කොළඹ කොටුවේදී සිරුරට ගිනි තබාගනී

හේමන්ත රන්දුණු

කොළඹ කොටුව බ්‍රිස්‌ටල් වීදියේ දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී ඊයේ (03 වැනිදා) සවස 3.45 ට පමණ පුද්ගලයෙක්‌ තම සිරුරට ගිනි තබාගෙන ඇත.

ගිනි ඇවිළීමෙන් සිරුර බරපතළ අන්දමින් පිළිස්‌සීම නිසා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අවුරුදු 60 ක්‌ පමණ වයස ඇති මෙම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස්‌ හි පුංචි තමිල්නාඩුව නම් ප්‍රදේශයේ පදිංචි නිමල් දයාරත්න නමැති අයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මෙම පුද්ගලයා ගිනිතබා ගැනීමට හේතුව කුමක්‌ දැයි ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නැත.

කලක්‌ නැවක රැකියාව කර ඇති බව කියන මෙම පුද්ගලයා පසුව කොටුව බ්‍රිස්‌ටල් වීදියේ සුළු රැකියාවක්‌ කරමින් සිට ඇත.

ඊයේ සවස 3.45 ට පමණ මොහු දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී තම සිරුරට පෙට්‍රල් බෝතලයක්‌ වත්කරගෙන එකවරම ගිනි තබාගෙන තිබේ.

මෙම පුද්ගලයාගේ සිරුරට ගිනි ඇවිලී වේදනාවෙන් දඟලද්දී අවට සිටි කිසිවකු එම ගින්න නිවා දැමීමට කටයුතු කර නැත. අවට සිටි පුද්ගලයන් සිරුරට ගිනි තබාගෙන ඔහු දඟලන ආකාරය තම ජංගම දුරකතනවලින් වීඩියෝගත කර ගැනීමට දැඩි උනන්දුවෙන් කටයුතු කළ බව එහි සිටි ඇතැම් අය "දිවයින"ට පැවසූහ.

මේ පුවත කොටුව පොලිසිය වෙත සැළවූ වහාම එහි ගිය පොලිස්‌ නිලධාරීන් බරපතළ පිළිස්‌සුම් තුවාල සහිතව බිම වැටී සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

තුවාලකරුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. කොටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.