සියලු ජාතීන් එක්‌ කෙරෙන කතරගම ඇසළ උළෙල

ඓතිහාසික කතරගම ඇසළ මහා සැණකෙළිය මෙවර ද අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය වී හමාරය. දෙවියන් සඳහා වූ අපරිමිත භක්‌තියෙන් යුතුව දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ සියලු පහසුකම් සඳහා මොණරාගල දිස්‌ත්‍රික්‌ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්‌ඩලය සහ කතරගම ප්‍රාදේශීය ලේකම්තුමා මූලිකත්වය ගෙන අවශ්‍ය කටයුතු සංවිධානය කොට ඇත. දිවයිනේ පැවැත්වෙන අනෙකුත් ආගමික උත්සව අතරින් දෙවියන් සඳහා වූ ප්‍රධාන උත්සවයක්‌ ලෙස ගත් කල කතරගම ඇසළ පෙරහැර අන් කිසිදු උත්සවයකට දෙවෙනි නොවන්නේය. මෙම මහා උත්සවයේ ඇති වැදගත්කම නම් කිසිදු ජාති ආගම් හා වෙනත් බේදයන්ගෙන් තොරව සියලු දෙනා එකම සිතින් එකම බැතින් එක්‌ ස්‌ථානයකට එක්‌ රොක්‌වීමය.

දෙවියන් කෙරෙහි මහත් වූ භක්‌තියෙන් යුතුව කරනු ලබන පූජාවන්ගේ පිරිසිදු බව මෙන්ම පුදනු ලබන්නන්ගේ සිත් තුළ ද පවතින පිරිසිදු බව, නොකිළිටිබව, මැනවින් දිස්‌වේ. මැණික්‌ ගඟ පුරා හැම තැනකම දිය නාමින් පිරිසිදු වෙමින් කල්ගත කරන ජනයා එකම මවකගේ දරුවන් සේ පෙනේ. එය මොනතරම් භාග්‍යයක්‌ද? මේ ඇසළ සමයේ වැඩිපුරම ඇති වැදගත්කම ද එයයි. අපේ ජාතික උත්සවවල ඇති වටිනාකම ද එයයි. මේ රටේ ඉතා දිගු කලක පටන්ම ජාතික සැණකෙළියක්‌ ලෙස පැවැත්වෙන කතරගම පෙරහැර උත්සවයට රාජ්‍ය මට්‌ටමෙන් ලැබෙන අනුග්‍රහය ද ඉතා විශාලය.

අපි මීළඟට මෙම ඓතිහාසික උත්සවයේ පුරාණය පිළිබඳව ද මඳක්‌ විමසා බලමු. මෙහි ආරම්භය පිළිබඳව විවිධ වූ ජනප්‍රවාද පවතී. විජයගේ ලංකා ගමනයට පෙර සිට ද සඳහන් වන කතරගම පුරා වෘත්තාන්තයන්ට අනුව එම ප්‍රදේශයේ රාජ්‍ය කර වූ විශාල බලසම්පන්න රජ කෙනෙකුගේ වියෝවින් පසුව දේවත්වයට පත්ව කතරගම දෙවි නමින් දේව උත්පත්තියක්‌ කියවේ. මෙම බලවත් රජ මහාඝෝෂ මහාකාලසේන නම් වේ. කතරගම වැඩිහිටි කන්දේ පිහිටුවන ලද රන්වන් මාලිගාවක සිට රාජ්‍යය කරමින් සිට එතුමා විසින්ම ඉදි කරන ලද කිහිරිරුක්‌ සහිත උද්‍යානයකට වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්ව මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව එම ස්‌ථානයේම චෛත්‍යයක්‌ ගොඩනඟා ඇත. තවද එහි නිධන් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට ගොඩනඟන ලද සෑය " කතරගම සෑය" නමින්ද, එසේම " කතරගම මහා සෑය" නමින්ද, පසුව " මහා සෑය" අද "කිරි වෙහෙර" යනුවෙන් ද හැඳින්වේ. මහාසේන රජුගේ බලවත් පරිශ්‍රමයෙන් ඉදි වූ මේ මහා සෑය පසු කලක රාජ්‍ය විචාළ රජවරුන් කිහිපදෙනෙකු අතින්ම ප්‍රතිසංස්‌කරණය වූ බව පත පොතේ ද සඳහන් වේ. එමෙන්ම මහාසේන රජු මිය යැමෙන් අනතුරුව මහාසේන නමින් දෙවියකු වී ඉපිද කතරගම ප්‍රදේශයේ ආධිපත්‍යය දරමින් සිට පසු කාලයකදී කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධියට පත් වූ බැව් ජනප්‍රවාද වල කිය වේ.

අපගේ පැරණි තොරතුරු සොයා යැමේදී සිංහල ජන ප්‍රවාද වැදගත් මුලාශ්‍ර වන්නාසේම ද්‍රවිඩ පුරාවෘත්තයන්ද නොසලකා හැරිය නොහැකිය. එනම් මෙම කතරගම දෙවියන්ගේ උපත ගැනත් ඒ හා සම්බන්ධ අනෙකුත් චාරිත්‍ර වාරිත්‍ර ගැනත් ඉන් සැළසෙන මඟ පෙන්වීම ඉතා වැදගත්ය. ඒවාට අනුව මා මුලින් කී තොරතුරුවල බොහෝ වෙනත් කතාන්දරයක්‌ දිග හැරේ. එනම්, කතරගම දෙවියන් යනු ඉන්දීය සම්භවයක්‌ ඇති දෙවියෙකි. උමා දේවියට දාව උපන් කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව ද දැක්‌වෙන්නේ ආශ්චර්යවත් සිද්ධීන්ය. ගනේෂ හෙවත් ගණ දෙවියන්ගේ සහෝදරයෙක්‌ වන කතරගම දෙවියන්ගේ උපතේදී නෙළුම් මල් හයක්‌ එක්‌වීමෙන් මුහුණු සයක්‌ හා අත් දොළසක්‌ නිර්මාණය වූ බැව් ද්‍රවිඩ පුරා වෘත්තාන්ත කියයි. "ස්‌කන්ධ" නමින් කතරගමට පැමිණි මෙම දෙවියන්ට " තෙයිවානී අම්මා" නමින් භාර්යාවක්‌ සිටි අතර, "වල්ලි අම්මා" නමින් අනියම් බිරිඳක්‌ සිටි බව කියයි. එනම් එකල කතරගම ප්‍රදේශයේ ජීවත්ව සිටි ප්‍රාදේශීය වැදි නායකයෙකුගේ දියණියක්‌ වූ වල්ලි අම්මා සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කරගෙන සිටි කතරගම දෙවියන් ඈට ඉතා ඉහළින් සැලකූ බැව් කිය වේ. මේ නිසාම අදත් එම ප්‍රේම වෘත්තාන්තය සංකේතවත් කරනු වස්‌ වල්ලි අම්මා කෝවිලට ද පෙරහැර ගමන් කරමින් පුද පූජා පවත්වනු ලැබේ.

අනෙකුත් දෙවියන් අතුරින් ද මිනිසුන් ඉතා භයකින් යුතුව අදහන එකම දෙවියන් සේ කතරගම දෙවියන්ට සලකයි. වේලායුධයක අනුරුවක්‌ පූජා කිරීම කළ හැකි උසස්‌ම පූජාව හා උපහාරය සේ ඔවුහු සලකති.

විශේෂයෙන්ම කතරගම පෙරහැර ආරම්භය ගැන සඳහන් කරන්නේ නම් එය ඉතා ක්‍රමවත්ව හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත එනු ලබන්නේ දුටුගැමුණු රජු කල සිටය. එනම් රුහුණු මාගම්පුර සිට පැමිණි දුටුගැමුණු රජු සහිත සෙබළුන්ට එළාර රජු පරාජය කොට ජය ගත හැකි වූයේ කතරගම දෙවියන්ගෙන් ලද දේවාශිර්වාදය නිසා බැව් ජනප්‍රවාදයේ දැක්‌වේ. ඊට උපහාර වශයෙන් එදා සිට අද දක්‌වාමත් කතරගම පෙරහැර උත්සවය පැවැත්වේ.

සම්බුදු පහසින් අති පාරිශුද්ධත්වයට පත් කිරිවෙහෙර විහාරයද, එකල කතරගම සිටි දසබෑ රජ දරුවන්ට ලැබුණු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමඟ වැඩම කළ අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ නිසා කතරගම පූජා භූමියේ පවතින ආගමික පසුබිම ද විශේෂත්වයක්‌ ගනී. මෙම ඓතිහාසික බෝධීන් වහන්සේගේ රන්වන් පැහැති බෝපත් දැක බලාගැනීමට මේ දිනවල ද පැමිණෙන ජනයාගෙන් අඩු නැත. සෑම වර්ෂයකම පෙරහැර සමයේදී මේ විශ්මය ජනක දසුන දැක බලා ගත හැකි වන අතර, ඒ නිසාම වන්දනා කරුවන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය ද වැඩිවනවාට කිසිම සැකයක්‌ නැත.

ඌව පළාත් නියෝජ්‍ය

පෝස්‌ට්‌මාස්‌ටර් ජනරාල්

ධර්මසිරි පියසේන
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.