මහගම මිනීමැරුමේ හතර දෙනාම ගස්‌

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

බුලත්සිංහල මහගම මිනීමැරුම් නඩුවේ චූදිතයන් සිව්දෙනා මිනී මැරීම් චෝදනාවට වරදකරුවන් බවට තීරණය කළ කළුතර මහාධිකරණ විනිසුරු පී. පද්මන් සූරසේන මහතා 4 දෙනාටම ඊයේ (03 වැනිදා) පෙරවරුවේ මරණීය දණ්‌ඩනය නියම කළේය.

මෙහි චූදිතයන් වූයේ පරගොඩ විතානගේ පියසෝම නොහොත් ටාසන්, පරගොඩ විතානගේ ජනක පියසිරි විතාන, පරගොඩ විතානගේ අනුරසිරි, පරගොඩ විතානගේ පියකමල් නොහොත් ලක්‍ෂ්මන් යන අයයි.

2012 ජුලි මස 4 වැනිදා මහගම ගල්හේන් කන්දේදී ලාල් ගුණවර්ධන නමැත්තාට

ගල්වලින් පහරදී කැත්තකින් කොටා ඝාතනය කරන ලදැයි චෝදනා නගා චූදිතයන්ට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව පවරා තිබුණි.

නඩු විභාගය ආරම්භයේදීම චූදිතයෝ තමන් චෝදනාවන්ට නිවැරැදිකරුවන් බවත් ජූරි සභාවක්‌ නොමැතිව නඩුව විභාග කරන ලෙසත් අධිකරණයෙන් අයෑද සිටියහ.

ඊයේ පෙරවරු 10.00 ට මහාධිකරණයේ අසුන්ගත් මහාධිකරණ විනිසුරු පී. පද්මන් සූරසේන මහතා මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 9 දෙනකු සාක්‍ෂි දී ඇතැයි කියා සිටියේය.

නඩු විභාගයේදී මියගිය පුද්ගලයාගේ පියාවන සිරිල් ගුණවර්ධනගේ හා මියගිය අයගේ බිරිඳගේ සාක්‍ෂි වෛද්‍ය සාක්‍ෂිද බැහැර කළ නොහැකි බව කියා සිටියේය.

පළමුවන සැකකරු විත්ති වාචකවලදී කිසිවක්‌ ප්‍රකාශ නොකළ අතර 2 වැනි හා 3 වැනි සැකකරුවන් විත්ති කූඩුවේ සිටත්, 4 වැනි චූදිත සාක්‍ෂි කූඩුවේ සිට දෙන ලද ප්‍රකාශ ප්‍රතික්‍ෂේ කරන බව කියා සිටියේය.

පැමිණිල්ලේ සාක්‍ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇතැයි ද 296 වගන්තිය යටතේ චූදිතයන් සිව්දෙනා මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන් බව කියා සිටීමත් සමගම අධිකරණ ශාලාවේ විදුලි පහන් හා විදුලි පංකා අක්‍රිය කරන ලදී.

මරණීය දණ්‌ඩනය නියම කිරීමට පෙර කිසියම් ප්‍රකාශ කිරීමට තිබෙනවා දැයි විනිසුරු නියෝගයෙන් භාෂා පරිවර්තක (තොල්ක මුදලි) අනුලා ඉන්ද්‍රdනි පෙරේරා මහත්මිය ඇසූ අතර පළමු චූදිත ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා තමන්ට ගසන විට තමන් මියගිය පුද්ගලයාට පහරක්‌ ගැසූ බවය.

දෙවැනි විත්තිකරු ප්‍රකාශ කළේ මම ගඟට ගියා ශබ්දයක්‌ ඇසුන මම ගහනවා කිසිවක්‌ දැක්‌කේ නැහැ යෑයිද ප්‍රකාශ කළ අතර 3 වැනි චූදිත මම කිසිවක්‌ දන්නේ නැතැයි කියා සිටියේය.

හතර වැනි චූදිත කියා සිටියේ මම වැඩ ඇරී එනවිට පහරදුන්න මට එහිදී වුණ දේ මතක නැතැයි කියා සිටියේය.

පසුව අසුනින් නැගිට චූදිතයන්ට මරණීය දණ්‌ඩනය නියම කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා එල්ලා මැරීමට දින නියම කරන තුරු චූදිතයන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාරයට නියම කළේය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අසංක මෙන්ඩිස්‌ මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර මහාධිකරණයේ ප්‍රධාන රෙජිස්‌ට්‍රාර් කරුණාදාස සිල්වා මහතා අධිකරණ කටයුතුවලට සහය විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.