සෞඛ්‍ය අමාත්‍යවරයා වෙතටයි

සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරය භාරගත් අවධියේ සිටම ඖෂධවල මෙන්ම අත්වැසුම් වස්‌ති වැනි උපාංගවල මිල අඩු කරන බවත් ප්‍රමිතියෙන් බාල ඒවා රටට ගෙන්වීම නවතන බවත් නිතරම පාහේ මුද්‍රිත මාධ්‍යයටත් විද්යුත් මාධ්‍යයටත් ප්‍රකාශ කර තිබුණ බවක්‌ මට මතකය. එහෙත් මේවායේ මිල නම් වැඩිවෙනවා මිස අඩුවීමක්‌ නම් නැත.

නමුත් බාල ඖෂධත් බාල උපාංගත් රටට කෙසේ හෝ පැමිණ ඇති බව නම් දක්‌නට ඇත. බාල ඖෂධ දෙකක්‌ ගැන උදාහරණ දක්‌වතොත් (1) ණ්‌ක'aබ් නමැති පෙති වර්ගය ඇලුමිනියම් පටලයක දවටා එවනු ලබන විකා කෑ යුතු ඖෂධයකි. එහෙත් ඔසුහල්වලින් ලබාගත හැකි වූයේ පෙති නොව දවටනවල ඔතා තිබූ පිටි ගුලිය. සමහර ඒවායේ හයිය පෙතිත් පෙති වැනි පිටි ගුලිත් තිබිණි. ඒවා අඩංගු දවටනවල සඳහන් කල් ඉකුත්වීමේ දිනය 2015 කිසියම් දිනයක්‌ විය. (2) එමෙන්ම Eජ්ක නමැති ඖෂධය ගිල්වා ඇති කාඩ්වල පෙති නැති වාතය පමණක්‌ ඇති කුහරද තිබිණි. මේ දෙවර්ගයම ම විසින් ඒවා මිලදී ගත් ඔසුහල්වලට පෙන්වා භාරදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස දන්වා ඇත. එමෙන්ම ණ්‌ක'aබ් සම්බන්ධයෙන් නම් අදාළ නියෝජිතයකුටද පෙන්වා ඇත.

තවද මෑතක සිට ඔසුහල්වලින් ඉන්සියුලින් විදීම සඳහා ලබා ගත හැක්‌කේ ඉතාමත් බාල වර්ගයක වස්‌ති ය. ඒවායින් විදින විට මුල් අවස්‌ථාවේම කටුව ඇදවේ. එසේ වූ විට වස්‌තියට ඇදගත් ඉන්සියුලින් ටික ආපසු අමාරුවෙන් කුප්පියට යවා වස්‌තිය ගලවන විට කටුව වස්‌තියෙන්ද ගැලවේ. වස්‌ති 10 කින් 8 ක්‌ පමණ මෙසේ වන බැවින් ලෙඩුනට මේ වෙනුවෙන් විශාල වියදමක්‌ දැරීමට සිදුවේ. මේවාද ලබාගත් ඔසුහලට භාරදී ඇත්තේ හැකිනම් අවශ්‍ය කටයුතු සඳහාය. මේවායේ නිෂ්පාදිත රට චීනයයි.

මට සිතෙන අන්දමට මෙවැනි ඖෂධ හා උපාංග රට තුළට ගෙන එන්නේ නියම ප්‍රමිතියෙන් යුතු ඒවාවල හිඟයක්‌ කෘතිමව මවාපා හදිසි මිලදී ගැනීම් වශයෙන් ලබාගෙන බෙදාහැරීම නිසා විය යුතුය. එම නිසා මෙසේ වන්නේ කෙසේ දැයි සොයා බලා අවශ්‍ය නිසි පියවර ගැනීම සෞඛ්‍ය ඇමැතිවරයාගේ යුතුකමක්‌ මෙන්ම වගකීමකි. එසේ නොකරන්නේ නම් රෝගීනට දෙවියන්ගේම පිහිටයි·

එල්. ඡේ. ශ්‍රී ජයවික්‍රම - හෙයියන්තුඩුව


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.