානී ගීතවලටය. මේ වකවානුවේදී ජෝතිපාලගේ ගීත ප්‍රචාරය රජය මගින් තහනම් කර තිබිණි. මේ ආකාරයේ අසාධාරණ වාතාවරණයක්‌ තුළ ආචාර්ය කේමදාසයන් ප්‍රබුද්ධ ගී ගැයීමට ජෝතිව ගුවන් විදුලිය වෙත කැඳවාගෙන පැමිණ ඇත. කේමදාස මාස්‌ටර් ගත් මේ එඩිතර පියවර තුළින් ජෝතිපාල ප්‍රබුද්ධ ගී දෙකක්‌ ගයා ඇත. මගේ මතකයේ හැටියට රුක්‌මණී දේවිය සමග ගැයූ "ලා නිල් ගොයම් පැසී, රන්වන් පැහැය ගනී" සහ "මම යනවා, බොල් පිණි මැඩගෙන මා යනවා" යන ගීතයන්ය. එවකට ගුවන් විදුලියේ සභාපතිව සිටි රිඡ්වේ තිලකරත්න මහතා ජෝතිගේ ගී අසා මවිතයට පත්වී ඇත. මෙසේ වූයේ කේමදාසයන් විසින් ජෝතිගේ ගායනය පිළිබඳව නිවැරැදිව මෙහෙය වූ ව්‍යායාමයේ සාර්ථක ප්‍රතිඵලය නිසා බව සභාපති රිඡ්වේ මහතා ඇතුළු කවුරුත් වටහා ගත්හ.

"ගැහැණු ගැට" චිත්‍රපටයේ සංගීතය මෙහෙය වු ෂෙල්ටන් ප්‍රේමරත්න ආලයේ මිහිර පෙන්නා" යන ගීතය ගායිකා ඇන්ජලීන් සමග ගායනා කිරීමට ජෝතිව තෝරාගෙන ඇත. එමෙන්ම සංගීත නිපුන් පී. වී. නන්දසිරි "රුවන් වළා පෙළින් එහා බබළන රන් තාරකා" යන ශාස්‌ත්‍රීය ගීය ගැයීමට ජෝතිට අවස්‌ථාව ලබාදී ඇත.

භාරතයේ ජනප්‍රිය ගායකයකුව සිටි "මොහමඩ් රාµS" වරක්‌ ලංකාවට පැමිණි අවස්‌ථාවේදී ජෝති ගැන මෙසේ පවසා ඇත. "ලංකාවේ එක්‌ ගායන ශිල්පියෙක්‌ ඉන්නවා. ඔහුගේ නම ජෝතිපාල ඔහුගේ ඇතැම් ගීත මම ඇහුවා. මේ ලංකාව ඔහුට පුංචි වැඩියි. ඔහු ඉපදිය යුතුව තිබුණේ ලංකාවේ නෙවෙයි. මහා භාරතයේයි" යනුවෙනි.

ජෝති ගැන තව බොහෝ දේ ලිවිය හැක. ඒවා ඉතා රසවත්ය. එහෙත් ජෝති වැනි සැබෑ මිනිස්‌ කමින් පිරිපුන් සුන්දර කලාකරුවකු කලා ලොව සොයා ගැනිම ඉතා අසීරුය. පදික වේදිකාවේ සිට රජ වාසල දක්‌වා පියමං කිරීමට ජෝතිට හැකි වූයේ ඒ නිසාය. ආදරණීය ජෝති අදත් ලොකු, පොඩි කාගේත් හදවත් තුළ ජීවමානව වෙසෙයි. ජෝති වැනි නිහතමානී සුන්දර ගායකයකු තවත් මේ රටේ බිහි නොවන බව අපට විශ්වාසයි.

ලූෂන් එඩ්වඩ් පෙරේරා

ගෝනවල
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.