කච්චතිවු දූපත සහ ජයලලිතා පසුබිමේ සිටින තමිල්නාඩු මාළු මුදලාලිලා

ඉන්දීය අගමැති මෝදිගේ රජය මදුරාසි මහාධිකරණය වෙත දිව්රුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කරමින් කච්චතිවු දූපත අසල ධීවර කර්මාන්තයේ යෙදීමට තමිල්නාඩු ධීවරයන්ට හිමිකමක්‌ නැතැයි පවසා තිබේ.

මේ නිසා තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා දැඩි කම්පනයට පත් වී එකී දිව්රුම් ප්‍රකාශය ඉල්ලා අස්‌කරන්නැයි ඉල්ලා ඇත.

ජයලලිතාගේ පසුබිමේ සිටින්නේ තමිල්නාඩු ධීවරයන් නොව විශාල ව්‍යාපාර පවත්වා ගෙන යන මාළු මුදලාලිලා පිරිසකි.

මේ මාළු මුදලාලිලා කච්චතිවු දූපත අසලින් අල්ලාගන්නා මසුන් සිංගප්පූරුව වැනි රටවලටද අලෙවිකරන බව හෙළි වී ඇත.

1974 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සත් කළ ගිවිසුම යටතේ කච්චතිවු දූපතේ හිමිකම ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

එය ශ්‍රී ලංකාවේ දේපලක්‌ යෑයි ඉන්දීය රජය සිය දිව්රුම් ප්‍රකාශනයේ තවදුරටත් දක්‌වා තිබුණි. එහෙත් ජයලලිතා දැන් කියන්නේ කච්චතිවු දූපත ආපසු පවරා ගන්නා ලෙසයි. එසේම 1974 සහ 1976 ගිවිසුම් අහෝසි කරන ලෙසද ජය ලලිතා ඉල්ලා සිටියි.

මෙම ගිවිසුම් අනුව තමිල්නාඩු ධීවරයන්ට හිමිව ඇත්තේ කච්චතිවු දූපතට පැමිණ විවේක ගැනීමටත් මාළු දැල් වේලා ගැනීමට හා දේවස්‌ථානය වන්දනා මාන කිරීම පමණි.

එහෙත් තමිල්නාඩු ධීවරයෝ නීති විරෝධී ලෙස කච්චතිවු දූපතට ඇතුළු වී මසුන්ගෙන් පිරී ධීවර කලාපය ආක්‍රමණය කර තිබේ.

තමිල්නාඩු ධීවර මුදලාලිගේ ම`ඩිය තරවන්නේ මේ මසුන්ගෙන් පිරි මත්ස්‍ය කලාපය නිසාය. පොකිරික්‌සන්, ඉස්‌සන්, කකුළුවන් තමිල්නාඩුවේ සිට අග්නිදිග ආසියානු රටවලට අපනයනය කරන්නේ මේ පසුබිම නිසාය.

තමිල්නාඩු ධීවර සමිති සභාපති යෑයි කියාගන්නා පීටර් නැමැත්තකු විසින් මඳුරාසි මහාධිකරණය හමුවේ නවදිල්ලි රජයට එරෙහිව නඩුවක්‌ ගොනුකරමින් කච්චතිවු දූපත පවරා ගන්නා ලෙස ඉල්ලා තිබුණි.

එහෙත් නවදිල්ලි බලධාරීන් මදුරාසි අධිකරණය වෙත සෘජුවම කියා සිටියේ තමිල්නාඩු ධීවරයන්ට කච්චතිවු වෙත යැමට හිමිකමක්‌ නැති බවයි.

එසේම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සාගර සීමාවට අදාළ ගිවිසුම පවා අවලංගු කරන්නැයි ජයලලිතා ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ.

එහෙත් මෝදිගේ රජය ජයලලිතාගේ ඉල්ලීමට එකඟවේද? ජයලලිතා පමණක්‌ නොව කොටි හිතවාදීයකු වූ වයිකෝ ද එකී දූපත ශ්‍රී ලංකාවෙන් ආපසු ලබාගන්නා ලෙස ඉල්ලා තිබේ.

දිනකට තමිල්නාඩු ධීවර බෝට්‌ටු 600 ක්‌ පමණ කච්චතිවු අසල මුහුදු කලාපයට එන බව හෙළි වී ඇත. මේ නිසා අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වන ධීවර බෝට්‌ටු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ක්‍රියා කර තිබේ.

මේ නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව ජය ලලිතා සාවද්‍ය චෝදනා රැසක්‌ නැඟුවාය. කොන්ග්‍රස්‌ රජය පවතින සමයේදීත් ඇය කච්චතිවු දූපත පවරාගන්න ලෙස කළ ඉල්ලීමටද කොන්ග්‍රස්‌ නායකයන් සවන් දුන්නේ නැත.

මේ තත්ත්වය මත ඇය නරේන්ද්‍ර මෝදිගේ රජය ලවා සිය අභිමතාර්ථය ඉටු කරගැනීමට උත්සාහ කරන බව පැහැදිලිය.

කොටි සංවිධානය උතුරේ සිය ත්‍රස්‌තවාදී ක්‍රියා සිදු කරන සමයේ කච්චතිවු, ඊලම් දේශයට අයත්බවත් ඊට අතගැසීමට ඉඩ නොදෙන බවත් ප්‍රභාකරන් පවසද්දී ජයලලිතා නිහඬව සිටියාය.

එහෙත් කච්චතිවු සම්බන්ධව ඇය යළි සටන අරඹා ඇත. මෙය ඉන්දීය රජය තම අසල්වැසි රටවල් සමග ඇති කරගෙන තිබෙන විදේශ පිළිවෙතකට අභියෝග කිරීමයි.

ශ්‍රී ලංකාව සමග දැඩි වෛරයකින් පෙලෙන ජයලලිතා තමිල්නාඩුවේ ව්‍යාපාරිකයන්ගෙන් සිය නිෂ්පාදන මෙරටට අලෙවි කිරීමෙන් වලකින ලෙස ඉල්ලා නැත.

කොළඹ පිටකොටුවේ ගෑස්‌පහ හන්දියේ සැරිසරන විට තමිල්නාඩු සමාගම්වලින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති විවිධ භාණ්‌ඩ දැකිය හැකිය.

මේ පසුබිම යටතේ ජයලලිතා උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත සූරා කෑමටය.

ඇයට රුපියල් මිලියන 300 ක වත්කම් ලැබුණේ කොහෙන්ද? යන්න නොපෙන්වීම ගැන බැංගලෝර් අධිකරණය හමුවේ නඩුවක්‌ද ගොනු වී ඇත.

එසේ නම් එම වත්කම් ඇයට ලැබුණේ තමිල්නාඩු මාළු මුදලාලිලා ගෙන්ද?

තමිල්නාඩුවේ මාළු මුදලාලිගේ ධීවර අපනයනය රුපියල් කෝටි ගණනක්‌ යෑයි මෑතකදි හෙළි වී තිබුණි.

මේ නිසා කච්චතිවු දූපත ආපසු පවරාගන්නා ලෙස ජයලලිතා ඉල්ලීමේ සැබෑ අරමුණ නිරීක්‍ෂණයට ලක්‌ විය යුතුය.

කීර්ති වර්ණකුලසූරිය


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.