තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි කියන රජයෙ දැන් ඇත්තේ නාස්‌තිය දූෂණය සහ අවනීතිය රජ කිරීමයි
- කරු ජයසූරිය

තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ සහ ජනහිතකාමී බවක්‌ ආණ්‌ඩුව තුළ තිබෙන බව කීවද මේ වනවිට එවැන්නක්‌ නැතැයි සනාථ වී ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ඒ මහතා විසින් නිකුත් කර ඇති එම විශේෂ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

සන්ධාන ආණ්‌ඩුවත්, එහි නායකකාරකාදිනුත් පුන පුනා කියා සිටිනුයේ තමන් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ වෙනුවෙන් කැප වී සිටින බවයි. මේ රට "කේතුමතී රාජ්‍යයක්‌" බවට පරිවර්තනය කිරීමට පේවී සිටින බවයි.

ආණ්‌ඩුව මේ සඳහා සද්භාවයෙන් ම කැපවී පේවී සිටින්නේ නම් අපට මේ තරම් මහජන මුදල් නාස්‌ති කිරීම්, දූෂණ, වංචා, අවනීතිය රජකරවීම් ගැන අසන්නට දකින්නට ලැබෙන්නේ නැත.

එහෙත්, සැබෑව මෙය නොවේ.

ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක්‌ වන zට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල්Z හි ශ්‍රී ලංකා ශාඛාවේ වාර්ෂික මහා සමුළුව පැවැත්වීමට දින නියම කර තිබුණේ පසුගිය 27 වැනිදාටය. එහෙත්, එය පැවැත්වීම සඳහා වෙන් කරවා ගෙන තිබූ හෝටලයට ලැබී තිබුණු එක්‌ දුරකථන ඇමතුමක්‌ මගින් සියල්ල අඩාල වුණු බව එම සංවිධායකයන් හෙළි කරන අතර, හදිසි ප්‍රබල දේශපාලන හස්‌තයක මැදිහත්වීමකින් මිස එක්‌ දුරකථන ඇමතුමක්‌ මගින් මෙවැනි පෙරළියක්‌ කළ නොහැකි බව අමුතුවෙන් කියා දිය යුතු කාරණාවක්‌ නොවේ.

ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් මෙයට පෙර දී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට මැඩමුළු සංවිධානය කර තිබුණු අතර, ඒවාට ද මෙයට නොදෙවැනි ආකාරයේ බාධා කිරීම් වුණු බව ද සිහිපත් කළ මනා ය. මෙම සිද්ධින් ගැන විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාගේ අවධානයට ලක්‌ කරන ලදී. ඒ ගැන ආණ්‌ඩුව තවමත් නිහඬය. තත්ත්වය එසේ තිබිය දී තවදුරටත් මෙවැනි ආකාරයේ සිදුවීම් පිළිබඳව අපි විරෝධය පළ කරන්නෙමු.

මහජන මුදල් නාස්‌තිය, මූල්‍ය අක්‍රමිකතා ගැන හෙළි වනවාට ආණ්‌ඩුව තුළ ඇති බියසුළු බව, නොඑසේ නම් තැතිගැන්ම මෙවැනි සිද්ධීන් මගින් පැහැදිළි වන අතරම, මේ රටේ 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මරා දමා 18 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය වටා තව තවත් විධායක බලතල ඒකරාශි කිරීමේ හා නිදහසේ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ද හිතාමතාම පරාජය කරලීමේ ආදීනව ප්‍රකට වන බව පෙන්වා දෙන්නෙමු.

අප කියා සිටින්නේ ආණ්‌ඩුව කියන දේ හා කරන දේ අතර වන පරස්‌පරය දැන් ජනතාව හමුවේ සනාථ වෙමින් ඇති බවයි. ආණ්‌ඩුව කියන ආකාරයේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ හා ජනහිතකාමී බවක්‌ වත්මන් ආණ්‌ඩුව තුළ නොමැති බව ප්‍රකාශ කරන අතරම මේ තත්ත්වය වෙනස්‌ කළ හැක්‌කේ රාජපක්‍ෂ රෙජිමය ගෙදර යෑවීමෙන් හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මගින් පමණක්‌ බව ද ප්‍රකාශ කරමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.